භාග්‍යා සෙව්මිණි තෙන්නකෝන්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට මුල්වූ අතර, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව ද කටයුතු කරන ලදී. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අකාර්යක්ෂම සහ දූෂිත ක්රියාපිළිවෙලද දැඩිලෙස විවේචනයට ලක් කළ එම සංගමයේ වර්තමාන ස්ථාවරත්වය, රටේ සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ පා ඇති ගැටළු සහ ඒවාට නව රජයෙන් බලාපොරොත්තු වන විසඳුම් ආදිය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සමඟ ‘කුවේණි’ පැවැත්වූ සාකච්ඡාව පහතින් දැක්වේ.
ලංකාවේ වර්තමානයේ තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි සිරුරට අහිතකර, වස විස පිරුණු ආහාර වර්ග. වෙළෙඳපොළේ මෙවන් ආහාර වර්ග කිසිදු නියාමනයකින් තොරව විකිණීමට තිබෙනවා. වසක් විසක් නැති කෑමක් හොයා ගන්න බැරි තත්ත්වයක් අද තියෙන්නේ. මේ ගැටළුවට මොනවගේ විසඳුමක්ද ඔබතුමන්ලා යෝජනා කරන්නේ?
මේ ප්‍රශ්නෙට විසඳුමක් දවසකින් දෙකකින් දෙන්න අමාරුයි. දැනටත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමයි ඉන්නවා දියවැඩියාව හැදිලා. පිළිකා රෝහලේ පොඩි ළමයි ඉන්නවා පිළිකා හැදිලා. අද ගමක හෝ නගරයක මිනිස්සු ගත්තම මොකක් හරි බෝ නොවන ලෙඩක් එහෙම නැත්තන් පිළිකාවක් තියෙනවා. මේ විදියට වෙන්න අපි කන කෑම වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. බොහෝ දෙනෙක් ඉන්න මතයක් තමයි දුම්වැටි, මත්පැන් භාවිතා කරන අයට එවන් රෝග වැළඳීමේ සම්භාවිතාව වැඩි කියන එක. නමුත් හැමෝම ඒ වැරැද්ද කරන්නෙ නෑනෙ. දුම්වැටි භාවිතා කරන අයට පිළිකා වගේ රෝග හැදුණට, දුම්වැටි භාවිතා නොකරන අයට හැදෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසයි මම කියන්නේ අපි කන කෑමවල ලොකු ගැටළුවක් තියෙනවා කියලා. ලංකාවට කොච්චර නම් පිට රටින් පලතුරු ගේනවද? ඒ හැම දෙයකටම වස විස ගහලා තියෙන්නේ. මාස ගණන් පරණ පිට රටින් ගෙන්වන ඇපල්, මිදි, දොඩම් වගේ පලතුරු අපි කන්නේ. මම අහන්නේ ලංකාවේ පලතුරු නැතුවද මේවා පිටරටින් ගෙන්වන්නේ? රටේ ජනතාවට හුරු කරවන්න ඕන වස විස නැති දේශීය පලතුරු කන්න. රජය මැදිහත් වෙන්න ඕන දේශීයව නෙළා ගන්නා පලතුරු වලට වස විස කලවම් නොකර වෙළෙඳපොළට නිකුත් කරන්න හැකි වෙන විදියේ ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න. එලවලු, පලතුරු විතරක් නෙවෙයි අනෙකුත් ආහාරත් වස විස නැතුව නිෂ්පාදනයට ප්‍රතිපත්ති සැකසිය යුතුයි.
කිරි පිටි සම්බන්ධයෙනුත් ලංකාවේ මේ වෙනකොට විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. අපේ සංගමයේ සභාපතිතුමා වෛද්‍ය පාදෙණිය මහතා කිහිප වතාවක් පෙන්වලා දුන්නා ආනයනික කිරිපිටිවල තියෙන්නේ කිරි නෙවෙයි කියලා. එහෙම තිබියදීත් රටේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් ශරීරටය අහිතකර කිරි පිටි සහ කෝලා වර්ග ප්‍රවර්ධනය කරන වෙළෙඳ දැන්වීම් වලට පෙනී ඉන්නවා. ඒකට අපි තදින්ම විරුද්ධයි. ඒ විතරක් නෙවෙයි පිළිකා කාරක තියෙන ආහාර වර්ගවලට ජනතාව පොළඹවන ගමන් ඒ ක්‍රිකට් ක්‍රීඩකයොම පිළිකා රෝහල් හදන්න ඉදිරිපත් වෙනවා. ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයො ජනතාවට වැරදි මතයක් දෙනවා ආහාර ගැන. පාර්ලිමේන්තුවටත් වාර්තාවක් ආවා දැන් වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි වල කිරි නෙවෙයි අඩංගු වෙන්නේ කියලා. මේවා ඔප්පුවෙලා තියෙද්දි ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් යුතුකමක් තියෙනවා, ජාතික වගකීමක් තියෙන පුද්ගලයින් ලෙස මේ වගේ අහිතකර ආහාර වර්ග ප්‍රවර්ධනය නොකර ඉන්න. මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න මේවා හරියටම නීතිගත කරන්න ඕන.
