ආර්. කන්නන්- කුවේණි චෙන්නායි වාර්තාකරු
ඉන්දියාවේ මුම්බායිහි වෙසෙන 22 හැවිරිදි තරුණයෙකුගේ තොරතුරු ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ නිරන්තරයෙන් සොයා බැලූ පුද්ගලයින් සිව් දෙනෙක් එම තරුණයාව ධාවනය වන මොර්ටර් රථයක් තුලදී සමූහ දූෂණයට ලක් කර ඇත. දූෂණයට ලක් වූ පුද්ගලයා එම මොහොතේ ඉන්ස්ටග්‍රෑම්හි පළකරන ලද ඡායාරූපයක් භාවිතයෙන් සැකකරුවන් ඔහු සිටි ස්ථානය සොයා ගෙන ඇත. සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් අතර බාල වයස්කාර දරුවෙකු ද සිටින බව මුම්බායි පොලිසිය සඳහන් කරයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි:
මුම්බායිහි නගරබද අවන්හලක් අසල තරුණයා සිටගෙන සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රියේය. තරුණයා මෙම අවන්හල ඉදිරිපිට සිට සෙල්ෆි ඡායාරූපයක් ගෙන තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ උඩුගත කොට ඇත. මෙම තරුණයා පිළිබඳ වෙනත් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා තොරතුරු ලබාගත් පුද්ගලයින්ද ඒ අවස්ථාවේ සිට ඇත්තේ තරුණයා සිටි අවන්හල ආසන්නයේය. එම නිසා ඡායාරූපයේ දැක්වෙන අවන්හල මෙන්ම තරුණයා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අවන්හල පිළිබඳව සටහන් කරන ලද තොරතුරු ද පදනම් කොටගෙන තරුණයා එම වෙලාවේ සිට ඇත්තේ එම අවන්හල ආසන්නයේ බව තහවුරු කරගත් පිරිස එම ස්ථානය වෙත යතුරු පැදියකින් ළඟා වී ඇත. .
සැකකරුවන් එම ස්ථානයට ළඟාවන විටත් තරුණයා එම ස්ථානයේ තවත් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිට ඇත. එම අවස්ථාවේ තරුණයා අසළට ළං වූ පිරිස පවසා ඇත්තේ ඔවුන් එම තරුණයාව ඉන්ස්ටග්‍රෑම් හරහා “ෆලෝ” කරන බවත් ඔවුන් ඔහුගේ රසිකයින් බවත්ය. ඒ සඳහා ඔවුන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම්ද සාක්ෂියට පෙන්වා ඇත. ඉන්පසු ඔවුන් තරුණයාට පවසා ඇත්තේ ඔහු සමඟ ඔවුන්ගේ යතුරුපැදියේ වාඩිවී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම අවශ්‍ය බවයි. එයට එකඟ වූ තරුණයා යතුරුපැදියේ අනෙකුත් දෙදෙනාට මැදිව වාඩි වී ඇති අතර, එක් පුද්ගලයෙක් යතුරුපැදියේ හැඬල අල්ලා ගෙනද අනෙක් පුද්ගලයා පසුපස ආසනයේද වාඩිවී ඡායාරූපයට පෙනී සිට ඇත.
තරුණයාගෙන් තවත් ඉල්ලීමක් කළ එම පුද්ගලයින් දෙදෙනා පවසා ඇත්තේ ඔහුත් සමඟ යතුරු පැදියේ ටික දුරක් යාමට ඔවුන් ආශා කරන බවයි. තම රසිකයින් දෙදෙනාගේ කැමැත්තට ඉඩ දී තරුණයාද යතුරුපැදියේ ටික දුරක් ගමන්කර ඇත. මේ අවස්ථාවේ යතුරුපැදිකරු වේගයෙන් නොනවත්වාම යතුරුපැදිය ධාවනය කර ඇත. කිසියම් අනතුරක සේයාවක් පෙනෙන්නට තිබුණු නිසා තරුණයා ඔහුට යතුරුපැදියෙන් බසින්නට අවශ්‍ය බව තදින්ම කියා ඇත.
කෙසේ නමුත් යතුරු පැදිය මෝටර් රථයක් අසල නවත්වන ලද අතර, තරුණයා එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ දරන ලදී. එම ස්ථානයට පැමිණි තවත් දෙදෙනෙකු සහ යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනාද එක්ව තරුණයා බලහත්කාරයෙන්ම මෝටර් රථයට නංවා ඇත. අසල ඉන්ධන පිරවුම්හලකින් මෝටර් රථයට ඉන්ධන ලබාගෙන ඇත්තේද තරුණයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාකොටය. තවද තරුණයාගේ පසුම්බියේ තිබී ඉන්දියානු රුපියල් 2000ක මුදලක් ද සැකකරුවන් විසින් මංකොල්ල කා ඇත.
මෝටර් රථය ධාවනය වන අතරතුර පිරිස තරුණයාව සමූහ දූෂණයට ලක් කර ඇත. සඳුදා පාන්දර සැකකරුවන් විසින් තරුණයා මහමඟ දමා පලා ගොස් ඇත. ඉන්පසු තරුණයා සිය දෙමව්පියන්හට දූරකතනයෙන් සිදුවීම පවසන ලද අතර, ඔහුගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම්දෙන ලදී. පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර සැකකරුවන් 20,21 සහ 22 වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි. මොවුන් අතර බාල වයස්කාර පුද්ගලයෙකුද වේ.