තිසංජා සදෙව්නි සුබසිංහ
සෞදි අරාබි රජය දැඩිසේ විවේචනයට ලක් කළ ජමාල් කෂෝගි නම් මාධ්‍යවේදියා තුර්කියේ ඉස්තාම්බුල්හි පිහිටි සෞදි අරාබි මහ කොමසාරිස් කාර්යාලයයේදී අමානුෂික අයුරින් ඝාතනයකොට වසරක් ගතවූ පසු ඔහුගේ ඝාතකයින් අතුරින් පස් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට සෞදි අරාබි රජය තීරණය කොට ඇත. නමුත්, කෂෝගිගේ සැබෑ ඝාතකයින් තවමත් නිදැල්ලේ සිටිමින් රාජ්‍ය පාලනය සිදු කරමින් සිටින බව ලොවම දන්නා රහසකි.
ජමාල් කෂෝගි
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ (MBS)රජය සහ පාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදියෙකු ලෙස ජමාල් කෂෝගි ප්‍රසිද්ධියක් උසුලයි.
වර්ෂ 1958 සෞදි අරාබියේ මදීනා නගරයේ උපත ලද ජමාල් කෂෝගි පුවත්පත් කලාවේදියෙකු, තීරු ලිපි රචකයෙකු, කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ අතර, ‘අල් ඇරෑබ් නිවුස් ‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයද හොබවන ලදී. ඇමරිකාවේ ඉන්ඩියානා ස්ටේට් විශ්ව විද්‍යාලයයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් හිමිකරගත් කෂෝගි, පුවත්පත් කලාවේදියෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්රයට එක් වූයේ 1985වර්ෂයේ ය. පසුව, විදෙස් පුවත් වාර්තාකරුවෙකු ලෙස සහ ප්‍රධාන කර්තෘ වරයෙකු ලෙස කටයුතු කළේය. ඇෆ්ගනිස්තානය, ඇල්ජීරියාව, කුවේටය, සුඩාන් සහ මැද පෙරදිග රටවල විදෙස් පුවත් වාර්තාකරුවෙකු ලෙස සේවය කළ කාල සීමාව තුල කෂෝගි සෞදි අරාබි බුද්ධි සේවය සහ ඇමරිකානු බුද්ධි අංශ සමඟද සම්බන්ධව කටයුතු කළ බව පැවසේ.
සෞදි රජ පවුලේ උදහසට ලක්ව ඝාතනය වුවද, ජමාල් කෂෝගිගේ සීයා වන මුහම්මද් කෂෝගි සෞදි රාජ්‍යයේ නිර්මාතෘ අබ්දුල් අසීස් අල් සවුද් රජුගේ පෞද්ගලික වෛද්‍යවරිය සමඟ විවාහ වී ඇත. බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරිකාවක වූ ඩයනා කුමරියත් සමඟ පැරීසියේදී මියගිය ඇගේ පෙම්වතා වූ ඩෝඩි අල් ෆයිඩ් ජමාල් කෂෝගිගේ සමීපතම ඥාති සොයුරාය.
සෞදි අරාබි රජය විවේචනය කිරීමේ චෝදනාවට සිය මිතුරන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව, 2017 දී කෂෝගි ඇමරිකාවට පලා ගොස් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ලදී. එම පුවත්පතට කෂෝගි විසින් ලියන ලද තීරු ලිපි මඟින් සෞදි රජය සහ ඔටුන්න හිමි කුමරු මුහම්මද් බින් සල්මාන් දැඩි ලෙස විවෙචනයට ලක් කරන ලදී.
ජමාල් කෂෝගි එක් අවස්ථාවක සෞදි රජය විවේචනය කරමින් කියා සිටියේ ” සෞදි රජය මින් පෙර කවරදාකවත් මේ ලෙසින් මර්දනකාරී වී නොමැත. දැන් සෞදි රජය සිටින්නේ මර්දනයේ උපරිම අවස්ථාවේ ය”, යන්නයි.
