අවිනාශ් මල්හාර
වසරක සහ දශකයක අවසන සනිටුහන් කරමින් තවත් දශයක් සහ නව වසරක් පිළිගැනීමට ලෝ වැසි සියල්ලෝම සූදානමින් සිටිති. නව වසරක් පිළිගැනීම ලොව පුරා සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ උත්සවාකාරයෙනි. මෙම උත්සව සැමරීමේදී ආහාරපානවලට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි. ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල නව වසර පිළිගැනීමට කිරිබත් පිසීම සම්ප්රදායකි. ඊට අමතරව, කැවුම් වැනි පැණිරස කෑම සකසා නව වසර සැමරීම ද බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල අදටත් දක්නට ලැබේ.
ඉහත කී පරිදි නව වසර සැමරීමේ ප්‍රධාන අංගයක් වන ආහාර, නව වසර ආරම්භයේදීම විශාල ලෙස අපතේ යෑම සිදුවේ. මෙය අප රටට පමණක් නොව සෑම රටකටම පොදු දෙයකි. මෙම උත්සව සමයේ ආපනශාලා සහ ආහාර නිෂ්පාදනය කරනු ලබන ආයතනවල වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර නිෂ්පාදනය කරන අතර, එලෙසින්ම අපතේ යෑම ද සිදුවේ. නිවෙස්වල ද උත්සව සමයේදී සකසනු ලබන ආහාර ප්‍රමාණය වැඩි වන අතර නාස්තිය ද වැඩිවේ.
ලොව පුරා නව වසර පිළිගැනීමේ උත්සව වෙනුවෙන් සූදානම් කරනු ලබන ආහාර සියල්ලම පරිභෝජනයට නොගන්නා අතර, වසරක් පාසා උත්සව සමයේ ආහාර ටොන් මිලියන ගණනක් අපතේ යෑම සිදු වේ. මෙම අපතේ යන ආහාර ලොවපුරා කුස ගින්නේ සිටින පුද්ගලයින්ගේ කුස ගිනි නිවීමට ප්‍රමාණවත් බව ගණන් බලා ඇත. මෙසේ අපතේ යන ආහාර ඉවත් කරනු ලබන්නේ ද පරිසරයට වන අතර, සුන්දර නව වසර අසුන්දර වන්නේ මෙම නරක් වූ ආහාර හේතුවෙනි.
මේ නව වසර උත්සවාකාරයෙන් සමරමින් විවිධ වර්ගයේ ආහාර වර්ග රස විඳිමින් සහ පරිභෝජනයෙන් පසු විශාල වශයෙන් ආහාර අපතේ ද යවමින් සිටින අප, ලොව පුරා වෙසෙන නව වසර කුසගින්නේ ගත කරන පිරිස් පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය.
උත්සව සමයේ නිවසට පැමිණෙන අමුත්තන් වෙනුවෙන් ආහාර පිළියෙල කිරීමේදී පිසින ලද ආහාර අපතේ යෑම වැළැක්වීම පිණිස පැමිණෙන අමුත්තන්ට සහ නිවෙසේ සාමාජිකයින්ට සෑහෙන පරිදි අමුද්‍රව්‍ය සූදානම්කොට ආහාර පිළියෙල කර ගැනීමෙන් ආහාර අපතේ යෑම වළක්වා ගත හැක. පිසූ ආහාර ඉතිරී වී ඇත්නම්, ඒවාගෙන් කසල බඳුන් පිරවීම වෙනුවට කුසගින්නේ සිටින පුද්ගලයෙකුට හෝ සතෙකුට එම ආහාර ලබා දීමට කටයුතු කරන්නේ නම් පරිසරයට එක්වන කසල අවම වීම මෙන්ම, නව වසරේ යහපත් කටයුත්තක් කිරීමෙන් මානසික තෘප්තියක් ද ලබා ගැනීමට හැකිවේ.
එසේ කළ නොහැකි අවස්ථාවක ඉතිරි ආහාර ශීතකරණයක තබා රත්කර පසුව ආහාරයට ගත හැක. එමෙන්ම, ශීතකරණයක තැබූ ආහාර භාවිතාකොට නව ආහාර වර්ග ද පසුදින පිළියෙළ කරගත හැක. මෙමඟින් ආහාර නාස්තිය බොහෝ සෙයින් අවම කර ගත හැකි වේ.
