අපරාධකරුගේ මව රතන හිමිගේ සමීප හිතවතියයි
රතන හිමි ජනපතිට යැවූ ලිපිය මෙන්න!
රතන හිමි නිසා ජනපති සිරිසේනට ජනතා අප්‍රසාදය
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලයේ අවසන් දින කිහිපය තුල තම විධායක බලතල අවභාවිතාකොට රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 2005 වර්ෂයේදී තරුණියක් සාහසික ලෙස ඝාතනය කළ ජූඩ් ශාමන්ත නැමැති අපරාධකරුට ජනපති සමාව ලබාදීම පිළිබඳව දැඩි ජනතා අප්‍රසාදයක් එල්ල වී ඇති අතර, ජනපති විසින් මෙම තීරණය ගනු ලැබීමට පසුගිය මාස දෙකකට ආසන්න කාලයක සිට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ. kuveni.lk වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම අපරාධකරුට ජනාධිපති සමාව ලබා දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන තරයේ ප්රතික්ෂේපකොට ඇති අතර, අධිකරණයෙන් වරදකරුවකු කරන ලද පුද්ගලයෙකුට තම බලතල අනවශ්‍ය අයුරින් භාවිතාකොට සමාව දිය නොහැකි යැයි දැඩි තීරණයකට එළඹ සිට ඇත. එසේ තිබුණද, අතුරලියේ රතන හිමිගෙන් ජනාධිපතිවරයාට එල්ල වූ දැඩි බලපෑම හේතුවෙන් දැඩි අකමැත්තෙන් අපරාධකරු නිදහස් කිරීමේ ලේඛන වලට ජනපතිවරයා පසුව අත්සන් තබා ඇත.
ජනපතිගේ සමීප ආරංචි මාර්ග පවසන අන්දමට බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ දැඩි ඉල්ලීම ඉවත දැමිය නොහැකි වීමත්, රතන හිමිගේ දේශපාලන භූමිකාවට කෘත ගුණ සැලකීමක් ලෙසටත්, රතන හිමි එම අපරාධකරු නිදහස් කිරීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය හේතු සාධක ඉදිරිපත් කිරීමත් හේතුවෙන් බුදු දහමට මෙන්ම සඟ රුවනටද ඇති ගෞරවය මත පමණක් පදනම්ව දැඩි අකමැත්තෙන් වුවද ජනපති සිරිසේන විසින් ජූඩ් ශාමන්ත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇත. තවද, රතන හිමි විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඇතුලු බොහෝ පිරිසක් ජනපති සිරිසේන හමුවට කැඳවා අපරාධකරු නිදහස් කිරීමට ජනපතිවරයා පොළඹවා ඇත.
කෙසේ වෙතත්, තම බලතල අවභාවිතාකොට පිටස්තර පුද්ගලයෙකුගේ දැඩි උවමනාව මත ජනපතිවරයා සිදු කරන ලද මෙම අදූරදර්ශී ක්‍රියාව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට දැවැන්ත කැලලක් එක් කරන ලද අතර ජනපතිවරයෙකුගේ විධායක බලතල පිළිබඳව ජනතාවතුල අප්‍රසාදයක් ඇති කිරීමටද සමත්ව ඇත.
සිරිසේන මහතා ජනාධිපති කරවීමට 2015 වර්ෂයේ රතන හිමි කැපවී කටයුතු කළ බවත්, මින් වසරකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ අවස්ථාවේ බහුතර බලය පෙන්වීමට රතන හිමි සහයෝගය දැක්වූ බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයාට ජනාධිපතිවරණයේදී සහාය දෙන බවත් රතන හිමි අවධාරණය කර ඇත. තවද, මෙම ඝාතකයා නිදහස් කළ යුත්තේ ඇයිද යන්න දීර්ඝ ලෙස ජනාධිපතිවරයාට රතන හිමි කරුණු පැහැදිලිකර ඇත. මේ කරුණු සියල්ල සලකා බලා රතන හිමිගේ ඉල්ලීම ඉටු කර දෙන්නැයි ජනාධිපති වරයාට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ රතන හිමි තදබල ලෙස ඇවිටිලි කොට ඇත.