නොනවත්වා දැඩි ලෙස සෞදි රජය සහ සල්මාන් කුමරුගේ නව ලිබරල් රාජ්‍ය ප්රතිපත්තීන් විවේචනය කරමින් සිටි කෂෝගි පිළිබඳව ඉක්මන් තීරණයක් ගත යුතු යැයි සෞදි කුමරු සල්මාන් තම ආධාරකරුවෙකුට පැවසූ බව ඇමරිකානු බුද්ධි වාර්තාවක් හෙළි කර ඇත. තවද සල්මාන් කුමරු කෂෝගිව හඳුන්වා දී ඇත්තේ ‘භයානක ඉස්ලාම් ආගම්වාදියෙකු’ ලෙසයි.
පනස් නව හැවිරිදි ජමාල් කෂෝගිගේ ට්විටර් ගිණුමේ දෙස් විදෙස් රසිකයින් (followers)මිලියන 1.6ක් සිට ඇති අතර සෞදි රජයට එරෙහි විවේචන ඔහුගේ සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාතිකයට මුදා හරින ලදී. ඔහු සමාජ මාධ්‍යවල ද කතා බහට ලක් වූ චරිතයක් වූ හෙයින් ඔහුගේ විවේචන සෞදි රජයට දැඩි බලපෑමක් එල්ල කරන ලදී.
කෂෝගිගේ ඝාතනය
පසුගිය වසරේ (2018) ඔක්තෝබර් 2 වන දින ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පිහිටා ඇති සෞදි අරාබි මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණ ඇත්තේ සිය පළමු බිරිඳගේ දික්කසාදයේ සහතිකය රැගෙන ඒමටයි. ඒ වන විටත් තුර්කි ජාතික තිස් හය හැවිරිදි එක් දරු මවක් වන හෙටිස් කොන්ජීස් සමඟ කෂෝගි විවාහ ගිවිසගෙන සිටියේය. කෂෝගි ඉස්තාම්බුල් නගරයේ පිහිටි සෞදි අරාබි මහ කොමසාරිස් කාර්යාලයයට ගොස් තිබුණේ ද සිය පෙම්වතිය වන කොන්ජීස් සමඟ ය. ඇය මහා කොමසාරිස් කාර්යාලයයේ පිටත රැඳී සිට ඇති අතර, කාර්යාලයය ඇතුළට ගිය සිය පෙම්වතා නැවත නොපැමිණි බව ඈ පවසා සිටියාය. කොන්ජීස් තවදුරටත් පවසා සිටියේ සෞදි මහා කොමසාරිස් කාර්යාලයය තුලට ගිය සිය පෙම්වතා දූරකතනයෙන් තමා අමතා පවසා සිටියේ ඔහුට පිටතට ඒමට නොහැකි වුවහොත් තුර්කි ජනපතිවරයාට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි.

ජමාල් කෂෝගිගේ හද කම්පා කරන ඝාතනය පිළිබඳ තොරතුරු තුර්කි මාධ්‍ය මෙන්ම, බුද්ධි සේවා වාර්තා කළද සෞදි රජය කියා සිටියේ කෂෝගි මිය ගියේ නැති බවය.
සෞදි මහා කොමසාරිස් කාර්යාලයය තුලදී සොයාගත් බුද්ධි අංශයන්ට අයත් පටිගත වූ හඬපට විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාව සඳහන් කළේ මහා කොමසාරිස් කාර්යාලයය තුලදී ජමාල් කෂෝගී ඝාතනය කොට සිරුරේ කැබලි පොලිතීන් බෑගවල දමා පිටතට රැගෙනගොස් ඇති බවයි.
එම වාර්තාවේ සඳහන් පරිදි, හඬපටයන්හි පටිගත වී තිබුණු කරුණු අනුව කෂෝගිගේ ඝාතකයින් ඔහු සෞදි මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණෙන තෙක් මඟ බලා ඇත. ඉස්ලාම් ආගමට අනුව ශුද්ධ වූ උත්සවයන් සඳහා සතෙකු මරණයට කැප කරන අතර, හඬපටවල පටිගත වී ඇති අන්දමට එදින කෂෝගිගේ ඝාතකයින් ‘මරණයට කැප කරන සතා’ තවම ලැබුණේ නැතිය යන්න කතා වී ඇත.