වර්තමානයේ බරපතල ගැටළුවක් වෙලා තියෙන වස විස සහිත ආහාර වෙනුවට බයක් සැකක් නැතුව කෑමට ගන්න පුලුවන් ආහාර රට පුරා ව්‍යාප්ත කරන්න රජය මැදිහත් විය යුතුයි.
වස විස පිරි ආහාර වගේම බෝ නොවන රෝග වැඩි වෙන්න තවත් හේතුවක් නේද සමහර ලෙඩ වලට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ග?
ඉස්සර වැඩිපුර තිබුණේ බෝවෙන රෝග. දැන් තියෙන්නේ බෝනොවන රෝග.ඒ වගේම වර්තමානයේ මරණවලට ප්‍රධාන හේතුවක් තමයි වෛද්‍යවරුන් විසින් රෝගීන්ට නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග. ඒක තමයි මිනිස්සුන්ගේ මේ ලෙඩ වීමටත් හේතුව. පහුගිය රජය කාලේ සෞඛ්‍ය ඇමතිවරයාට අපි දිගටම කිව්වා ලංකාවේ දැන් තියෙන බෙහෙත් වර්ග ගැන වගේම ඒ හා සම්බන්ධ ප්‍රශ්න ගැන අප්ඩේට් කරන්න සෞඛ්‍ය අමාත්‍යංශයට හොට්ලයින් එකක් හදන්න කියලා. එතකොට ඕනෑම වෛද්‍යවරයෙකුට පුලුවන් අද ආපු අලුත් බෙහෙත මොකද්ද කියලා ඔන්ලයින් දැනගන්න.ඒ වගේම ඒකේ අතුරුආබාධ මොනවාද කියලා දැනගන්නත් පුළුවන්. අද රටේ හැම දෙනාම වාගේ අන්තර්ජාලය පාවිච්චි කරන නිසා මේක අමාරු දෙයක් නෙවෙයි. නමුත් එහෙම කළේ නෑ බලධාරීන්. සෞඛ්‍ය ඇමතිවරයා ප්රමුඛ කණ්ඩායම ඖෂධ මාෆියාවක් ගෙන ගියා. බෙහෙත් අඩු මිලට දෙනවා කියලා බාල බෙහෙත් පිට රටින් ගෙන්වලා බෙදා හැරියා. මේ නිසා අහිංසක රෝගීන් බොහෝ දෙනෙක් දුක් වින්දා.
එහෙම වුණාම ඖෂධ වල ගුණාත්මක බව තහවුරු වෙන්නේ නැහැ. අපේ රටේ තවම නෑ ඖෂධ වල ගුණාත්මකභාවය පරීක්ෂා කරන පරීක්ෂණාගාර. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියෙත් තියෙනවා ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ ගැටළු තිබෙනවා සහ බොහෝ ඖෂධ ගුණාත්මක නෑ කියලා. බෙහෙතක් නිර්දේශ කරනකොට ඉස්සර වෙලාම බලන්න ඕන බෙහෙත ගුණාත්මකද කියලා.ඊට පස්සෙ ගුණාත්මක බෙහෙත් අතරින් මිල අඩුම එක තෝර ගත්තාට ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් වෙන්නේ ගුණාත්මක බවින් අඩු, මිලත් අඩු බෙහෙත් රෝගීන්ට දෙන එක.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය යහපාලන රජය සමයේ වැඩ වර්ජන වලට මුල් වුණා. බොහෝ දෙනෙකුගේ මතයක් තමයි වර්තමාන රජය යටතේ ඔබලා වැඩ වර්ජන නොකරයි කියලා. එහෙම වෙයිද ඉදිරියට?
