සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
සූදුරු සහ මාදුරු ආහාර රස ගැන්වීමට භාවිතා කරනු ලබන කුළුබඩු වර්ග දෙකකි. ශ්‍රී ලංකාවේද ආහාර සැකසීමේදී සූදුරු සහ මාදුරු භාවිතා කරන අතර බොහෝ ඉන්දියානු ආහාර සඳහා මෙම දුරු වර්ග භාවිතා කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ දුරු බීජය සම්පූර්ණයෙන්ම ආහාරය සඳහා එක් නොකළ ද, තුනපහ සැදීමේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස එක් කරනු ලබයි.
දුරු යන නාමය ලැබුවද කලුදුරු ,මාදුරු හෝ සූදුරුවල රසයට සමාන නොවේ. එමෙන්ම කලුදුරු, සූදුරු සහ මාදුරු කුලයට අයත් නොවේ. තද කලු පැහැයෙන් දිස්වන කලුදුරුවල විද්‍යාත්මක නාමය Nigella sativa වේ.
පර්යේෂණවල සඳහන් පරිදි කලුදුරුවල පෝෂණ සංඝටක 100ක් අඩංගු වේ. ප්‍රෝටීන, තන්තු, කාබෝහයිඩ්රේට්, අත්‍යවශ්‍ය මේද අම්ල, විටමින් ඒ, බී, සී සහ නියැසින් ද ඛණිජ ලවණ වන කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සෙලිනියම් සහ සින්ක් ද ඒ අතර වේ.
කලුදුරු මල ඡායාරූප- අන්තර්ජාලයෙනි
සුවඳවත් වාර්ෂික ශාකයක් වන කලුදුරු, නැගෙනහිර ආසියානු කළාපයේ, මධ්‍යධරණී ප්‍රදේශයේ, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල බහුලව වැවේ. ඖෂධීය පැලෑටියක් ලෙස හඳුනාගෙන ඇති මෙය, ආහාර සැකසීමට වඩා විවිධ රෝග සුව කිරීම පිණිස භාවිතා කරනු ලබයි. කලුදුරු ශාකය වසර 3000කට පමණ පෙර තිබූ ඇසිරියන් සහ ඊජිප්තු ශිෂ්ඨාචාරයන්හි ද ඖෂධයක් ලෙස භාවිතා කිරීම පිණිස වගා කර තිබූ බවට පුරා විද්‍යාත්මක සහ ලිඛිත සාක්ෂි ලැබී තිබේ.
කලුදුරු බීජය ඉන්දියානු ආයුර්වේදයේ මෙන්ම, යුනානි සහ අරාබි දේශීය වෛද්‍ය ක්‍රමවල අතීතයේ සිටම භාවිත කරන්නකි. මැදපෙරදිග කළාපයේ බහුලව වැවෙන ඖෂධීය ශාකයක් වන කලුදුරුවල ගුණ පිළිබඳව ඉස්ලාම් ධර්මයේද සඳහන් වේ. මුහම්මද් නබී (සල්) තුමාගේ ප්‍රකාශයන් එතුමාගේ සමීපතම අනුගාමිකයින් විසින් සටහන්කොට පසුව ග්‍රන්ථාරූඪ කරන ලද අතර ඒවා හදීස් ලෙස හඳුන්වයි. ඒ අනුව, සහිහ්- අල්- බුහාරි ගේ හදීස් ග්‍රන්ථයේ සඳහන්වන පරිදි කලුදුරුවල ගුණ පිළිබඳව මහම්මත් තුමා මෙසේ පවසා ඇත. ” මේ කලුදුරු භාවිතයට ගන්න. මෙයට මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව ඇත”. තවද ඉස්ලාම් ග්‍රන්ථවල සඳහන් පරිදි විවිධ රෝගාබාධ වලින් වැළකීම සඳහා මුහම්මද් නබී තුමා කලුදුරු මී පැණි සමඟ කලවම්කොට විවිධ අවස්ථාවල භාවිතා කර ඇත. මෙය ඉංග්‍රීසි බසින් Prophetic Medicine ලෙසද හඳුන්වන්නේ නබී තුමා විසින් රෝග සුව කිරීම සඳහා භාවිත කරන ලද ඖෂධය යන අර්ථයෙනි.
