ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට අභිනවයෙන් තේරීපත් වී දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙක් සුභ පැතුම් එක් කොට තිබේ. ප්‍රථමයෙන්ම එතුමාට සුභ පතා ඇත්තේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ නොවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය හිටපු ආරක්ෂක ලේකම් වරයාට ලබා දී රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළේය. කෙසේ වෙතත් අභිනව ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනපතිවරයාට ආරාධනා කර තිබුණද එතුමා එම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියේ නැත.
ගෝඨාභය මහතාට සුභ පැතුම් එක්කළ පිරිස් අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද වේ. එතුමා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිරිපිට පැවැත්වූ අභිනව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී විය. වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී එතුමන්ගේ කඳවුර නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වුවද, එතුමාගේ සහෝදරයෙකුගේ රූපවාහිනි නාලිකාව වන ටී එන් එල් රූපවාහිනිය මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩිලෙස පක්ෂපාතීත්වයක් දැක්වීමට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ ප්රවෘත්ති ද පළ කරනු ලැබීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් විය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කළ අතර ඉන්දියාවේ සංචාරයක් සඳහා සහභාගී වන ලෙසද ආරාධනා කොට ඇත. නව ජනපතිවරයා එම ආරාධනාව පිළිගෙන ඇත.
පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාද ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත ට්විටර් පණිවුඩයක් හරහා සුභ පැතුම් එක් කර ඇත. එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා සහ මාල දිවයින් ජනපති ඊබ්‍රාහිම් සෝලි මහතා ද ට්විටර් පණිවුඩ මඟින් රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කරන ලදී.
තවද, මෙරට ඇමරිකානු තානාපතිවරිය ද ඇමරිකානු පුරවැසියෙකුව සිටි වර්තමාන ශ්‍රී ලාංකීය ජනපතිවරයාට සුභ පැතුම් එක් කරමින් කියා සිටියේ නව ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට ඇමරිකාව නව ජනපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බවයි.
මේ අතර උතුරට වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සිටින හිටපු උතුරු මහ ඇමති සී වී විග්නේස්වරන්ද නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කළ අය අතර විශේෂ වේ.
කථානායක කරු ජයසූරිය මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව ජනපතිවරයාට සුභ පැතුම් එක් කළ අතර සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ දේශපාලන නායකයින්ට, මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා පොලිසියට ස්තූතිවන්ත වන බව ද එම ට්විටර් පණිඩුවයේ තවදුරටත් සඳහන් කර ඇත.
පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් ද නව ජනපතිවරයාට සුභ පැතුම් එක් කරමින් පවසා සිටියේ රටක් ලෙස ඉදිරියට යාමට සියලු ජාතීන් එකාවන්ව සහෝදරත්වයෙන් අභියෝග වලට මුහුණ දිය යුතු බවයි.