භාග්‍යා සෙව්මිණි තෙන්නකෝන්
පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්රියාකළාපය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සෞඛ්‍යය ක්ෂේත්රය නව ජනපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ නව අමාත්‍යවරිය සමඟ එක්ව ගොඩනැඟීමට සූදානම් යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
කුවේණි වෙබ් අඩවියට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නව සෞඛ්‍යය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය සමඟ සාධනීය ලෙස කටයුතු කරමින් බිඳ වැටුණු සෞඛ්‍යය ක්ෂේත්රය ජනතාවට සමීප, ජනතාවාදී සෞඛ්‍යය ක්ෂේත්රයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
“මෙතැන් සිට ජනතාවට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රය පිළිබඳව. නව ඇමතිනිය විපක්ෂයේ සිටින කාලේ එතුමියට දකින්නට ලැබෙන්න ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති වුණු ගැටළු, ඒ වාගේම මොන අංශ වලද කඩා වැටීම් සිදු වුණේ කියලා.එතුමිය අධ්‍යයනය කරලා ඇති ඒ ගැටළු විසඳන්නෙ කොහොමද කියලා. දියුණු රටවල ක්‍රමවේදය එයයි. නව ජනපතිවරයෙක්, නව රජයක් සහ නව සෞඛ්‍යය අමාත්‍යවරියක් යටතේ අප බලාපොරොත්තු වන්නේත් එයයි. එතුමියගේ අධ්‍යයනයත් සමඟ අපත් එකට එකතු වී සෞඛ්‍යය ක්ෂේත්රයට යහපත් දායකත්වයක් දෙන්න අප බලාපොරොත්තු වෙනවා”, වෛද්‍ය සොයිසා පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සොයිසා පැවසූයේ ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලින් බැහැරව කටයුතු කිරීමට උපරිම උත්සාහය දරමින් සෞඛ්‍යය ක්ෂේත්රයේ අභිවෘද්ධියට සහාය වන බවත්, යම් හෙයකින් නව අමාත්‍යවරියද, රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙන් අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරමින් සෞඛ්‍යය ක්ෂේත්රය තවදුරටත් පරිහානියට පත්වීමට ඉඩ හළහොත්, වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම නොවැළැක්විය හැකි බවත්ය.
නව අමාත්‍යවරිය සමඟ සාකච්ඡාකොට හැකි ඉක්මනින් විසඳාගත යුතු ගැටළු අතර වෛද්‍ය සභාව මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වැටුප් විෂමතා ආදිය පවතින බවත්, බිඳ වැටුණු සෞඛ්‍යය ක්ෂේත්රය ගුණාත්මක ක්ෂේත්රයක් බවට පත්කර ජනතාවට සමීප කිරීමටත් නව අමාත්‍යවරිය සමඟ සාකච්ඡාකොට කටයුතු කිරීමට සූදානම් බවත් වෛද්‍ය සොයිසා තවදුරටත් පැවසීය.
” වර්තමානයේ කොයිතරම් පෞද්ගලික රෝහල් තිබුණත්, රෝගීන් බහුතරයක් තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න කැමති රජයේ රෝහල් වලින්. අපට මේ තත්ත්වය තවත් වර්ධනය කර ගන්න ඕන. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙන් මුළු රටම ජයග්‍රහණය කරවන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි නිතරම කතා කරන්නේ ලෙඩක් හැදුණම සනීප කරන්නේ කොහොමද කියලා මිසක් ලෙඩ රෝග වලින් වළකින්නේ කොහොමද කියලා නෙවෙයි. නිවැරදි ආහාර පුරුදු පිළිබඳ ගැඹුරින් ජනතාව දැනුවත් කරන්න ඕන. වස විසෙන් තොර ආහාර ජනතාවට ලබා දීමට කටයුතු කරන්න ඕන. මිනිස්සු ලෙඩ්ඩු බවට පත් කරලා බෙහෙත් දෙන එක අද ජාවාරමක් වෙලා. අපට තවම 5%ක් විතර තමයි පුළුවන් වෙලා තියෙන්නේ රෝග වැළඳීම වළක්වා ගන්න”, වෛද්‍ය සොයිසා අදහස් දක්වමින් තවදුරටත් පැවසීය.
නව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ නව ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කරමින් වර්තමානය වන විට රටේ ඉහළ ගොස් ඇති පිළිකා, දියවැඩියාව, හෘදය රෝග ආදි බෝ නොවන රෝග වළක්වා ගැනීමට පුළුල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අපේක්ෂා කරන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.