ජනපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්
සිව්වන වරටත් ජනපති පුටුවට
මැතිවරණ ප්‍රතිපල වංචා සහගත බවට චෝදනා
ජනපති ඝාතනය කරන්නෙකුට ඇ.ඩො. 50,000ක ත්‍යාගයක්
ජනපති ජීවිතාරක්ෂාව පතා මෙක්සිකෝවට
බොලීවියාවේ හිටපු ජනපති එවෝ මොරාලස් ජීවිතාරක්ෂාව පතා මේ වන විට මෙක්සිකෝවට පළා ගොස් ඇතැයි බොලීවියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අතර හිස්වූ ජනපති පදවියට පත්වූයේ තමා යැයි විපක්ෂ මන්ත්‍රිනී ජෙනින් ආන්යාස් තමා විසින්ම කියා සිටී. බොලීවියානු ජනපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදයක් හේතුවෙන් පසුගිය ඉරිදා එවෝ මොරාලස් තනතුරෙන් ඉල්ලා අස් වූයේය.
පසුගිය මාසයේ පවත්වන ලද බොලීවියානු ජනපතිවරණයෙන් ඉතා සුළු මනාප ගණනකින් ජයග්‍රහණය කළ මොරාලස් එම වැඩි ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ වංචාවෙන් බව ඇමරිකානු මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් අනාවරණය කිරීමෙන් අනතුරුව එම ජනපතිවරණ ප්‍රතිපල අහෝසි කරන්නැයි බලපෑම් සිදු කරන ලදී. එයට පිළිතුරක් වශයෙන් බොලීවියානු හිටපු ජනපතිවරයා පැවසූයේ අවශ්‍ය නම් අලුත් මැතිවරණයක් පැවැත්විය හැකි බවයි.
බොලීවියානු විපක්ෂය තරයේ කියා සිටියේ ජනපතිවරණ ප්‍රතිපල තමා පිළිනොගන්නා බවත් මොරාලස් වහාම තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවත්ය. මොරාලස්ට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් විපක්ෂ කණ්ඩායම් විසින් රට පුරා ප්රචණ්ඩත්වය මුදා හරින ලදී.

මෙම තත්ත්වය හමුවේ බොලිවියාවේ දැඩි කලහකාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර, බොලීවියානු හමුදා ප්‍රධානියා වන ජෙනරාල් විලියම්ස් කලිමාන් ජනපතිවරයාට බල කර සිටියේ තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි. ඒ අනුව, රටේ උද්ගත වී ඇති තත්ත්වය සමනය කිරීම සඳහා පසුගිය ඉරිදා බොලීවියානු ජනපතිවරයා තනතුරින් ඉල්ලා අස් වූයේය. තනතුරින් ඉල්ලා අස් වූ ජනපති මොරාලස් පවසා සිටියේ මෙය හමුදා කුමන්ත්‍රණයක් බවයි.
පසුගිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වූ ප්රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වූ කැරලි කරුවන් මොරාලස් ගේ මෙන්ම ඔහුගේ සොයුරියගේද නිවෙස් ගිනිබත් කරනු ලැබුවා.
තවද කැරලි කරුවන් ජනාධිපති මොරාලස්ගේ හිසට ඇමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක් ද නිවේදනය කරන ලදී. රට පුරා ප්රචණ්ඩත්වයේ ගිනි ඇවිලෙමින්, කැරලි කරුවන් විසින් ජනපති ඝාතනය කිරීමට තැත් කරමින් සිටියදී ජනපති මොරාලස් ජීවිතාරක්ෂාව පතා මෙක්සිකෝවට පළා යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන ලදී.
මෙක්සිකානු රජය විසින් බොලීවියාවේ කොචබම්බා නුවරට යවන ලද විශේෂ ජෙට් යානාවකින් කැරලි කරුවන්ට හසුවන්නට ඉඩ නොදී විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේ බොලීවියානු හිටපු ජනපතිවරයා මෙක්සිකෝව වෙත රැගෙන එන ලදී. මේ වන විට ඔහු මෙක්සිකානු රජයේ දේශපාලන රැකවල් මධ්‍යයේ මෙක්සිකාවේ ජීවත්වන අතර විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පවසන ලද්දේ දිවි ඇති තුරා දේශපාලනයේ රැඳී සිටින බවයි. “දේශපාලනමය හේතුවක් මත මා උපන් රට හැර යාමට සිදු වීම පිළිබඳව මා හට ඇත්තේ සිත් තැවුලක්. නමුත් මා සිතින් සිටින්නේ මගේ රටේ. මා නැවතත් මෙයට වඩා ශක්තිමත්ව මාගේ මව් රටට පෙරළා පැමිණෙනවා” යනුවෙන් එහිදී ඔහු පවසා සිටියේය.

ජනපති එවෝ මොරාලස් තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමඟ බොලීවියාවේ නව ජනාධිපති තමා යැයි විපක්ෂ මන්ත්‍රිනී ජෙනී ආන්යේස් නිවේදනය කිරීමත් සමඟ බොලීවියාවේ කලහකාරී තත්ත්වය තවත් උත්සන්න වූ අතර, රට පුරා විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසක් වාර්තා විය. මේ අතර, බොලීවියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයයේ සේවය කරන අත්‍යවශ්‍ය සේවා රහිත කාර්ය මණ්ඩලයට වහාම ඇමරිකාව බලා පිටත්වන ලෙස ඇමරිකානු රජය දන්වා ඇත. තවද ඇමරිකානු පුරවැසියන්ට බොලීවියාවේ සංචාරය නොකරන ලෙසත් ඇමරිකානු රජය අනතුරු අඟවා ඇත.
මෙම ප්රචණ්ඩ ක්‍රියාවල ප්‍රතිපලයක් ලෙස අද දිනය (13) වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇත.
එවෝ මොරාලස් බොලීවියාවේ ප්‍රථම ආදිවාසී ජනපතිවරයායි. වසර දහ හතරක කාලයක් බොලීවියාව පාලනය කළ මොරාලස් 2006 වර්ෂයේදී ජනාධිපති ලෙස පත්වීමට පෙර කොකේන් වාගාකරුවෙකි.