අතීත ලතින් භාෂාවෙන් කලුදුරු හඳුන්වා ඇත්තේ පැනේෂියා (Panacea) ලෙසිනි. ලතින් භාෂාවෙන් පැමිණි පැනේෂියා යන වචනය ඉංග්‍රීසි භාෂාවේද ව්‍යවහාර වන්නකි. Panacea යනු ‘කෝකටත් තෛලය’ යන අර්ථය දෙන්නකි. අරාබි භාෂාවෙන් කලුදුරු හඳුන්වන්නේ හබ්බත් අල් බරකා යනුවෙනි. එහි තේරුම ‘ආශිර්වාදය සහිත බීජ’ යන්නය. විවිධ භාෂාවන්හි කලුදුරු හැඳින්වීමට උපයෝගී කරගන්නා වචනයේම එහි ගුණය සහ බලය පිළිබඳව කියැවේ.
අතීතයේ සෑම රෝගයකටම ඖෂධයක් ලෙස භාවිතකළ කලුදුරු වර්තමානයේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ආගමනය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව තිබුණද, නීරෝගී බව රැක ගැනීමටත් යම් රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙසත් කලුදුරු විවිධ රටවල, විශේෂයෙන්ම ඉස්ලාම් රටවල අදටත් ඉහළ විශ්වාසයකින් යුතුව භාවිත කරනු ලබයි. තරමක තිත්ත රසයක් සහිත කලුදුරු ආයුර්වේදයේ විවිධ රෝග සුව කිරීම සඳහා භාවිතා කරයි. කලුදුරු එදිනෙදා ඇතිවන සුළු රෝග පීඩා සඳහා ගුණදෙන අත් බෙහෙතකි. ශ්වසනාබාධ, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග, වකුගඩු සහ අක්මාව ආශ්රිත රෝග, රුධිර සංසරණ පද්ධතියේ නීරෝගී භාවයට සහ ශරීරයේ ප්රතිශක්තීකරණය ඉහළ නැංවීමට කලුදුරු භාවිත කරනු ලබයි. තවද කිරිදෙන මව්වරුන්ටත් ගුණදායක බව වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වේ.
අතීතයේ පටන් ආසියානු සහ මැදපෙරදිග දේශීය වෛද්‍ය ක්‍රමවල භාවිතයට ගැනුණු කලුදුරුවල ඖෂධීය වටිනාකම මෙයින් පැහැදිලි වේ. එවන් සුවිශේෂී ගුණ සහිත කලුදුරු, ශ්‍රී ලාංකීය ජනතාව අතර ප්‍රචලිත නොවීම නිසා සොබා දහමේ ආශිර්වාදයක් වූ මේ අපූරු ඖෂධයේ ගුණ ලබා ගත නොහැකි වී තිබේ.
කලුදුරු ශරීර සෞඛ්‍යයට හිතකර සහ රෝග රැසකට ගුණ දෙන ඖෂධයක් වුවද, මාත්‍රාව ඉක්මවා ගැනීම හිතකර නොවේ. සමහර රෝග සඳහා කලුදුරු මාසයක හෝ මාස දෙකක කලක් අඛණ්ඩව ගැනීමට සිදුවේ. එවන් අවස්ථාවල දිනකට තේ හැඳි භාගයක වැනි ප්‍රමාණයක් ගත යුතු බව වෛද්‍යවරු පවසති.
මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව ඇති නිසා කලුදුරු භාවිතයෙන් සුව කළ හැකි රෝග පිළිබඳ සඳහන් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී කලුදුරු උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව සඳහන් කළ හැක.
ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමට කලුදුරුවලට හැකියාව ඇත. ආයුර්වේදයේ සඳහන් වන පරිදි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නියමිත කලුදුරු මාත්‍රාව මාස තුනක් ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීමේ හැකියාව ඇත. කලුදුරු අනෙකුත් රසායනික බෙහෙත් පෙති, කරල් හෝ එන්නත් හා සැසඳීමේදී ශරීරයේ බර අඩු කිරීමේදී ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන ඖෂධයකි.
ශරීරයේ ඇති ඩී එන් ඒ අණුවලට සිදුවන හානිය අවම කිරීමට කලුදුරුවලට හැකිය. එම නිසා පිළිකා තත්ත්වයන් වළක්වා ගැනීමට මෙන්ම සුව කර ගැනීමටත් කලුදුරු උපයෝගී වේ. මීයන් යොදා සිදු කරන ලද පර්යේෂණයකට අනුව පිළිකාවක් සහිත ස්ථානයකට කලුදුරු තෙල් අඩංගු සංයෝගයක් එන්නත් කළ විට එම ස්ථානයේ පිළිකා සෛල වර්ධනය වීම අවම වී ඇත.
තවද, දියවැඩියාව සඳහා ප්රත්යක්ෂ ඖෂධයක් ලෙසද කලුදුරු සැලකිය හැක. සිරුරට ග්ලූකෝස් අවශෝෂණය වීම අවම කිරීමේ අපූරු හැකියාවක් කලුදුරු සතුව ඇත. කලුදුරු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළ අතර සිරුරේ උෂ්ණය අඩු කර සිරුර සිසිල් කරයි.
සිරුර අභ්‍යන්තරයේ විෂබීජ නැසීමේ හැකියාවක් සහිත කලුදුරු වයිරස් ආසාදනවලින් සිරුර ආරක්ෂා කරන බවද පර්යේෂකයින් සොයා ගෙන ඇත. පර්යේෂකයින් විසින් එච් අයි වී (HIV) වයිරසය ආසාදනය වූ කාන්තාවකට මාස හයක් කාලයක් කලුදුරු තෙල් ලබා දී තිබුණු අතර ඇයගේ තත්ත්වය සුව අතට හැරුණු බව සඳහන් වේ.
මොළයේ ස්නායු සෛලවලටද ගුණදායක වන කලුදුරු මතක ශක්තිය වර්ධනයට ද භාවිතා කළ හැක. කලුදුරු මානසික ආතතිය සහ මානසික අවපීඩනය වනි මානසික රෝග සඳහාද යහපත් ප්‍රතිපල ලබා දෙන බව සොයාගෙන ඇත.
රුධිරගත සීනි මට්ටම මෙන්ම කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමටද කලුදුරු සතුව විශේෂ හැකියාවක් ඇත. එනිසා හෘදය රෝග ඇති වීමෙන් වැළකීමට මෙන්ම හෘදය රෝගීන්ගේ භාවිතය සඳහාහාද කලුදුරු සුදුසු බව වෛද්‍යවරු සහ පර්යේෂකයෝ පෙන්වා දෙති.
කලුදුරු තේ පානයක් ලෙසද අපගේ දිනපතා ආහාර වේලට එක් කරගත හැක. එමෙන්ම කලුදුරු එක්කළ බත් වර්ග, බනිස් වර්ග සහ පාන් වර්ග ද ඇත. කලුදුරු තේ හැඳි භාගයක් කුඩා වංගෙඩියක කොටා මී පැණි මේස හැන්දක් එක්කොට කලවම් කර ආහාරයට ගත හැක. සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවා එදිනෙදා ජීවිතයේ ඇතිවන මහන්සිය සහ සිරුරේ වේදනාව අවම කර ගත හැක. තවද කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවට මී පැණි සහ කලුදුරු එකට කලවම් කර පානයට ගත හැක. අධික වේදනාව අවම වේ.