අපිට එහෙම කියන්න පුළුවන් කමක් නෑ. රටේ සහ රෝගීන්ගේ යහපත වෙනුවෙන් අපි ගන්න තීරණවලට රජය හෝ සෞඛ්‍ය අමාත්‍යවරිය එකඟ නොවුණොත් අපට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත් බවක් පෙනෙන්නට තිබුණා. එයට හේතුව කුමක්ද?
ඔව් යම් යම් ගැටළු තිබුණා. මීට කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල එක්කත් අපට ප්‍රශ්න තිබුණා. ඒවෙලාවේ හිටපු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් ඒ ප්‍රශ්නවලට සංවේදී වුණා. නමුත් පසුගිය රජය සමයේ අගමැතිවරයා අපේ ප්‍රශ්නවලට කන් දුන්නේ නෑ.ජනාධිපතිවරයාට යම් දෙයක් කරන්න අවශ්‍යතාවය තිබුණත් කරගන්න බැරි වුණා. ඒ නිසයි ඒ ගැටළුව ආවේ. අපේ ප්‍රශ්නවලට කන් දෙන්න කෙනෙක් හිටියේ නෑ. ඒකයි අපි විපක්ෂයක් වගේ මිනිස්සු දකින්න ගත්තේ. අපි මේ ගැන පසුගිය කාලෙ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟත් සාකච්ඡා කළා. අපි එතුමාව හමු වුණාම එතුමා ඇහුවා අපි ආණ්ඩු විරෝධීද කියලා. අපි කිව්වා ‘මේ මොහොතේ ආණ්ඩු විරෝධයක් වගේ පේන්නේ ආණ්ඩුවේ කවුරුත්ම අපි කියන දේ අහන්නේ නැහැ, එතකොට අපිට කරන්න තියෙන්නෙ පාරට බහින්න එහෙම මිසක් අපි කොයි වෙලාවකවත් වෘත්තීය සංගම් ක්‍රියාමාර්ග වලින් ප්‍රශ්න විසඳගන්න සංගමයක් නෙවෙයි’ කියලා. අපි අදත් හෙටත් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න. වෛද්‍යවරුන්ගේ අයිතීන් සුරකින්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම අපි ජනතාවගේ අයිතිවාසකම් වෙනුවෙනුත් පෙනී සිටිනවා.
පසුගිය රජයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැසට් කර ගන්නට නො හැකි වුණා. නව රජය යටතේවත් එය සිදුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවාද?
මේ ගැන කතා කරනකොට සයිටම් ගැන කතා නො කර බැහැ. සයිටම් අර්බුදය ආපු වෙලාවෙත් අපි කිව්වේ අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සුරක්ෂිත කරන එක කියලා. එතකොට තව ප්‍රශ්නයක් ආවා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට ගැලපෙනවාද නැද්ද කියන එක. අපි දිගටම කියා හිටියේ මොන විදියේ වෛද්‍ය අධ්‍යාපනයක් වුණත් ඒකෙ ප්‍රමිතියක් තියෙන්න ඕන කියලා.
වෛද්‍ය සභාව ප්‍රකාශයට පත් කළා ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රමිති මාර්ගෝපදේශ සංග්‍රහයක්. ඔවුන් පැවසුවා සයිටම් එක වෛද්‍ය සභාව සඳහන් කරන ලද ප්‍රමිති මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් වෙන්නේ නෑ කියලා. එතකොට පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උසාවියට ගිහින් කිව්වා වෛද්‍ය සභාව කියන එක එතුමා පිළිගන්නේ නැහැ කියලා. ලෝකෙ කිසිම සෞඛ්‍ය අමාත්‍ය වරයෙක් කරන දෙයක් නෙවෙයි ඔහු ඒ කළේ.
