මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීමත් සමඟම ස්වාධීන වීමට තීරණය කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරට අද (19) පත් විය.
සිරිසේන මහතා තාවකාලිකව පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවත් වූ අවස්ථාවේ ඇතිකරගත් එකඟතාවයට අනුව නව ජනපතිගේ දිවුරුම් දීමත් සමඟ සිරිසේන මහතා නැවත සභාපතිධුරයට පත් විය යුතුය.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (18) සවස රැස් වූ අතර එහිදී ශ්‍රීලනිපයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා යලි පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.
සිරිසේන මහතාගේ ඉවත් වීමත් සමඟ පක්ෂයේ වැඩ බලන සභාපති බවට පත් වූයේ මහින්ද අමරවීර මහතායි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජනාධිපති බවට පත්වුවහොත් පක්ෂයේ සභාපති ධුරයට පත් වන්නේ ඔහු ය. නමුත් ජනාධිපති තනතුරට පත් වූ ගෝඨාභය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු නොවීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීමත්, එතුමාගේ පවුලේ සාමාජිකයින්ගේ මැදිහත් වීමෙන් වෙනත් පක්ෂයක් පිහිටුවා ශ්‍රී ල නිපය දෙකඩ කිරීමත් ආදි හේතු නිසා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ල නිපයේ සභාපතිත්වය හිමි නොවන බව ආරංචි මාර්ග පවසයි.