පළාත් හයක් සඳහා පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන් අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මධ්‍යම පළාත සඳහාද, රාජා කොල්ලුරේ මහතා ඌව පළාත සඳහාද, ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා දකුණු පළාත සඳහාද, ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා වයඹ පළාත සඳහාද, ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත සඳහා ද වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය බස්නාහිර පළාත සඳහාද ආණ්ඩුකාරවරුන් ලෙස පත්කොට ඇත.
ඊයේ දිනයේ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් හිටපු ජනපතිවරයා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් සියළු දෙනාටම ඉල්ලා අස්වන්නැයි නිවේදනය කරන ලදී.
මේ සමඟ තවත් පළාත් 3ක් සඳහා ආණ්ඩුකාරවරු පත් කිරීමට නියමිතය. ඒ අනුව උතුරු පළාත, නැගෙනහිර පළාත සහ උතුරු මැද යන පළාත් තුන සඳහා ඉදිරි දින කිහිපය තුල ආණ්ඩුකාර වරුන් පත් කිරීමට නියමිතය. මේ අතර උතුරු පළාත සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම යෝජනා වී ඇති අතර, උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේද උතුරු ආණ්ඩුකාර ධුරය අපේක්ෂාවෙන් සිටින බව පැවසේ.