මිනිස් ශරීරයේ ඉතාමත්ම සංවේදී හා කෝමල අවයවය දෑසයි. ශරීරය නිරෝගිව තබා ගැනීමට විවධ ව්‍යායාම් වර්ග ද, මුහුණ ලස්සනට තබා ගැනීමට ෆේෂල් වර්ග සහ විවිධ වර්ගයේ ක්‍රීම් භාවිතය සිදු කළත්, දෑස ලස්සනට තබාගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ.
දෑස පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා සුන්දරත්වයේ එක් අංගයක් වන දෑසේ කාන්තිය නැතිවී යනවා පමණක් නොව දෑස් සම්බන්ධ ආබාධයන්ද ඇති වීමට හේතු විය හැකියි. ලෝකය දැක බලා ගන්නට තිබෙන දෑසට නව ජීවයක් දෙන්නට දිනකට හෝ දිනක් හැර දිනක් හෝ සුළු වෙලාවක් වෙන් කර ගැනීම ඉතාමත් හොඳ පුරුද්දක්.
දෑසේ කාන්තිය අඩු වීමට හේතු මොනවාද?
පරිගණකයේ සහ රුපවාහිනියේ තිරය මෙන්ම ස්මාර්ට් ජංගම දුරකතනයේ තිරයෙන් නිකුත්වන ආලෝකයද අධික වොට් ප්‍රමාණයක් සහිත විදුලි බල්බ වල ආලෝකය ද හේතුවෙන් දෑසේ කාන්තිය අඩුවිය හැක. ඔබ නිතරම පරිගණකය භාවිත කරන්නේනම් හෝ බොහෝ වේලා ස්මාර්ට් ජංගම දුරකතනය දෙස බලා සිටින්නේ නම්, එම වෙලාවට පමණක් පැළඳීම සඳහා වෛද්‍ය උපදෙස් මත ඔබේ දෑසට සරිලන උපැස් යුවලක් මිලදී ගෙන භාවිතා කරන්න.
ශීත කාලගුණයෙන් ඔබගේ දෑස ප්‍රවේසම් කරගන්න
ශීත කාලගුණයක් සහිත ප්‍රදේශයක ඔබ ජීවත් වන්නේ නම් ශීත කාල වලදී හමන සීත සුලඟ නිසා ඔබේ ඇස් වලට හානි සිදුවිය හැක. ශීත කාල වලදී පමණක් නොව දැඩි සුළං කාල වලදීද ඇසට හානිවීමේ ප්‍රවණතාවය වැඩිය. සුළං කාලවලදී හමන දැඩි සුළඟ මගින් රැගෙන එන දුවිලි අංශු ඇසේ රැඳී තිබීමෙන් කැසීම් හා ඇස් රතුවීම් ද ඉදිමීම් ද සිදුවිය හැක. දැඩි හිරු එළියද දෑසේ කාන්තිය අඩු කරයි. දැඩි හිරු එළියට නිරාවරණය වූ විට හානි සිදු වන්නේ සමට හා හිස කෙස් වලට පමණක් නොව, එය ඇසටද එකසේ හානිකරයි.
ප්‍රතිකර්ම
දෑසට ව්‍යායාම කරන්න
දෑසට විඩාවක් දැනෙන විට දෑසට ව්‍යායාම කිරීමෙන් විඩාව මගහරවා ගත හැක. දෑස වසා ඒ මතට අතැඟිලි තබා හෙමිහිට සම්බාහනය කරන්න. මෙමගින් දෑසේ විඩාව දුරුවී යයි.
පරිගණකයේ වැඩ කරන විට පරිගණක සෙටිංග්ස් මගින්එහි ආලෝකය අඩු කර ගෙන වැඩ කිරීමෙන් ඔබේ දෑසට එමගින් සිදුවන හානිය අවම කර ගත හැක. පරිගණකයේ එකදිගට වැඩ කරගෙන යාම නිසාද දෑසට හානි සිදුවීමේ අවදානමක් පවතී. එනිසා පරිගණකයේ වැඩ කරන විට සෑම විනාඩි 10 කට වරකම පරිගණක තිරයෙන් ඔබගේ දෑස් ඉවතට ගෙන මදක් දුරින් ඇති කිසියම් වස්තුවක් දෙස බැලීමෙන් දෑසට විවේකයක් ලැබේ.
දෑස් රවුමට කරකවන්න
මෙය දෑසට ඉතාමත් හොඳ ව්‍යායාමයකි. මෙසේ විනාඩි 10 ක් පමණ කරන්න. මෙසේ වම් පසට හා දකුණු පසට කරකවන්න. මෙමගින් දෑස කාන්තිමත් වේ.
දෑස සම්භාහනය කරන්න
ශරීරයේ අන්‍ය කොටස් වලට මෙන්ම දෑසටද සම්භාහනය අවශ්‍ය වේ. දෑස් සම්බාහනය කරන්නේ නම් දෑස් වසා කළු ඉංගිරියා ප්‍රදේශයට ඇඟිලි තබා (ඇඟිලි තද නොකරන්න) හෙමින් සම්බාහනය කරන්න. ඔබේ දෑසට පෝෂණයක් ද ලබා දීමට නම් ආමන්ඩ් තෙල් ස්වල්පයක් ඔබේ ඇඟිල්ලේ තවරා සම්බාහනය කරන්න.
යෝග අභ්‍යාස කිරීම
සමහර යෝගාසන කිරීමෙන් දෑසේ කාන්තිය වැඩිවේ. සිරසාසන,ධනුරාසන, සර්වාංගාසන ආදී යෝගාසන මගින් දෑසේ හට ගන්න රෝග හා අපහසුතා මගහරවා ගත හැකිවාක් මෙන්ම දෑසේ කාන්තියද වර්ධනය කරගත හැක. නිවැරැදී ආකාරයට මෙම අභ්‍යාස කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගත හැක.