අද වෙනකොටත් සයිටම් එකෙන් වෛද්‍යවරු කියලා 84 දෙනෙක් අධිකරණ තීන්දුවකින් වෛද්යභාවය ලබාගෙන තියෙනවා. එතකොට ඒ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය විශාල ගැටළුවක් වෙලා තියෙනවා. නමුත් නීතියෙන් ඔවුන්ට බලයක් තියෙනවා වෛද්‍යවරු ලෙස සේවය කරන්න. ඔවුන් දැන් සීමාවාසික වෛද්‍යවරු විදියට වැඩ කරනවා. නිසි සායනික පුහුණුවක් සහ වෛද්‍ය අධ්‍යාපනයක් නො ලද ඔවුන් එසේ වෛද්‍යවරුන් කරන්න දරදිය ඇද්දේ රාජිත සේනාරත්න. පාර්ලිමේන්තුවේදි පවා පිළිගත්තා සයිටම් සිසුන්ට ලැබුණු පුහුණුවත් අධ්‍යාපනයත් මදි, ඒ නිසා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලෙට ගිහින් උපාධිය සම්පූර්ණ කරන්න කියලා. නමුත් එහෙම නොකර සයිටම් එකෙන් පිටවුණු ඒ සිසුන් 84 දෙනාට සයිටම් උපාධිය ලබා දුන්නා කිසිදු ප්‍රමිතියක් නැතුව.
රාජිත ඇමතිවරයා ගෙන ගියේ ඉතා කූඨ ව්‍යාපාරයක්. ඒ නිසයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් ගැසට් කළේ නැත්තේ. දැන් තියෙන ක්‍රමයට අනුව, උසස් පෙළ සමත්වෙන සුළු පිරිසක් තමයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්නේ. මේ ත්ත්ත්වෙ යටතේ අපි කිව්වා බී සාමාර්ථ තුනක්වත් අඩුම තරමෙන් අවම සුදුසුකම් කියලා ගැසට් කරන්න කියලා. ඒක කළේ නෑ. ඔවුන් දිගටටම කිව්වේ සාමාන්‍ය සාමාර්ථ තුනකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ගිහින් වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් කියලා. සාමාන්‍ය සාමාර්ථ දක්වා සුදුසුකම් අඩු කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුල් කරගන්න පිරිස වැඩි කරගන්න. ඒක ව්‍යාපාරයක්. එහෙම නැතුව වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ඔවුන්ට අවශ්‍ය නෑ.
රාජිත සේනාරත්න අන්තිමට ගෙදර යන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් ගැසට් කරන්නේ නැතුව. අපි අදටත් කියන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හැකි ඉක්මනිත් ගැසට් කරන්න ඕන කියලා. ඒකට එකඟ වුණා ජනාධිපති වෙන්න හිටපු අයයි වුණ අයයි. ඒ නිසා ඒක හැකි ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයක්.
සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවුණු සිසුන් 84 දෙනාට නිසි සායනික සහ වෛද්‍ය අධ්‍යාපනයක් ලැබුණේ නෑ කියලා ඔබ පැවසුවා. සාමාන්‍ය රෝගීන් කොහොමද මේ සුදුසුකම් නැති ‘සයිටම්’ වෛද්‍යවරු හඳුනා ගන්නේ?
ඔබ රෝහලකට ගියොත් ඔබට බෑ සයිටම් වෛද්‍යවරු හඳුනා ගන්න. ඒත් අනෙක් වෛද්‍යවරු ඔවුන්ව හඳුනනවා. අපිත් දන්නවා කොළඹ කී දෙනෙක් ඉන්නවාද කුරුණෑගල කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ රෝහල්වල ඉන්න වෛද්‍යවරු තමන්ගේ නෑ හිතවත්තු සයිටම් වෛද්‍යවරු ළඟට යවන්නේ නෑ. නමුත් සාමාන්‍ය රෝගීන් ඒ ගැන දන්නෙ නෑ. ඔවුන් ඒ වෛද්‍යවරුන්ට අහු වෙනවා.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ කටයුතු කර තිබෙනවා. ඒ අතුරින් ඔබ සංගමයට කටයුතු කිරීමට වඩාත් අපහසු වුණු අමාත්‍යවරයෙක් සිටිනවාද?
පසුගිය රජයේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා එක්ක අපට ගැටළු බොහෝමයක් තිබුණා. අපි රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා එක්කත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න. ඒත් ඇමතිවරයා සාකච්ඡාවක ආචාරධර්මවත් රකින්න පුළුවන් වුණ කෙනෙක් නෙවෙයි. අපි එතුමත් එක්ක සාකච්ඡාවට දවසක් එතුමාගේ ගෙදර ගියා. ගිහින් එළියට එනවත් එක්කම එතුමා ඉතාමත් පහත් විදියට අපි වාඩි වෙලා කතා කරපු මේසෙ උඩ මත්පැන් බෝතලයක් තියලා ඒකෙ ෆොටෝ එකක් අරගෙන බොරුවට අපිව අපහසුතාවයට පත් කරන්න සමාජ මාධ්‍ය වලට දාලා තිබුණා.
