පංචමී හේවාවිසෙන්ති
පාන් ටෝස්ට් සෑදීමට විවිධාකාර අමුද්‍රව්‍ය යොදා ගනු ලබනවා. පාන් පෙති දෙකක බටර් තවරා මැදට කුමන හෝ පිරවීමක් දමා තාච්චියක හෝ ග්‍රිල් එකක් ආධාරයෙන් පාන් පෙති කර කර පාන් ටෝස්ට් සාදා ගනු ලබනවා. පාන් ටෝස්ට් ලෙහෙසියෙන් සහ පහසුවෙන් සාදා ගත හැකි කෙටි ආහාරයක්.
කෙටි ආහාර කියූ පමණින් බොහෝ දෙනෙකුගේ සිහියට නැඟෙන්නේ එම ආහාර ශරීරයට එතරම් ගුණදායක නොවන බවයි. කෙටි ආහාරයක් වුවත් ගුණදායක ලෙස සකසා ගතහොත් දිව රස කරනා අතරම, ශරීරයත් නීරෝගීව තබා ගැනීමට හැකිවනවා. අලිපේර පෝෂණීය මෙන්ම රසවත් පලතුරක්.
ඉදුණු අලිපේර හොඳින් පොඩි කර ක්‍රීම් එකක් මෙන් සකසා එයට කිරි සහ ලුණු ස්වල්යක් එක් කර සාදා ගන්නා ක්‍රීම් එකක් ලෙසත් අලිපේර ආහාරයට ගන්නා අතර බීමක් ලෙස සකසා පානය කිරීමත් ශ්‍රී ලංකාවේ බහුලව සිදුවේ.
ඊට අමතරව අලිපේර භාවිතකොට සකසා ගන්නා ආහාර අංකාවේ එතරම් දක්නට නොලැබේ. එසේ වුවුඅද ඉදුණු අලිපේර, අර්තාපල් අල, බිත්තර සහ චීස් භාවිතයෙන් රසවත් පාන් ටෝස්ට් එකක් සාදා ගත හැකියි. රස ගුණ පිරි මෙම අලිපේර, බිත්තර සහ අල ක්‍රීම් ටෝස්ට් එක කුඩා දරුවන්ට පාසල් ගෙන යාමට සකසා දිය හැකි ගුණයෙන් මෙන්ම රසයෙන්ද අනූන කෙටි කෑම වර්ගයක්. දරුවන්ගේ මෙන්ම ඔබගේ ද ශරීර සෞඛ්‍යය පිළිබඳව ඔබ සැලකිලිමත් නම් අලිපේර සහ අල ක්‍රීම් ටෝස්ට් එක නිවසේදීම සකසා ගන්නට අමතක කරන්න එපා. මෙම පාන් ටෝස්ට් එකට තම්බා ගත් බිත්තර සහ චීස් එකතු කරන නිසා අලිපේර සහ අල ක්‍රීම් ටෝස්ට් “පෝෂණ ගබඩාවක්” ලෙස හඳුන්වන්න පුලුවන්. ඔබට උදෑසන ආහාරය මඟ හැරෙනවා නම් එසේත් නැත්නම් උදේ ආහාරය සකසා ගැනීමට ඇත්තේ සීමිත් කාලයක් නම් අලි පේර, බිත්තර සහ අල ක්‍රීම් ටෝස්ට් ඔබේ ගැටළුවට කදිම විසඳුමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:
පෙති පාන්
අල ගෙඩියක්
හොඳින් ඉදුණු ලොකු ප්‍රමාණයේ අලිපේර ගෙඩියක්
බිත්තරයක්
චීස් පෙති
ගම් මිරිස් කුඩු
ලුණු
සාදා ගන්නා ක්‍රමය:
අල ගෙඩිය පොතුත් සමඟ හොඳින් තම්බා ගන්න. ඉන් පසු පොතුහැර කුඩා කැබලි වලට කපා ගන්න. හොඳින් ඉදුණු අලිපේර ගෙඩියක මදය හැන්දකින් වෙන් කරගන්න. බිත්තරයක් තම්බා ගන්න. මෙම ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයකට දමා ක්‍රීම් වන තුරු හොඳින් අඹරා ගන්න. ඉන්පසු ක්‍රීම් එක වෙනත් භාජනයකට දමා එයට ලුණු ස්වල්පයක් එක් කරන්න. එයටම ගම්මිරිස් කුඩුද එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු පාන් පෙති දෙකක් ගෙන මෙම ක්‍රීම් මිශ්‍රණය තවරා ගන්න. අලිපේර තෙල් සහිත පලතුරක් නිසා පාන් පෙති මත බටර් තැවරීම අවශ්‍ය නොවේ. (බටර් හා සැසඳීමේදී අලිපේරවල ඉහළ පෝෂණ සංයුතියක් තිබෙන අතර හිතකර මේද සහිතය. අලිපේරවල ඇත්තේ හිතකර කොලෙස්ටරෝල් නිසා ඉන් ශරීරයේ බර වැඩි වන්නේ නැත. එමෙන්ම අලි පේර හෘදයටද හිතකරය.)
පාන් පෙති දෙක මැදට චීස් පෙත්තක් තබා ටෝස්ටරයක් ආධාරයෙන් අවශ්‍ය පමණට ටෝස්ට් කරගන්න.
චීස් බේරෙන රසවත් අලිපේර, බිත්තර සහ අල ක්‍රීම් ටෝස්ට් උණුවෙන්ම පිළිගන්වන්න.

උදෑසන ආහාර වේලට මෙන්ම සවස තේ වේලාවටද අලිපේර, බිත්තර සහ අල ක්‍රීම් ටෝස්ට් ඉඟුරු දැමූ තේ එකක් සමඟ රස විඳිය හැක.
ඡායාරූප- පංචමී හේවාවිසෙන්ති