ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ අවසන් කටයුතු අද (09) ගොඩකවෙල මස්ඉඹුල ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතය.
රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වා පැමිණෙමින් සිටි කුවේණි මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකුට ගොඩකවෙල මස්ඉඹුල ප්‍රදේශයේදී මන්ත්‍රීවරයාගේ මරණය සම්බන්ධයෙන් තරමක් වෙනස් කතාවක් අසන්නට ලැබිණ. එනම්, මන්ත්‍රීවරයාගේ විරුද්ධවාදියෙකු හෝ කණ්ඩායමක් විසින් උපක්‍රමශීලී ලෙස මන්ත්‍රීවරයාට විෂ ශරීරගත කොට ඇති බවයි. එම විෂ ශරීරගත වීමේ ප්‍රතිපලයක් ලෙස මන්ත්‍රීවරයාගේ පෙනහළු දැඩි ලෙස ආසාදනයට ලක්වී තිබූ බවත්, අවසාන කාලයේ නියුමෝනියාව වැළඳී තිබූ බවත් මස් ඉඹුල ප්‍රදේශවාසීහු පවසති. (නමුත්, පැතිරී යන මෙම කතාවල සත්‍යතාවය පිළිබඳව කුවේණි වෙබ් අඩවියට තහවුරුකරගත් සාක්ෂි කිසිවක් ලැබී නැත )
මස්ඉඹුල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඒ. ඇල්. පේමාවතී ප්‍රථමයෙන්ම අප සමඟ අදහස් දැක්වීමට ඉදිරිපත් වූවාය. ඇය පැවසූ දෙය තරමක් විශ්වාස කළ නොහැකි තොරතුරක් ලෙස පෙනුණද එම කතාව එක්වරම බැහැර කිරීමට ද හේතුවක් තිබුණේ නැත. අප මාධ්‍යවේදීන් බැව් ඇය දැන සිටියේ නැත. මන්ත්‍රීවරයාගේ “මලගෙදරට” සහභාගී වූ පක්ෂයේ සාමාජිකයින් ලෙස අප පිළිබඳව ඇයට හැඳින්වීමක් කළෙමු. ඇය මන්ත්‍රීවරයාගේ මරණය පිළිබඳව ගම්මුන් විසින් පවසන කතාව නොපැකිළව අප හා පැවසුවාය.
“මහත්තයෝ අපේ සොයිසා මහත්තයට වස දීලලුනෙ ඔය මැරුණෙ” ඇය එසේ පැවසුවේ විශ්වාසයෙන් යුතුව වුවද, එය විශ්වාසකළ නොහැකි බව අප ඇයට කීවෙමු. ” වස දීලා මැරුණා නම් වස දීපු කෙනෙක් ඉන්න එපායැ අම්මේ, එහෙනම් මේ වෙනකොට ඒ මනුස්සයා පොලිසියෙන් අල්ලගෙන තියෙන්න ඕනනෙ”, අපේ සගයෙක් ඈට පිළිතුරු දුන්නේය.
“මහත්තයාලා මේ පැත්තෙ නෙවෙයි වෙන්නැති. මහත්තයෝ, මේ ගොඩකවෙල. මේක හරි අමුතු ගම් පළාතක්. මෙහෙ ඉන්නෙ හරි අමුතු මිනිස්සු. මේ මිනිස්සු ඔය වගේ වැඩ කරනවා. අපිට නම් ඉතින් ඕවා අමුතු දේවල් නෙවෙයි.”
මොහොතක විරාමයකින් පසුව ඇය යළිත් හඬ අවදි කළාය.
“මම කිව්වේ මේ ගමේ පැතිරිලා යන කතාවක් ගැන. එහෙම මිසක් මම ඇහැට දැක්කේ නෑ සොයිසා මහත්තයට වස දෙනවා. සොයිසා මහත්තයා පෙරමුණට (පෙරමුණ යනුවෙන් ඇය හැඳින්වූයේ ශ්‍රී.ල.නි.ප/ පොහොට්ටුවයි ) බැහැලා වැඩ කළා. සොයිසා මහත්තයාට මිනිස්සුත් හරි කැමති. මිනිස්සුන්ටත් ගොඩාක් වැඩ කරලා දීපු ඈයෙක් ඔය. එහෙව් එකේ ඔය වගේ මනුස්සෙකුට තරහා කාරයො වස දෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි මහත්තයෝ”.
වයස්ගත කාන්තාව අප හමුවේ තැබූ එම තොරතුර පිළිගැනීම හෝ බැහැර කිරීම නොකර ඒ පිළිබඳව තවත් අයෙකුගෙන් අසා දැනගැනීමට මස් ඉඹුල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හමුවීමට ගියෙමු.
ඇය පැවසූ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මස් ඉඹුල ප්‍රදේශයේම තවත් මැදිවියේ පිරිමි පුද්ගලයෙකුගෙන්ද විමසීමට අප අමතක නොකළෙමු. පේමාවතී මහත්මිය පැවසූ දෙය අසත්‍යයක් යැයි ඔහු කීවේද නැත. ඔහු පැවසුවේ, “මේ පැතිවල ඔය වගේ දේවල් වෙනවා මහත්තයෝ. සොයිසා මහත්තයාගෙ මරණෙ ගැන ඔය වගේ කතාවක් මිනිස්සු කියනවා ඒත් කවුරුවත් ඔය ගැන ටක්කෙටම කියන්න දන්නේ නෑ”.
