අහිංසක සතුන් තොරතුරු යුගයේ මිනිසාගේ හිංසනයන් ඉදිරියේ කිසිවකුත් කරකියා ගත නොහැකිව අසරණව සිටිති.
සර්කස් වලට පුහුණු කරන සතුන් විශේෂයෙන්ම මෙම හිංසනයන්ට ලක්වේ. මා කියවූ එක්තරා පුවත්පත් ලිපියකට අනුව සර්කස් සඳහා පුහුණු කරන කුඩා සුරතල් අලි පැටවුන්ට ඒ පුහුණුව ලබා දෙන්නේ විදුලි සැර වැද්දවීමෙන්. මෙය ඉතාමත් සංවේදජනකයි. අපේ සුරතල් දරු පැටවුනුත් ඒ පුංචි පැටවුනුත් අතර කිසිම වෙනසක් නෑ. අපේ දරු පැටව් වගේම ඒ පුංචි පැටවුනුත් සෙල්ලමට කොච්චර අසාද? ඉතින් මේ පුංචි පැටවුන්ට විදුලි සැර වද්දලා හිංසා කරලා සර්කස් පුහුණු කරන එක කොච්චර පව් වැඩක්ද? මේ සුරතලුන්ට මනුස්සයාට වගේ එපා කියන්නවත් අඬන්නවත් පුළුවන් කමක් නෑනේ. ඉතින් ඒ සතුන්, උන්ට සිදුවන දුක් කම් කටොළු ඉදිරියේ කොච්චර අසරණද?
සුරතල් සතුන් විකිණීම කරන අයත් කරන්නේ මට හිතෙන විදියට පාප කර්මයක්. මා අනන්තවත් දැක තියෙනවා පාරවල් අයින් වල කූඩු වලට දමා අවුරුදු ගණන් තබා ගෙන සුරතල් සතුන් විකිණිමෙහි යෙදෙන ව්‍යාපාරිකයෝ. පාරවල් අයින් වල ස්වාභාවයෙන්ම අධික ශබ්ද දුෂණයක් සිදුවනවා. මේ අහිංසක සතුන්ද මේ ශබ්ද දුෂණයේ ගොදුරු බවට පත්වෙනවා. ස්වාභාවයෙන්ම දුව පැන සෙල්ලම් කිරීමට වැඩි ආසාවක් දක්වන බලු පැටවුන් යාර කිහිපයකට කොටු කොට තැබීම කෙතරම් පවක්ද? මෑතකදී දෙහිවල හිල් විදියේදී පදික වේදිකාවක මා දුටුවා එක්තරා යුවලක් ඉතා පටු කූඩු වල දමා වයස මාසයක් වත් නැති සුරතල් බැලූ පැටවුන් විකිණීමට තබා තිබෙනවා. එක් එක් බැලූ පැටියාට වෙන් වෙන් කුඩු තමයි තිබුණේ. සෙල්ලම් කරන්න අසාවෙන් ඉන්න මේ පුංච් පැටව් එකිනෙකා දිහා බලාගෙන කෑ ගහනවා සෙල්ලම් කරන්න ඕනවෙලා. අනිත් එක මේ කිරි බොන වයසේ පැටව් අම්මගෙන් වෙන් කරන එක හොඳ නෑ. මේ පැටව් පොඩි කාලේ බොහෝ වෙලාවට එකාට එකා තුරුළු වී තමයි නිදා ගන්නේ. නමුත් මේ විකිණීමට තබන පැටවුන්ට ඒ උණුසුමත් අහිමියි. ඒක හරිම පව්!