උදෑසන හිරු එළිය
උදෑසන හයත් හය හමාරත් අතර පොළොවට පතිත වන හිරු කිරණ ඉතා මෘදු වන අතර, දෑසේ නීරෝගී භාවයටද එය උපකාරී වේ. පුරාණ ඉන්දීය යෝග ශාස්ත්රයේ සඳහන් වන පරිදි උදෑසන සූර්ය නමස්කාරය කිරීමෙන් දෑසේ කාන්තිය මෙන්ම දෑසේ පෙනීමද වර්ධනය කර ගත හැකිය. උදෑසන සූර්ය නමස්කාරය සිදු කරනුයේ සූර්යයා දෙස බලාගෙන වීම නිසා උදෑසන ළාහිරු කිරෙණ දෑස් මතට පතිත වී දෑස් නීරෝගී කරයි.
පිපිඤ්ඤා පෙති
පිපිඤ්ඤා ගෙඩියකින් සිහින් පෙති කපා ගෙන ඒවා පැය භාගයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති දෑස් මත තබා විනාඩි 15ක් පමණ සිට පිපිඤ්ඤා පෙති ඉවත් කොට සෙමෙන් සහ මෘදුව දෑස් සම්භාහනය කරන්න.
ස්ට්‍රෝබෙරි
ස්ට්‍රෝබෙරි රසවත් ගුණවත් පලතුරක් මෙන්ම බොහෝ රූපලාවන්‍ය සත්කාර වලටද භාවිතා කරන්නකි. සම වියපත් වීම වළක්වන පලතුරක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන ස්ට්‍රෝබෙරි, දැසේ විඩාව මඟ හරවා කාන්තිය වඩවා ගැනීමටද උපකාරී වේ. ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකට පලා එය අධිශීතකරණයේ විනාඩි 30ක් පමණ තබා හොඳින් සිසිල් වූ පසු දෑස් මත තබා විනාඩි 15 ක් පමණ සිටින්න. මෙමඟින් ඔබට කාන්තිමත් දෑසක් ඉතා කෙටි කලකදී ලබා ගත හැක.
අල පෙති
පිපිඤ්ඤා මෙන්ම අල වලද සැලකිය යුතු ප්‍රමාණයක් ජලය සහිත නිසා දෑස් අවට කළු පැහැ වීමටත්, දෑස් පිම්බී අවලස්සන වීමටත් අමු අල පෙති හොඳ ප්‍රතිකර්මයකි. අල වලද විටමින් සී සහ පොටෑසියම් බහුලය.
සිහින්ව කපා ගත් අල පෙති කිහිපයක් ශීතකරණයේ තබා හොඳින් සිසිල් වූ පසු ගෙන දෑස් මත තබා විනඩි 15ක් සිටින්න. මෙම සත්කාරය නොකඩවා කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක.
ග්‍රීන් ටී බෑග්
ග්‍රීන් ටී සෞඛ්‍යයට මෙන්ම රුව ලස්සනට තබා ගැනීමට ද උපකාරී වන ස්වාභාවික අමුද්‍රව්‍යයකි. ග්‍රීන් ටී බෑග් දෙකක් හොඳින් සිසිල් වනතුරු ශීතකරණයේ තබා එළියට ගෙන අයිස් වතුරේ පොඟවා දෑස් මත තබා විනාඩි 15ක් පමණ තබන්න.
සිසිල් එළකිරි
ශීතකරණයේ තැබූ එළකිරි භාජනයකට ගෙන ඒ මතට තරමක් විශාල කපු පුළුන් කැබලි දෙකක් දමන්න. කපු පුළුන් වලට කිරි හොඳින් උරා ගත් පසු දෑස් මත තබා විනාඩි 15ක් පමණ සිටින්න. කිරි සම්පූර්ණයෙන්ම දෑසට උරාගත් පසු කපු පුළුන් කැබලි ඉවත්කර දෑස් සිසිල් වතුරෙන් සෝදා ගන්න
පෝෂණීය ආහාර
පෝෂණීය ආහාර ඔබගේ සම්පූර්ණ ශරීරයටම හිතකර ප්‍රතිපල ලබාදේ. එය ඔබගේ දෙනෙත් වලටද බොහෝ හිතකර වේ. විටමින් ඒ ඌනතාවය නිසා ඇස් වල රෝග හා අපහසුතාවයන් ඇතිවේ. එම නිසා විටමින් ඒ සහ සී සහිත ආහාර ඔබේ කෑම වේලට එක් කරගන්න අමතක කරන්න එපා. එමෙන්ම අවශ්‍ය පමණ ජලය පානයද දෑසේ ලස්සන පවත්වාගෙන යාමට ඉවහල් වේ.
දෑස් මත යම් ද්‍රව්‍යයක් තැබීමේදී දෑස් තුලට ඒවා ඇතුල් නොවන සේ දෑස් වසා ගන්න. අවම වශයෙන් විනාඩි 10ක් වත් දෑස් මත ඒවා තබා ගන්නේ නම් හොඳය. දෑස් වසාගෙන ප්රතිකර්මය කරන මෙම කාලය අපතේ යනවා යැයි ඔබ සිතන්නේ නම් මෙම කාලය ඔබේ සිරුරට මෙන්ම මනසටත් විවේකයක් ලබා දීමට යොදා ගන්න. ඔබ කැමති ගීතයකට සවන් දී දෑස් පියා ගෙන සිරුර සහ මනස සැහැල්ලු කර ගන්න. ඔබට සුන්දර දෙනෙතක් මෙන්ම විවේකී මනසක් ද ලබා ගත හැකියි.