නිතර ආහාරයට නොගැනුණද කතුරුමුරුංගා මල් යනු ඉහළ පෝෂණ ගුණයක් මෙන්ම රසයක් ද සහිත වස විසෙන් තොර දේශීය ආහාර වර්ගයකි. Sesbania grandiflora යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කතුරුමුරුංගා ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Hummingbird Tree යනුවෙනි. රතු සහ සුදු පැහැති මල් සහිත කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් ඇති අතර ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නේ සුදු පැහැති මල් සහිත කතුරුමුරුංගා ප්‍රභේදයයි.
ගම්බදව මෙන්ම නගරබදවද කතුරුමුරුංගා කොළ මැල්ලුම ජනප්‍රිය වුවද, කතුරුමුරුංගා මල් භාවිතයෙන් සැකසූ ආහාර සොයා ගැනීම අපහසුය. වෙළෙඳපොළේ වුවද කතුරුමුරුංගා කොළ විකිණීමට තිබුණද ඉතා ඉක්මනින් නරක් වීම සිදු වන හෙයින් මල් සොයා ගැනීම තරමක් අපහසුය. නමුත් ගෙවත්තේ කතුරුමුරුංගා පැළයක් සිටුවා ගෙන ඇත්නම් නැවුම් කතුරුමුරුංගා මල් ඔබටත් ආහාරයට ගැනීමට හැකිවේ.
කතුරුමුරුංගා ඉතා පහසුවෙන් ගෙවත්තේ වවාගත හැකි ශාකයකි. මේ සඳහා රසායනික පොහොර භාවිතය අවශ්‍ය නොවන අතර ගොම හෝ දිරාපත්වන කොළ රොඩු (ඓන්ද්‍රිය ද්‍රව්‍ය) පොහොර ලෙස යෙදිය හැක. මෙම ශාකයේ මුල්වල මූල ගැටිතිවල නයිට්රජන් තිරකරන බැක්ටීරියා තිබෙන හෙයින් ශාකයට අවශ්‍ය පෝෂක එමඟින් ලැබෙන අතර, පසද සරුවේ.
පැළ සිටුවා මාස 8කින් පමණ කොළ අස්වැන්න ලබා ගත හැකි අතර වසරකින් පමණ පසු මල් අස්වැන්නද ලබා ගත හැකිවේ. රසායනික පොහොර භාවිතය අවශ්‍ය නොවන නිසා ඉන් ලැබෙන පලදාව විෂ රසායනයන්ගෙන් තොරය. කතුරුමුරුංගා මල්වල ඉහළ කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වන අතර, ප්‍රොටීන, යකඩ මෙන්ම විටමින් වර්ග වලින්ද සමන්විත වේ.

කතුරුමුරුංගා ව්‍යාංජනයක් ලෙස මෙන්ම හාල්මැස්සන් සහ බිත්තර සමඟ රසවත් බැදුමක් ලෙසද සකසා ගත හැකිය.
කතුරුමුරුංගා මල් සෙම් රෝග සඳහ මෙන්ම කැස්ස, ඇදුම සහ උගුරේ ආසාදන සඳහා ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වේ. මුඛය ආශ්රිත උෂ්ණ රෝග වන තොල් පැළීම සහ මුඛය අභ්‍යන්තරයේ තුවාල සඳහා කතුරුමුරුංගා කොළ මෙන්ම මල්ද ගුණදායකය. තන්තු අධිකව ඇති හෙයින් කතුරුමුරුංගා මල් මලබද්ධයටද ගුණදායක බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි.
වර්තමානයේ වෙළෙඳපොළේ විකිණීමට ඇති වසවිස පිරුණු එලවලු සමඟ සැසඳීමේදී කතුරුමුරුංගා මල් වසවිසෙන් තොර පසුම්බියටද ගැලපෙන පෝෂණීය ආහාරයකි.