අනිත් එක තමයි කුරුල්ලෝ කූඩු කරලා තැබීම. කුරුල්ලන්ට තටු දුන්නේ කූඩුවකට හිරවෙලා ඉන්න නෙවෙයි. සොබාදහමේ හැම දේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව. මේ විශ්වයේ හැම දේම නිර්මාණය වෙලා තියෙන්නේ හේතුවක් ඇතුව. ඉතින් කුරුල්ලන්ට පිහාටු දීල තියෙන්නෙත් පියාඹන්න. මිනිසාට කකුල් දීල තියෙන්නේ ඇවිදින්න. ඉතින් ඇවිදින්නේ නැතුව එක තැනම වාඩි වෙලා හිටියොත් හරි නිදා ගෙන හිටියොත් හරි කාලයක් යනකොට මනුස්සෙක්ට ඇවිදගන්න බැරි වෙනවා. ඒ වගේ තමයි කුරුල්ලන්ටත්. නිමක් නොපෙනෙන අහසේ පියඹල උන්ගේ ජීවිතේ රස විඳින්න දෙන්නේ නැතුව ඒ ජීවිත හිර කරලා තබන එක මට හිතෙන්නේ පාපයක්.
ඔබ සර්පයින්ට අකමැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නයෙක් දුටුවිට ගහලා මරන්නත් පෙළඹෙන්න පුළුවන්. ඒත් නයා කියන්නෙත් අපගේ පරිසර පද්ධතියේ සමබරතාවයට අවශ්‍ය කරන අහිංසක සතෙක්. ඌ දෂ්ට කරන්න පෙලඹෙන්නේ ඌට අනතුරක් කරන්න හැදුවොත් එකෙන් බේරෙන්න. නයි නටවන අහිකුන්ටකයින් කැලේට ගොස් මේ නයි අල්ලන හැටි මට දැක ගන්න ලැබුණා. ඒ අහිංසක සර්පයා අල්ලාගෙන ඌ දඟලද්දී උගේ විස දත් ගලවලා දානවා තියුණු උලකින්. මේ දර්ශනය දකින කොට ඒ සතා ගැන දැනෙන්නේ පුදුම අනුකම්පාවක්. විසඝෝර සර්පයෙක් වුනත් කොච්චරනම් වේදනාවක්ද විඳින්නේ. අපේ බෙල්ලෙන් අල්ලාගෙන තියුණු උලකින් ඇනලා අපේ දත් ගැලෙව්වොත් කොහොම තියෙයිද කියල හිතා ගන්න පුළුවන් නේද? දන්ත වෛද්‍ය වරයා ලඟට ගිහින් හිරිවට්ටපු දතක් ගලවන්නත් පැකිලෙන අපිට ඒවගේ දෙයක් වුණොත්?
අහිකුන්ටිකයින් ළඟ ඉන්න රිලවුනුත් ඒවගේ තමයි. උන්ට පුහුණු කරන මුල් කාලයේ ගුටි බැට ඉවසගෙන තමයි පුහුණු වෙන්න තියෙන්නේ. ඇඟට මහන්සියක් දැනුනත් කරන්න දෙයක් නෑ. කැලේ ගහක් උඩ ඉන්නවා වගේ නෙවෙයි කියන කියන වෙලාවට කියන කියන දේ කළේ නැත්නම් කෝටු පර තමයි. දෙන දෙයක් දෙන වෙලාවක කාලා ඉන්නවා මිසක් බඩගිනි හැදුනම කන්න ලැබෙන්නේ නෑ.

අද ලෝකේ දියුණු වෙලා. මිනිස් අවශ්‍යතා සංකීර්ණ වෙලා. අපි හැමෝටම ජීවත් වෙන්න සල්ලි ඕන. එහෙම කියල මේ අහිංසක ප්‍රාණින්ගේ ජීවිත හිර කරලා උන්ට වධ දීලාද අපි සතුටින් ඉන්න හදන්නේ. තමන්ගේ දුක කෑ ගහලා කියාගන්න බැරි මේ අසරණයින්ට දුක් දීල උපයන සල්ලි වලින් හැබෑටම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුලුවන්ද? එහෙම උපයන සල්ලිත් යාදින්නේ නෑ කියලා තේරෙනකම් ඒ අසරණ සතුන් දුක් විඳීවි.
ලිව්වේ- පංචමී