තවත් වැදගත් කරුණක් වනුයේ මෙම පුද්ගලයාට ජනපති සමාව ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් රතන හිමිට සිදු කරනා පෞද්ගලික උපකාරයක් ලෙස සලකන්නැ’යි ද රතන හිමි ජනාධිපතිවරයාට පසුගිය කාල වකවානුව තුල නිරන්තරයෙන් පවසා තිබීමයි.
එවකට 18 හැවිරිදි ඉවෝන් නම් තරුණිය අමානුෂික අන්දමින් ඝාතනය කොට ප්‍රාණඝාත අකුසලය මෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සුරාමේරය මජ්ජපමා දට්ඨානා සිල් පදයත් බිඳ දැමූ ජූඩ් ශාමන්ත නැමති අධිකරණයෙන් වරදකරු කළ පුද්ගලයෙකු බේරා ගැනීම පිණිස දිවා රෑ නොබලා රතන හිමි වෙහෙසුණේ ඇයිද යන්න ගැටළුවක් කාහට වුවද ඇති විය හැකිය.
තවද, සුලු වැරදි සහිත සිරකරුවන් බොහෝමයක් සිර දඬුවම් විඳිද්දී, මුළු රටක් කැළඹූ සාහසික ඝාතනයක් සිදුකළ අපරාධකරුවකු වෙනුවෙන් රතන හිමි තම ප්රතිරූපයත් උකසට තබා කැපවූයේ ඇයිද යන්න සාධාරණ සැකයකි.
බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට ජූඩ් ශාමන්ත යනු බන්ධනාගාරය මඟින් පවත්වන ලද එකදු හෝ පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී නොවූ අයෙකි. නමුත් රතන හිමි ජනපතිට යවන ලද ලිපියේ සාවද්‍ය ලෙස සඳහන් වනුයේ ඔහු පුනරුත්තාපනය වූ අයෙකු බවයි. බන්ධනාගාර ආරංචි මාර්ගයක් අප වෙබ් අඩවියට පැවසුවේ මෙම අපරාධකරුට දිනකට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් අවශ්‍ය වන බවයි. එමෙන්ම නිදහස් වන දිනය දක්වාම ඔහු සිරමැදිරිය තුලදී මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇත.
මේ වන විට බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලය මතට නැග උපවාසයක් ආරම්භ කර ඇති අතර ඔවුන් පවසනුයේ නිදහස් කරන ලද ජූඩ් ශාමන්තට වඩා සිරෙන් නිදහස් වීමට තමාට වැඩි සුදුසුකම් ඇති බවයි. පුනරුත්තාපනය වූ තවත් රැඳවියන් පිරිසක් ප්‍රශ්නකර සිටිනුයේ පුනරුත්තාපනය නොවූ තවමත් මත්ද්‍රව්‍ය ලබා ගන්නා පුද්ගලයෙකු නිදහස් කළේ නම් පුනරුත්තාපනය වූ තමා නිදහස් නොකරන්නේ මන්ද යනුවෙනි.
ජනපතිවරයාගේ විධායක බලතල අනිසි ලෙස භාවිතා කිරීමට අයුතු බලපෑම් සිදුකර රටේ මහජනතාවගෙන් බලවත් විරෝධයක් එල්ලවන බව දැන දැනත් මෙවන් ආන්දෝලනාත්මක ක්‍රියාවක් කිරීමට රතන හිමි පෙළඹුණේ එම හිමි නම සහ ශාමන්තගේ මව අතර ඇති සමීප හිතවත්කමයි. අපරාධකරුගේ මව සහ රතන හිමි අතර ඇත්තේ ගිහි-පැවිදි සබඳතාවයට වඩා එහා ගිය බැඳීමක් බව රතන හිමි තමා විසින්ම ඔප්පු කරගෙන හමාරය.
කෙසේ හෝ රතන හිමි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිල්ලට දී තම සමීප හිතවතියගේ ඉල්ලීම ඉටු කර දීමට සමත් විය.