සවස 1 ට පමණ තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පිහිටා ඇති සෞදි මහා කොමසාරිස් කාර්යාලයය තුලට පැමිණි ජමාල් කෂෝගි, ඝාතකයින් විසින් බලහත්කාරයෙන් දෙවන මහලේ පිහිටා ඇති මහා කොමසාරිස්වරයාගේ කාර්යාල කාමරය වෙත ඇදගෙන යන ලද බව එම හඬපටවල පටිගත වී ඇත. ජමාල් කෂෝගි මෙලෙසින් ඇදගෙන යන ලද්දේ සෞදි කුමරු මුහම්මද් බින් සල්මාන්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු විසින් බව ද අනාවරණය වී ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ කෂෝගීව සෞදි අරාබියේ අග නගරය වන රියාද් වෙත ගෙන යා යුතු බවයි.
එම අවස්ථාවේ ඝාතකයින්ගේ යෝජනාවන්ට අකමැති වූ කෂෝගිහට ශාරීරික වශයෙන් හිරිහැර සිදු කරන ලද අතර, හඬපටයේ පටිගත වී ඇති අන්දමට කෂෝගි අවසන් වරට පවසා ඇත්තේ, ” ඔහොම කරන්න එපා, මට හුස්ම ගන්න බෑ. මට ඇදුම රෝගය තියෙනවා’, යනුවෙනි. කෂෝගිගේ පැමිණීමෙන් විනාඩි විසි පහකට පමණ පසු හඬපටවල පටිගතව තිබූ ශබ්දය බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබුණේ කියතකින් ඝන ද්‍රව්‍යයක් කපා දමන ශබ්දයට සමාන ශබ්දයක් ලෙසය. ඉන්පසු ප්ලාස්ටික් ආවරණවල ශබ්දයක් ද හඬපටවල පටිගත වී ඇත. වෝහාරික වාර්තාවන්ට අනුව, ඝාතකයින් කෂෝගිගේ හුස්ම සිරකර මරා දමා පසුව කියතක් වැනි තියුණු ආයුධයකින් ඔහුගේ සිරුර කැබලි කොට පොලිතීන් උරවල බහා, කසල රැගෙන යන මුවාවෙන් පිටතට රැගෙන ගොස් ඇත. මහා කොමසාරිස් කාර්යාල සී සී ටී වී දර්ශනවලට අනුව, කෂෝගි ඇතුලට පැමිණ පැයකට පමණ පසු පුද්ගලයින් කිහිප දෙනෙකු කසල උරවල බහා යමක් පිටතට රැගෙන ගොස් ඇත.
කෂෝගිගේ සිරුර හඳුනා ගැනීමට නොහැකිවනු පිණිස ඇසිඩ්වල දමා දියකර හරින ලද බව ද එම වාර්තාවන්හි තවදුරටත් සඳහන් විය. ඇසිඩ්වල කෂෝගිගේ සිරුර ඉක්මනින් වියෝජනය වීම පිණිස සිරුර කැබලිවලට කපා දැමූ බව ඝාතකයින් පිළිගෙන ඇත.

කෂෝගි ඝාතකයින්
ඉස්තාම්බුල් නගරයේදී කෂෝගි ඝාතනය කිරීමට සෞදි බුද්ධි අංශයේ සාමාජිකයින් 11 දෙනෙකු සම්බන්ධ වී සිටි බවට වාර්තා පළ විය.
තුර්කි බුද්ධි අංශ වාර්තා කරන අන්දමට ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාම්බුල්හි පිහිටි සෞදි මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණෙන බවට ලද ආරංචිය අනුව, සෞදි බුද්ධි අංශයට සම්බන්ධ ඉහළ පෙළේ සාමාජිකයින් සහ සෞදි කුමරුගේ ආරක්ෂාව භාර සිටි නිළධාරීන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෞද්ගලික ජෙට් යානාවකින් ඉස්තාම්බුල් බලා පැමිණ ඇත. ඔවුන් කෂෝගි පැමිණීමට පැය කිහිපයකට පෙර සෞදි මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණ සිය ‘ගොදුර’ පැමිණෙන තෙක් මඟ බලා ඇත. මෙහි සිටි කෂෝගිගේ හැඩරුවට සමානකම් කියන පුද්ගලයෙකු කෂෝගි මරා දැමීමෙන් අනතුරුව, ඔහුගේ ඇඳුම් ඇඳ සෞදි මහා කොමසාරිස් කාර්යාලයයේ පසුපස දොරෙන් පිටවගොස් ඇත්තේ ඒ පිටව ගියේ ජමාල් කෂෝගි බව ඒත්තු ගැන්වීමට ය.
