මෙවර ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුළ දශක තුනකට පසු ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් දිනා ගන්නා ලදී. මින් පෙර මෙම කිරුළ අප රටට ගෙන එන ලද්දේ රෝසි සේනානායක විසිනි.
රටවල් 51ක තරගකාරියන් පිරිසක් අතුරින් කැරොලින් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, දෙවන ස්ථානය අයර්ලන්තයටද තුන්වන ස්ථානය ඇමරිකාවේ වර්ජින් දූපත් වලටද හිමි විය.
“මගේ රටේ උරුමය සහ සංස්කෘතිය ලෝකයට ගෙන යාමට හැකිවීම පිළිබඳව මා අභිමානයට පත්වනවා” යන්න කැරොලින් ලෝක විවාහක රූ රැජින තරගයේ අවසාන වටයට ප්‍රථම තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
කැරොලින් මෙම වසරේ ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ බවට පත් වූ අතර, ඒ අනුව ඇය ලෝක විවාහක රූ රැජිණ තරගයට සුදුසුකම් ලැබුවාය. ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වී සිටින කැරොලින් එක්දරු මවකි. ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තම සැමියා පිළිබඳව තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් කැරොලින් සඳහන් කර ඇත්තේ, එවන් සැමියෙකු ලබා දීම පිළිබඳව ඈ දෙවියන්ට දිනපතා ස්තුති කරන බවයි. තවද, ඇයට නිරන්තරයෙන් ආරක්ෂාව සපයමින් ඇයගේ ජයග්‍රහණයට උර දෙන්නේ තම සැමියා බවද ඇය සඳහන් කර ඇත.
පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳුවේ වියට්නාමයේ ජෙනිෆර් ලී ය.
ලෝක විවාහක රූ රැජිණ තරගය ප්‍රථම වරට පවත්වන්නට යෙදුණේ 1984 වසරේ ඕස්ට්‍රේලියාවේ වන අතර, එහිදී ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමි වූයේ ශ්‍රී ලංකාවටය. වසර 35කට පසු එම කිරුළ යළිත් ශ්‍රී ලංකාවට හිමි වූයේ මෙම වසරේය (2020).
විවාහක රූමතියන් සඳහා වන ලොව ප්‍රථම තරගය පවත්වා ඇත්තේ ඇමරිකාවේ ය. ඇමරිකානු විවාහක රූ රැජිණ තරගය පසුව ලෝක විවාහක රූ රැජිණ බවට පත් විය.