බිත්තර සමඟ කතුරුමුරුංගා මල් බැදුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
- කතුරුමුරුංගා මල් ග්රෑ. 250
- බිත්තර-1
- රම්පෙ- කුඩා කැබැල්ලක්
- කරපිංචා කොළ කිහිපයක්
- පොල්තෙල්- මේස හැන්දක්
- අමු මිරිස්- කරල් කිහිපයක්
- රතුළූණු- ගෙඩි 3ක් පමණ
- ගම්මිරිස් කුඩු- තේ හැඳි කාලක්
- කහකුඩු ස්වල්පයක්
- තුනපහ කුඩු ස්වල්පයක්
- ඉඟුරු කුඩා කැබැල්ලක්
- සුදු ළූණු බික්- 1/2 ක්
- ලුණු
- බටර් තේ හැඳි භාගයක්
සාදන ක්‍රමය
ගෙවත්තෙන් නෙළාගත් කතුරුමුරුංගා මල්වල මැද ඇති ලා කොළ පැහැති නාරටිය ඉවත්කර ගන්න. (කතුරුමුරුංගා පිසීමේදී මෙම මැද නාරටිය ඉවත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ එම කොටස ව්‍යාංජනයේ හෝ බැදුමේ තිත්ත රසයට හේතුවන බැවිනි ) ඉන්පසු මල් පොඩි නොවන සේ සෝදා ගන්න.
පිරිසුදු කපු රෙදි කැබැල්ලක් මතට සෝදා ගත් කතුරුමුරුංගා මල් දමා තෙත ගතිය ඉවත්වන්නට ඉඩ හරින්න. ඉඟුරු කුඩා කැබැල්ල සහ සුදු ළූණු කැබැල්ල කුඩා වංගෙඩියකට දමා පේස්ට් වනතුරු හොඳින් කොටා ගන්න. රතුළූණු සිහින්ව කපා ගන්න. අමු මිරිස් ද කැබලි වලට කපා ගන්න.
මේ අතර භාජනයකට තෙල් දමා රත්වන්නට හරින්න. එයට රම්පෙ, කරපිංචා සහ කුරුඳු කැබැල්ල එක්කර තෙල් සමඟ මිශ්‍ර වීමට ලී හැන්දකින් හැඳි ගාන්න. ඉන්පසු ඉඟුරු-සුදුළූණු පේස්ට් ස්වල්පයක් දමා හැන්දෙන් කලවම් කරන්න. එයටම රතුළූණු සහ අමු මිරිස් එක් කරන්න. ඉන්පසු තුනපහ කුඩු, කහ කුඩු සහ ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් එක්කර හොඳින් කලවම් කරන්න. ලුණුද අවශ්‍ය පමණට එක් කරගන්න. තෙලේ බැදෙමින් තිබෙන අමුද්‍රව්‍ය කරවීමට ඉඩ නොදීමට විටින් විට මිශ්‍රණය හැන්දකින් කලවම් කරන්න. මෙම අමුද්‍රව්‍ය සියල්ල විනාඩි එක හමාරක් පමණ තෙලේ බැදුණුපසු එයට කතුරුමුරුංගා මල් එක් කරන්න. ඉන්පසු හැන්දකින් ප්‍රවේශමෙන් කලවම් කරන්න. මෙසේ කතුරුමුරුංගා මල් විනාඩි 2ක් පමණ විටින්විට හැඳිගාමින් බැදෙන්නට හරින්න. ඉන්පසු එයටම බිත්තරයද කඩා එක්කරගන්න. කතුරුමුරුංගා මල් කුඩා කැබලි වලට නොකැඩෙන සේ බිත්තර සිහින් කැබලි බවට පත්වනතුරු හැන්දෙන් නොකඩවා කලවම් කරන්න. විනාඩියක් පමණ මෙසේ කිරීමෙන් බිත්තර කැබලි බවට පත් වී තිබෙනු දක්නට ලැබේ. මෙම මිශ්‍රණය විනාඩියක් පමණ තවදුරටත් බැදෙන්නට ඉඩ හරින්න. අවශ්‍ය නම් බටර් තේ හැඳි භාගයක් පමණ මෙයට එක්කර ගත හැක. බිත්තර සහ කතුරුමුරුංගා මල් හොඳින් බැදුණු පසු භාජනයකට දමා උණු උණුවේම පිළිගන්වන්න.
කතුරුමුරුංගා මල් පිස ගැනීමේදී එහි ප්‍රමාණය අඩුවන හෙයින් මල් වැඩිපුර එක්කර ගැනීමට අමතක නොකරන්න.