සෞදි රජය සහ සල්මාන් කුමරු කෂෝගි ඝාතනය කළ බව මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව පිළිගනු ලැබුවේ සෞදි රජයේ ඉහළ නිළධාරීන් එම ඝාතනයට සම්බන්ධ බවයි. අන්තර්ජාතික මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සල්මාන් කුමරු පවසා සිටියේ තම රජය දැඩිසේ විවේචනය කළ ජමාල් කෂෝගි මාධ්‍යවේදියාගේ මරණයට තමා සම්බන්ධ නැති බවත්, තම පාලන කාලය තුලදී එම ඝාතනය සිදුවූ හෙයින් එහි වගකීම තමා භාර ගෙන එයට සම්බන්ධ තම රජයේ නිළධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ය. කෙසේ නමුත්, තුර්කි බුද්ධි අංශ සහ ඇමරිකාවේ සී අයි ඒ බුද්ධි අංශය සඳහන් කළේ ජමාල් කෂෝගි මාධ්‍යවේදියා ඝාතනය කිරීමට අණ දුන්නේ සෞදි කුමරු මුහම්මද් බින් සල්මාන් බවයි.
මාධ්‍යවේදීන් දඩයම් කරන රජයන්
අද වන විට ලොව වඩාත් අනතරායකාරී රැකියාවන්ගෙන් එකක් බවට ජනමාධ්‍යයවේදය පත් වී ඇත. පවතින රජයන්, රජුන් හෝ පාලකයින් විවේචනය කිරීම මාධ්‍යවේදීනට කැලෑ නීතියෙන් මරණ දඬුවම උරුම කරදීමට තරම් ප්‍රබල වරදක් බවට පත් වී ඇත. මේ පිළිබඳව උදාහරණ ලෝකයේ බොහෝ රටවලින් ගෙනහැර පෑ හැකි අතර, ශ්‍රී ලංකාව ද මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යෑම, මරණ තර්ජනය කිරීම, අතුරුදහන් කිරීම, ශාරීරික සහ මානසික වධ හිංසා පැමිණවීම ආදියට ප්‍රසිද්ධියක් උසුලන බව නොකියාම බැරි කරුණකි. මෑත කාලයේ අන්තර්ජාතිකය තුල වඩාත්ම කතා බහට ලක්වූයේ ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචයෙකු ලෙස කටයුතු කළ ජමාල් කෂෝගී නම් මාධ්‍යවේදියාගේ ඝාතනය වුව ද, මින් වසර දහයකට පෙර එවකට පැවති රජය සහ ආරක්ෂක අමාත්‍යවරයා විවේචනය කළ පුවත්පත් කතුවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ද එකල බොහෝ සෙයින් කතාබහට ලක් වූ කරුණක් විය. ශ්‍රී ලංකාවේ ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනයකොට අද වන විට දශකයක් ඉක්ම ගියත් අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු ගැනීමට අපොහොසත් වී ඇත. ජමාල් කෂෝගී ඝාතන සිද්ධියේ මෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ද වරදකරුවන් බවට පත් වූයේ සැබෑ ඝාතකයින් නොව කුලියට මිනී මරන්නන්ය. ලසන්තගේ සැබෑ ඝාතකයින් ද තවමත් නිදැල්ලේ සිටින බව රටම දන්නා රහසකි. සෞදියේ ජමාල් කෂෝගී මෙන්ම ලංකාවේ ලසන්ත වික්රමතුංගගේ කුරිරු ඝාතනයන්ගෙන් පසක් වන්නේ පවතින රජයන්ගේ වැරැදි විවේචනය කිරීම මාධ්‍යවේදීනට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන වරදක් බව ය.