බාර්ලී ලංකාවේ වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකි වූවත් එය එතරම් පරිභෝජනයට ගැනෙන ආහාරයක් (පානයක්) නොවේ. බාර්ලී විටමින් බී, යකඩ, ප්‍රෝටීන, ඛනිජ ලවන, මැග්නීසියම්, පොටෑසියම් සහ පොස්පරස් ඇතුලු පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් අඩංගු ධාන්‍ය වර්ගයකි. මුං ඇට මෙන් පැළ ඇදෙන්නට තබා තම්බා පානයට ගැනීමෙන් බාර්ලී වල ගුණය තවත් ඉහළ හයි. බාර්ලී තැම්බූ ජලය වැඩිපුර පානයට ගැනීමෙන් ශරීරයේ පරිවෘත්තීය මට්ටම ඉහළ යන අතර සිරුරේ ඇති අපද්‍රව්‍ය සහ විෂ එමඟින් ඉවත් කරයි. තහවුරු කර නොගත් පර්යේෂණ මඟින් සොයාගෙන ඇති පරිදි ආන්ත්රික පිළිකා හට ගැනීමේ සම්භාවිතාව අවම කිරීමට බාර්ලී වලට හැකිය. තවද දියවැඩියාව ඇති වීම වැළක්වීමේ හැකියාවත් බාර්ලී සතුය. ශරීරය සිසිල් කිරීමේ ගුණය සහිත බාර්ලී, මතක ශක්තිය වර්ධනයට උපකාරී වන අතර, ශරීර ශක්තිය වඩවා ශරීරය ක්‍රියාකාරීව තබා ගැනීමටද ඉවහල් වේ. නින්දට පැය කිහිපයකට පෙර බාර්ලී වතුර පානය කිරීමෙන් සුව නින්දක් ලබා ගත හැකි බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන තිබේ. තවද, බාර්ලී වතුර ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමටද උපකාරී වේ.
පැළ බාර්ලී
පැළ මුං මෙන්ම පැළ බාර්ලී වලද ඉහළ පෝෂණ ගුණයක් පවතී. පැළ බාර්ලී වල ඉහළ ප්රතිශතයක ඇමයිනෝ අම්ල, එන්සයිම, විටමින් වර්ග සහ ප්‍රති ඔක්සිකාරක පවතී. පැළ බාර්ලී ආහාර ජීර්ණයට උපකාරී වන අතර මලබද්ධය වළක්වයි. පැළ බාර්ලී තම්බා පානය කළ හැකි අතර, සලාද සහ සුප් වර්ග සෑදීමේදී ද භාවිතා කළ හැක.
බාර්ලී මිනිසුන්
අතීතයේ රෝමයේ විසූ ග්ලැඩියේටර් නම් සටන් කරුවන්ගේ සුසාන භූමියකින් සොයාගන්නා ලද අස්ථි කොටස් පරීක්ෂණයට ලක් කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ ආහාර වේල් ප්‍රධාන වශයෙන් බාර්ලී වැනි ධාන්‍ය, රනිල භෝග සහ එළවලු වර්ග වලින් සමන්විත වී තිබූ බවය. ග්ලැඩියේටර් වරුන් බාර්ලී මිනිසුන් යන අන්වර්ථ නාමයෙන් හැඳින් වීමට හේතුවද ඔවුන් අධිකව බාර්ලී වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමයි.
ඔවුන්ගේ අස්ථි කොටස් පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගත් තවත් ප්‍රධාන කරුණක් වූයේ ඔවුන් සත්ත්ව ප්‍රෝටීන ඉතා අඩු ප්‍රමාණයකින් පරිභෝජනය කර ඇති බවය. මෙම සටන් කරුවන් ශක්තිමත්, ආරෝහ පරිණාහ දේහධාරීන් වූ අතර ඔවුන් ශක්තිමත්ව සහ නීරෝගීව සිටීමට ඔවුන් ආහාරයට බාර්ලී වැනි ආහාර ඉවහල් වන්නට ඇතැයි පර්යේෂකයින් විශ්වාස කරයි.
උණ හෝ උදරාබාධ පවතින අවස්ථාවක
මින් දශක ගණනාවකට පෙර ගම්බද දරුවෙකුට උණ හෝ උදරාබාධයක් හට ගත් විට අතිරේක පානයක් ලෙස බාර්ලී වතුර ලබා දීම සුලභව දක්නට ලැබුණි. බාර්ලී වල ඇති පෝෂණ ගුණයත්, උණ වැනි රෝගී තත්ත්වයකින් සුව වන විට ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීමටත් බාර්ලී වතුර උපකාරී වන බව ඔවුහු විශ්වාස කළහ.
පාචනයට බාර්ලී වතුර
පාචනය වැනි රෝගී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවක ශරීරයෙන් අධික තරල ප්‍රමාණයක් පිටවන අතර එය යථා තත්ත්වයට පත් කරගැනීම සදහා ප්‍රමාණවත් ලෙස දියර වර්ග ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම දියර වර්ගවල පෝෂණ සංඝටක සහ ලවණ වර්ග අන්තර්ගත වී තිබීම වැදගත් වේ. පාචන අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර ශරීරයෙන් ඉවත්වන දියර නැවත ලබා ගැනීමට බාර්ලී තැම්බූ වතුර ඉතා සුදුසුය. මෙයට අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් සහ දෙහි හෝ දොඩම් යුෂද එක් කර රෝගියාට පානයට දිය හැක.
මුත්‍රා ගල් ඇතිවීම වළක්වන බාර්ලී තැම්බූ වතුර
මුත්‍රා ගල් ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරුන් පවසන්නේ ජලය ඉතා අවම වශයෙන් පානය කිරීමයි.
දිනකට අවම වශයෙන් ජලය වීදුරු අටක්වත් පානය කිරීමට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ එය ශරීරයේ සහ වකුගඩු ආශ්රිත විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් මුත්‍රා ගල් වැනි රෝග වලින් වැළකීමටත් එවන් රෝග හටගෙන ඇත්නම් ඉන් වැළකීමටත්ය. දිනකදී සිරුරට වශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන අතරතුරම, ශරීරයට පෝෂණය සපයන දියර වර්ග ද පානය කළ හැකි නම් වඩා ගුණදායකය. බාර්ලී තැම්බූ වතුර දිනපතා පනයට ගැනීමෙන් සහ දිනකට පානයට ගත යුතු ජලය ප්‍රමාණය ශරීරයට ලබා දීමෙන් මුත්‍රා ගල් වැනි කරදරකාරී රෝගවලින් වැළකී සිටීමට හැකිවේ.
සිරුරේ බර අඩු කර ගැනීමට
මුත්‍රා ගල් පමණක් නොවේ සිරුරේ බර අඩු කර ගැනීමටත් බාර්ලී තැම්බූ වතුර නිතරම පානයට ගැනීම උපකාරී වේ. බාර්ලී ඉහළ තන්තු ප්‍රතිශතයක් සහිත ධාන්‍ය වර්ගයකි. තම්බාගත් බාර්ලී ඇට ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයට ඉහළ තන්තු ප්‍රමාණයක් එක් කරගත හැකිය. මෙය ආහාරයට ගැනීමේදී පැය ගණනක් වුවද නිරාහාරව සිටිය හැක. පෝෂණයක්ද සපයන අතරම, කාබෝහයිඩ්රේට මෙන් ශරීරයේ බර වැඩි කරන්නේ නැත.
තවද බාර්ලීවල ඇති මේද ප්‍රතිශතය ඉතා අවමය.
සටහන සහ ඡායාරූපය- පංචමී හේවාවිසෙන්ති