ඇමතිතුමා වටේ හිටපු පරපෝෂිතයො වගේ පිරිස එකතුවෙලා ඇමතිතුමාට කිසිම හොඳ දෙයක් කරන්න ඉඩ දුන්නේ නෑ. රාජිත ඇමතිතුමා විතරක් නෙමෙයි එතුමාගේ බිරිදත් වගකියන්න ඕන ඒකට. එයාලා එකතුවෙලා රටේ සෞඛ්‍ය ක්ෂේත්රය පවුලේ රාජධානිය කරගත්තා. ඒ වගේම ඔවුන්ගේ ඉත්තන්ගෙත් රාජධානිය කරගත්තා. එහෙම ඉන්න බැහැ සෞඛ්‍ය ඇමතිකෙනෙක්ට. එහෙම ඉන්න හදපු නිමල් සිරිපාල ඇමතිතුමාට මොකද වුණේ? නිමල් සිරිපාල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට එනකොට හිටියේ අගමැතිකම පෙනිපෙනි. ඒත් එතුමා හරියාකාරව වැඩ නොකරපු නිසා එතුමා අමාත්‍ය ධුරයෙන් අයින් වුණේ එතුමාගේ ආසනෙත් පැරදිලා.
මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමති විදිහට වැඩ භාර ගන්නකොට එතුමා එතරම් කතාබහට ලක් වුණ කෙනෙකුත් නෙවෙයි. අන්තිමට එතුමා රටේ ජනාධිපති වෙලා නතර වුණේ. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වෙනකොට රටේ හිටපු ප්‍රබල දේශපාලන චරිතයක්. පසුගිය සෞඛ්‍ය ඇමතිවරු, ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයට කළ සේවය හෝ හානිය මත පදනම් වෙලා ඔවුන්ට අත්වුණ ඉරණමත් එක්ක අපි රාජිත ඇමතිවරයාගෙන් ඇහුවා ජනාධිපති වෙනවද අගමැති වෙනවද ගෙදර යනවද? කියලා. ඒක තීරණය කරන්න ඕන සෞඛ්‍ය ඇමතිවරයා.
අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න රාජිත සේනාරත්න කියන චරිතෙ ගැන.එතුමාට වෙන්න පුලුවන් ඉහළම හානිය වෙලා තියෙන්නේ. අද මිනිස්සු එතුමාට වෛර කරන තත්ත්වෙට පත්වෙලා. ඒකට හේතුව තමයි ඔහු මේ පද්ධතියට අනුගත නොවී තමන්ගේ ඉත්තො ටිකක් එක්ක රට කරන්න උත්සාහ කරපු එක. ඊට අමතරව ජාතික වශයෙනුත් කරපු වැරදි බොහෝමයක් තියෙනවා. හොරකම් ගොඩාක් සිදු වුණා. මම එකක් කියන්න කැමතියි. සෞඛ්‍ය වගේ ක්ෂේත්රයක ඉන්න කෙනෙක්ට නරකින් ගොඩ යන්න බෑ කවදාවත්. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති වෙනකොටම අපි කිව්වා මේක හරිම සංවේදී ක්ෂේත්රයක්. හරියට කළොත් ජනාධිපති හෝ අගමැති වෙන්නත් පුලුවන්, එහෙම නැත්තන් මොනවවත්ම නැතුව ගෙදර යන්නත් පුලුවන් කියලා. අපිට දැන් පේන එක තමයි එතුමා අන්තිම කුජීතවෙලා ගෙදර ගියා කියන එක. ඒ විතරක් නෙවෙයි පැමිණිලි ගනණාවක් තියෙනවා ජනාධිපති කොමිසන් වාර්තාවල. එතුමාව උසාවි වුණත් ගේන්න පුලුවන්කම තියෙනවා.
අපරාධ විධිවිධාන යටතෙත් ඔහුට චෝදනා ගොනු කරන්න පුලුවන් කාරණා තියෙනවා. කොහොම වුණත් මීළඟ ඇමතිතුමිය දැනගන්න ඕන රටේ සෞඛ්‍ය ක්ෂේත්රය කියන්නෙ අත්තනෝමතිකව තමන්ට ඕන ඕන දේ කරන්න පුලුවන් තැනක් නෙවෙයි කියලා.