බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදි කෙරුණු නව යුධ හමුදා මූලස්ථාන සංකීර්ණය අද (8) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදා අයිතියට පත් කරන ලදී.
අක්කර 77ක වපසරියකින් යුත් භූමිභාගයක ඉදි කිරීමට නියමිත ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයට මුල් ගල තබන ලද්දේ 2011 වර්ෂයේ මාර්තු මස 11 වන දාය. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 53.3කි. නවීන ආරක්ෂිත පද්ධති වලින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ශ්‍රී ලංකාවේ විශාලතම යුධ හමුදා ව්‍යාපෘතියයි.
මෙතෙක් රට පුරා විසිරී පැවැති යුධ හමුදා මූලස්ථාන අද සිට මෙම ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක වනු ඇත. රටේ විවිධ ස්ථාන වල ස්ථාපනය කොට තිබූ යුධ හමුදා මූලස්ථාන සඳහා මාසිකව රු. මිලියන 50ක පමණ වියදමක් දැරීමට සිදුවූ අතර, මෙම ගොඩනැගිල්ලේ විවෘත කිරීමත් සමඟම එම මුදල ඉතිරි කර ගැනීමට යුධ හමුදාවට හැකිවේ. කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ කඩිනමින් සිදු කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ඉටු කරන ලද සේවයට යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලට සිය විශේෂ ස්තුතිය පුද කරන ලදී.
හමුදා නිළධාරීන් වෙත සේවාභිමානී පදක්කම් ද සිවිල් කාර්ය මණ්ඩල වෙත සේවා පදක්කම්ද මෙහිදී ජනාධිපති තුමා අතින් පිරිනමන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්රමුඛ ආරක්ෂක අංශ ප්රධානිහු මෙම අවස්ථාවට සහභාගී වූහ.