(“ටක්කෙටම” යන වචනය රත්නපුර දිත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල “හරියටම” යන වචනය වෙනුවට භාවිතා වන්නකි. “ටක්කෙටම කියන්න දන්නේ නෑ” යනුවෙන් ඔහු පැවසුවේ “හරියටම දන්නේ නෑ” යන්නයි )
මන්ත්‍රීවරයාගේ මරණය පිළිබඳ ගම්මුන් මෙවන් කතාවක් පැවසුවද, කිසිවෙකුත් ඒ පිළිබඳව තහවුරුකරගත් තොරතුරක් අප හට ලබා දීමට සමත් වූයේ නැත. වයස 35 ක් පමණ වන පුද්ගලයෙකුගෙන් ද මේ පිළිබඳ විමසූ අවස්ථාවේ එවන් දෙයක් පිළිබඳ තමා දන්නේ නැතැයි ඔහු පැවසුවේය.
ප්‍රදේශයේ ව්‍යාපාර කටයුත්තක නියුතු වී සිටින අප කණ්ඩායමේ සාමාජිකයෙකුගේ හිතවතෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට එවන් කතාවක් පැතිරී යන බව ඔහු පිළිගත්තේය. “ඒක එහෙම වෙන්න පුළුවන්. මටත් ඔය ගැන ආරංචි වුණා. ඔයාලට මතකද අභිරහස් ලෙස මැරුණ රත්නපුරේ තවත් දේශපාලඥයෙක් ඉන්නවා. තලතා අතුකෝරලගේ අයියා ගාමිණී අතුකෝරල. ඒ මහත්තයා මැරුණ විදිය අදටත් අභිරහසක්. මිනිස්සු ඒ ගැනත් ගොඩාක් කතා කියනවා. ගාමිණී අතුකෝරල මැරුණෙත් රංජිත් සොයිසාට වගේම වස දීලා කියලා කියනවා”ඔහු කීවේය.
තවදුරටත් තොරතුරු සැපයූ ඔහු පැවසුවේ ” රංජිත් සොයිසා උගත් කෙනෙක්. මම දන්න තරමට කෘෂිකර්මය ගැන ඩිප්ලෝමා එකක් හරි උපාධියක් හරි තියෙනවා. කවදාවත් මත්පැන්, සිගරට් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. වසවිස නැති කෑම බීම තමයි කෑවේ බිව්වේ. ඒවා එයාගේම වතුවල වවලා තිබුණා. ඒ වුණාට පෙනහලු හොඳටම නරක් වෙලා තිබුණලු. මටත් හිතෙන්නේ වස හින්දා එහෙම වුණාද දන්නෙ නෑ කියලා. සොයිසා මහත්තයාට තරහා කාරයොත් හිටියා. දේශපාලඥයින්ට ඉතින් තරහා කාරයෝ නැත්තේ කොහෙද?”
මේ පිළිබඳව තවදුරටත් විමසීමක් කළ අපට දැන ගන්නට ලැබුණේ, ජනාධිපතිවරණ සමයේ මන්ත්‍රීවරයා නියුමෝනියාවෙන් පෙළුණු බව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට පිටත්කර හැරිය බවයි.
මේ අතර, ලැබුණු තවත් තොරතුරකට අනුව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හදිසියේම සොයිසා මන්ත්‍රීවරයාට හටගත් රෝගී තත්ත්වය පිළිබඳව අසා දැනගැනීමට කුරුණෑගල ප්‍රදේශයේ ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු හමුවීමට ගොස් ඇති අතර, ඔහු පවසා ඇත්තේ මන්ත්‍රීවරයා රෝගී වූයේ විෂ ශරීරගත වීමකින් බවයි. තවද, මන්ත්‍රීවරයාගේ ජීවිතය බේරා ගැනීම අපහසු බවද ඔහු තවදුරටත් පවසා ඇත.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී රත්නපුර දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රංජිත් සොයිසා පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය. පසුගිය ජනාධිපතිවරණ සමයේද අසනීප තත්ත්වය මධ්‍යයේ වුවද සොයිසා මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළේය. සොයිසා මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූයේ පසුගිය දෙසැම්බර් 4 වනදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යනවිට 57 වන වියේ පසුවූ මන්ත්‍රීවරයා දෙදරු පියෙකි.
මහා මැතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රථම රංජිත් සොයිසා ගොඩකවෙල අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතුකොට ඇත. පසුව, සබරගමුව පළාත් සභාවේ පළාත් ඉඩම්, සුළු වාරි මාර්ග, සහ සත්ත්ව නිෂ්පාදන අමාත්‍යවරයා වශයෙන්ද කටයුතුකොට ඇත.
අනතුරුව, රක්වාන ආසනයේ ශ්‍රී.ල.නි.ප සංවිධායක ලෙස තේරී පත්වූ අතර මහා මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන ලදී.
කෙසේ නමුත්, පසුගිය වසරේ පිහිටුවන ලද ව්‍යවස්ථා විරෝධී රජය අතාර්කික ලෙස සාධාරණීකරණය කිරීමත්, එසමයේ ඔහු විසින් පෙන්වන ලද ප්‍රචණ්ඩකාරී හැසිරීමත්, ශ්‍රී.ල.නි.ප ය අතහැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමත් හේතුවෙන් රංජිත් සොයිසාට එතෙක් හිමිව තිබූ ජනතා ප්‍රසාදය අඩු වන්නට විය. පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මස මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වූ අතර, 2019 ජනවාරි මාසය දක්වා රක්ෂිත බන්ධනාගාරගත ව සිටියේය.