තමා පොරොන්දු වූ පරිදි වසර 5ක් පමණක් ධුරයේ රැඳී සිටිමින් නිසි කලට ගෞරවණීය ලෙස ජනතාවගේ ප්‍රසාදය ලත් ජනාධිපතිවරයෙකු ලෙස ධුරයෙන් සමු ගැනීමට දින කිහිපයක් පමණක් තිබියදී සිරිසේන මහතාගේ ප්‍රතිරූපයට කැලලක් එක් කළ රතන හිමිට රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට වඩා තමාගේ පෞද්ගලික ජීවිතයට සමීප හිතවතියගේ උවමනා එපා කම් ඉටු කිරීම ප්රමුඛ වූවා යැයි දැන් ජනතාව තේරුම් ගෙන හමාරය. ඉදිරි මැතිවරණයකදී මෙවන් අපේක්ෂකයින් පිළිබඳව ජනතාවට නිවැරදි තීරණ ගැනීමට මෙවන් සිදු වීම් වලින් උගත හැකි පාඩම් බොහෝය.
එමෙන්ම සාහසික අපරාධ සිදුකොට අධිකරණයෙන් වරදකරුවන් කරන ලද පුද්ගලයින්, මින් පසුව බලයට පැමිණෙන ජනපතිවරුන් තම බලතල අවභාවිතාකොට නිදහස් කිරීම වැළක්වීමට පුළුල් සමාජ කතිකාවතක් අවශ්‍ය වේ. එසේ නොවුවහොත් අතුරලියේ රතන හිමි වැනි පුද්ගලයින් තම පෞද්ගලික හිතවත්කම් මත ඉදිරියේදී තවත් මෙවන් සමාජ විරෝධී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ලිපි ශීර්ෂයෙන් අපරාධකරු නිදහස් කරන මෙන් ඉල්ලා අතුරලියේ රතන හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේනට යවන ලද ලිපිය:
(අපගේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත්කරන ලද රතන හිමි විසින් ජනපති වෙත යවන ලද මෙම ලිපියෙහි සත්‍යතාවය පිළිබඳව kuveni.lk පූර්ණ ලෙස වග කියනු ලැබේ. )
අතිගරු ජනාධිපතිතුමනි,
සිර දඬුවමින් නිදහස් කිරීම සම්බන්ධව
2005 වසරේ දී රෝයල් පාක් මරණය රටේ විශාල ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියකි. ස්වීඩන් ජාතික හා සිංහල කාන්තාවකට දාව උපන් වයස 18ක් පමණ වන ඉවෝන් නම් තරුණියක් හා ජූඩ් ශාමන්ත ජයමහ තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ අතර රාත්‍රී කාලයේ පඩිපෙල තුල ඇතිවූ ආරවුලකින් තරුණ කාන්තාව මිය ගියේය. මහාධිකරණය මෙයට දඬුවම් ලබා දුනි. එම නඩු තීන්දුවෙන් කියවුණේ මෙය සිතාමතා සිදු කරන ලද මිනී මැරුමක් නොවන බවයි. කිසිකලෙකවත් නොවූ ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුව යලිත් ගොනු කෙරුණි. එය සාමාන්‍යයෙන් සිදු නොවන්නකි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. පසුව බන්ධනාගාර රැඳවියන් පිළිබඳ සලකා බලන විශේෂ කමිටුවකින් මෙම තරුණයාගේ මරණ දඬුවම ඉවත්කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට හරවන ලදී. බන්ධනාගාර ගතව සිටියදී මරණ දඬුවම නියම වූ පසු ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබුණි. පසුව මා මැදිහත් වී මෙම තරුණයා පුනරුත්ථාපනය කොට මැගසින් බන්ධනාගාරයෙන් කුරුවිටට මාරු කෙරුණි. දැන් වසර 5ක් ගතවී ඇත. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියක් දක්වා සම්පූර්ණ කර ඇත.
ජනාධිපතිතුමනි, මොහු ගැන කාරුණික අවධානය යොමුකොට මොහුගේ අම්මා, තාත්තා හා සහෝදරයන් අත්විඳින
දුක ගැනත් සලකා මොහුට පූර්ණ නිදහස ලබාදෙන ලෙසත් එය සාධාරණ සහ මානුෂික කාරණයක් බවත් දැනුම් දෙමි.
සෙත් වේවා!
මීට
මෙත් සිතින්,
පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර
