ආර්. කන්නන්- චෙන්නායි සිට
මරුමලර්චි ද්‍රවිඩ මුන්නේට්ට්ර කළහම් පක්ෂයේ මහ ලේකම් වෛකෝ හෙවත් වයි. ගෝපාලසාමි සහ ඔහුගේ පක්ෂයේ ආධාර කරුවන් පිරිසක් එළඹෙන නොවැම්බර් 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා විරෝධය පෑමට සූදානම් බව “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.
එම පුවත පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීම පිණිස වෛ. ගෝපාලසාමිට අයත් මරුමලර්චි ද්‍රවිඩ මුන්නේට්ට්ර කළහම් පක්ෂයේ සාමාජිකයෙකු කුවේණි වෙබ් අඩවිය සමඟ සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ දහස් ගණනක් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම් තනතුර දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය දෙමළ ජනතාවගේ කිසිදු කැමැත්තක් නොමැති බවයි. ” ලංකාවේ ජීවත් වුණු අපේම සහෝදරයින් ඝාතනය කළ ඔහු අපේ රටේ සංචාරය කරනවාට අපි විරුද්ධයි. ඒ නිසයි අපි විරෝධතාවයක් පවත්වන්නට තීරණය කළේ”, වෛකෝගේ පක්ෂ සාමාජිකයා පැවසුවේය.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ ආරාධනයෙන් 2013 වර්ෂයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සිදු කරන අතරතුර ද විරෝධතාවයක නියුතුව සිටි වෛකෝ සහ ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් නව දිල්ලි පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
තවද, 2014 වර්ෂයේදී ද නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය පදවියේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට ඉන්දියාව බලා පිටත්වුණු මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට විරෝධය පෑ වෛකෝ ඇතුළු ආධාරකරුවන් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් කර ඇති මෙම විරෝධතාවයට පෙර වර්ෂ වල මෙන් පොලිසියෙන් බාධා එල්ල විය හැකි හෙයින් එය ව්‍යර්ථවී යාමට ඉහළ සම්භාවිතාවක් ඇති නිසා තවදුරටත් විරෝධතාවයේ නියුතු වීම ප්රතිපලදායක දැයි අප විමසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ කුමන බාධක පැමිණියත් අසාධාරණයට ලක්වූ ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම පිණිස එම විරෝධතාවයේ නියුතු වන බවයි.
මේ පිළිබඳව අදහසක් ලබා ගැනීමට වෛ. ගෝපාලසාමි මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුළුඳුල් ඉන්දීය සංචාරයේදී තමිල්නාඩු ජනතාවගෙන් විරෝධතා එල්ල විය හැකි බව කුවේණි වෙබ් අඩවිය වාර්තා කළේ නොවැම්බර් 20 වන දිනය.
ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි වෛකෝ, ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් ත්රස්තවාදීන්ට පක්ෂපාතීව ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට කිහිප වරක් ඉන්දීය අත්අඩංගුවට පත් වී ඇත.