මෙම වසරේ විශ්ව රූ රැජිණ කිරුළ හිමි කරගත්තේ දකුණු අප්‍රිකාවේ සොසිබිනි තුන්සි නම් විසි හය හැවිරිදි කළු ජාතික තරුණියයයි. විශ්ව රූ රැජිණ තරගය 2019 දෙසැම්බර් 8 වනදින ඇමරිකාවේ ඇට්ලන්ටා ප්‍රාන්තයේ ටයිලර් පෙරී චිත්‍රාගාරයේදී පැවැත්විණ. නව රූ රැජිණට කිරුළ පළන්දන ලද්දේ 2018 වසරේ විශ්ව රූ රැජිණ වූ පිලිපීන ජාතික කැත්‍රියෝනා ග්‍රේ විසිනි. මෙවර දකුණු අප්‍රිකාවට විශ්ව රූ රැජිණ කිරුළ හිමි වූයේ තෙවන වතාවටය. දකුණු අප්‍රිකානු මාධ්‍යවේදිනියක වූ මාග්‍රට් ගාඩිනර් විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත් ප්‍රථම අප්‍රිකානු රූමතිය විය. ඒ වර්ෂ 1978 දීය. නැවතත් විශ්ව රූ රැජිණ කිරුළ අප්‍රිකාවට ගෙන ආවේ 2017 දී නෙල් පීටර්ස් විසිනි. සොසිබිනි විසින් මෙවර තෙවන වතාවට කිරුළ ගෙන එන ලදී.

මෙවර විශ්ව රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ පුවර්තෝ රිකෝ රාජ්‍යයේ මැඩිසන් ඇන්ඩර්සන් විසින් වන අතර, තෙවන ස්ථානය මෙක්සිකෝවේ සොෆියා ඇරගොන් විසින් දිනා ගන්නා ලදී. කෙසේ වෙතත්, පසුගිය වසර වල මුල් දසදෙනා සහ විසිදෙනා අතරට පැමිණි ඉන්දියාවට මෙවර මුල් හතලිස් දෙනා අතරටවත් පැමිණීමට නොහැකි විය.
දකුණු අප්‍රිකාවේ සොලෝ නගරයේ සිද්වාද්වානි ගම්මානයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලද සොසිබිනි හට තවත් සහෝදරියන් දෙදෙනෙක්ද සිටී. පාසැල් අධ්‍යාපනය නිමකොට කේප් ටවුන් පෙනින්සියුලා විශ්ව විද්‍යාලයයට ඇතුළත් වූ සොසිබිනි මහජන සබඳතා, සහ ප්රතිරූප කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරා ඇත.
සොසිබිනි 2019 දකුණු අප්‍රිකානු රූ රැජිණ බවට පත් වූ අතර 2017 වර්ෂයේද ඇය එම තරගයට ඉදිරිපත් වී ඇත. එහිදී ඇයට පළමු 12 දෙනා අතරට හෝ පැමිණීමට නොහැකි විය. නමුත් එයින් අධෛර්යයට පත් නොවූ සොසිබිනි වසර දෙකක් පුරා ඒ සඳහා උපරිමයෙක් කැප වූවාය. අවසන 2019 වසරේ දකුණු අප්‍රිකානු රූ රැජිණ කිරුළ හිමි කරගත්තේ පරාජයෙන් අධෛර්යමත් නොවී පෙරටත් වඩා හොඳින් කැපවී කටයුතු කිරීමට පසුගාමී ජීවිත ගතකරන දකුණු අප්‍රිකානු තරුණියන්ට ආදර්ශයක් ද සපයමිනි.

තරුණ සොසිබිනි කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාකාරිනියකි. ඇය සමාජ මාධ්‍ය ජාල හරහා කාන්තා හිංසනයට මෙන්ම කාන්තාවන්ට සිදුවන සාමාජීය අසාධාරණකම් වලට එරෙහිවද දැඩි හඬක් නගන්නීය.
විශ්ව රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ සොසිබිනි පැවසුවේ ” මා වැනි රූපයක්, සමේ වර්ණයක් සහ හිසකෙස් සහිත තරුණියන් සමාජය විසින් සුන්දර ලෙස සලකන්නේ නෑ. මම හිතන්නෙ අද පටන්වත් ඒ වගේ අසාධාරණකම් සිදු විය යුතු නෑ” යනුවෙනි.
රටවල් 90 ක තරගකාරියන් මෙවර විශ්ව රූ රැජිණ තරගයට සහභාගී වූ අතර ප්‍රථම වරට බංගලාදේශය සහ ගිනි රාජ්‍යය ද තරගයට ඉදිරිපත් වී තිබීම විශේෂ අවධානයට ලක් වූ කරුණකි. වසර කිහිපයක් තරගයට සහභාගී නොවී සිටි ලිතුවේනියාව, රුමේනියාව, ටැන්සානියාව සහ සියෙරා ලියෝන් යන රටවල් මෙවර තරගයට සහභාගී වී ඇත. ලිතුවේනියාව මෙවර තරගයට සහභාගී වූයේ වසර 5කට පසුවය. ඝානාව, ග්‍රීසිය, හංගේරියාව, ගෝතමාලා, කිරිකිස්තානය, ලෙබනනය, රුසියාව, ස්විට්සර්ලන්තය, සැම්බියාව සහ ශ්‍රී ලංකාව තරගයෙන් මෙවර තම සහභාගීත්වය ඉල්ලා අස් කර ගෙන ඇත. ඝානා රාජ්‍යයේ විශ්ව රූ රැජිණ සංවිධානය මෙවර තහනමකට ලක් වූ හෙයින් තරගයට සහභාගී වීමට හැකිවී නැත. කිරිගිස්තානයේ රූමතිය කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී නොවන බව තීරණය කිරීමෙන් අනතුරුව තම සහභාගීත්වය ඉල්ලා අස්කරගත් අතර ලෙබනනයේ දැනට රට පුරා පැතිරී යන ප්‍රචණ්ඩකාරී වාතාවරණය හේතුවෙන් ලෙබනන රූ රැජිණ තරගය පැවැත්වීමට නොහැකි වීම නිසා එරටද විශ්ව රූ රැජිණ තරගයෙන් තම සහභාගීත්වය ඉල්ලා අස් කරගෙන තිබිණ. රුසියාවෙන් මෙවර විශ්ව රූ රැජිණ තරගයට මෙන්ම ලෝක රූ රැජිණ තරගයටද එකම තරගකාරියක් ඉදිරිපත්කර තිබූ අතර, රුසියානු රූමතියට ඇමරිකානු වීසා ලබා ගැනීමේදී ඇතිවූ ගැටළු හේතුවෙන් තරගයට සහභාගි වීමට නොහැකි විය. සැම්බියානු රූ රැජිණට විශ්ව රූ රැජිණ තරගය සඳහා සහභාගී වීමට නොහැකි වී ඇත්තේ සැම්බියානු විශ්ව රූ රැජිණ ආයතනය මුහුණ දුන් ආර්ථික අපහසුතා හේතුවෙන් බව සඳහන් වේ. මේ අතර, ගෝතමාලාව, හන්ගේරියාව සහ ශ්‍රී ලංකාව 2019 වර්ෂය සඳහා විශ්ව රූ රැජිණ තරගය පැවැත්වීමට අපොහොසත් වීම නිසා තරගයෙන් තම සහභාගීත්වය ඉල්ලා අස් කර ගැනීමට සිදු වී ඇත.