ආහාර පිළියෙල කිරීමේදී මෙන්ම ආහාර බෙදා ගැනීමේදී ද සැලකිලිමත් වීමෙන් ආහාර නාස්තිය අවම කර ගැනීමට හැකි වේ. නිවසේදී, ආපන ශාලාවකදී හෝ හිතවතෙකුගේ නිවසකදී අප කැමැති ආහාරයක් දුටු විට ප්‍රමාණය ඉක්මවා ඒවා පිඟානට බෙදා ගැනීමට පෙළඹෙන්නෙමු. නමුත් බෙදා ගත් මුළු ආහාර ප්‍රමාණයම කෑමට නොහැකි වූ විට එමඟින්ද ආහාර නාස්තිය සිදු වේ. ප්‍රමාණය ඉක්මවා ආහාර බෙදා ගැනීම ද ආහාර නාස්තියට එක් හේතුවකි. එනිසා මෙම නව වසරේ ආහාර බෙදා ගැනීමේදී කෑමට හැකි ප්‍රමාණයක් පමණක් බෙදා ගැනීමට වග බලා ගැනීමෙන් ආහාර නාස්තිය අවම කිරීමට දායක විය හැක.
මේ උත්සව සමයේ ආහාර ඉල්ලුම වැඩි වීමට සමගාමී ව මාංශ සඳහා වන ඉල්ලුම ද ඉහළ යයි. සියල්ලෝම නව වසර ප්‍රීතියෙන් සමරමින් සිටියදී අහිංසක සතුන් ලක්ෂ ගණනින්, රසවත් ආහාර පීරිසියක් වෙනුවන් මරණයට පත්කරනු ලබන්නේ අමානුෂික අන්දමිනි. මේ උත්සව සමයේ මොහොතක දිව පිනවීමකට සතුන් වධ බන්ධනයකට ලක් කිරීම මනසින් උසස් මිනිස් කමටත් නිගාවකි.
ගල් යුගයේ සිටම මිනිසා, ශාක ආහාර සමඟ සැසඳීමේදී මාංශ ආහාරයට වැඩි කැමැත්තක් දක්වා ඇත. මස් පිණිස සතුන් ඇති කිරීම දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිපල ඇති වීමට හේතුවක් බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. මිනිස් පරිභෝජනය සඳහා මාංශ නිෂ්පාදනයේදී වැඩි සම්පත් ප්‍රමාණයක් සහ ශක්ති ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. එහෙයින් අධික මාංශ පරිභෝජනය පෘථිවියේ පැවැත්මට සෘනාත්මක ලෙස බලපාන බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.
තවද, මාංශ පරිභෝජනය වර්තමානයේ ලොව බහුලව පවතින බෝ නොවන රෝගවලට ද හේතුවක් බව සොයාගෙන ඇත. වර්තමානයේ බොහෝ මරණවලට බෝ නොවන රෝග හේතු වන බව වෛද්‍යවරු පවසති. එමෙන්ම, පරිභෝජනයට ගන්නා මාංශ නරක් වී තිබීමෙන් හෝ ආසාදිත සතුන්ගේ මස් ආහාරයට හැනීම බරපතල සෞඛ්‍ය ගැටලු ද ඇති කරයි.
එමෙන්ම ආහාර වර්ග එතීමට සහ පැකට් කිරීමට ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කිරීමට සිදු වේ. උත්සව සමයේ ඉහළ යන ආහාර ඉල්ලුමට සරිලන ලෙස ඒවා එතීම සහ පැකට් කිරීමට ත් විශාල වශයෙන් පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතා කිරීම නිසා අනෙකුත් දිනයන්ට සාපේක්ෂව මෙම කාල සීමාවේ පරිසරයට එක්වන නොදිරන කසල ප්‍රමාණය ද අධික වේ. උත්සව සමයේ පරිසරයට මෙමඟින් ඇති වන්නේ අතිතකර බලපෑමකි.
නව වසරේ බොහෝ දෙනා විවිධාකාර අධිෂ්ඨාන (New Year Resolutions) ඇති කරගන්නා අතර, තම පෞද්ගලික ජීවිතයේ ඉලක්ක කරා ළඟා වීම ඒවායින් ප්රමුඛ වේ. ඒ අතරම පරිසරය සුරැකීම සහ තිරසාර පැවැත්මට දායක වීමටත් අධිෂ්ඨාන කරගන්නේ නම් අප ජීවත් වන ග්‍රහලෝකයේ යහ පැවැත්මට යම් දායකත්වයක් සැපැයිය හැක. නිවසේදී, රැකියා ස්ථානයේදී, ආපන ශාලාවකදී, උත්සව අවස්ථාවකදී යන ඕනෑම අවස්ථාවක ආහාර අපතේ නොයන ලෙස පරිභෝජනය කරමින් ආහාර සුරක්ෂිතතාවයට දායක වීමත් ඔබගේ නව වසරේ අධිෂ්ඨාන ලැයිස්තුවට ඇතුලත් කරගත හැකි වැදගත් අංගයකි. තම එදිනෙදා කටයුතු හැකි තරම් පරිසර හිතකාමී අයුරින් කර ගැනීමට ද මෙම නව වසරේ අධිෂ්ඨාන කරගැනීමෙන් අනාගතයේ මුහුණ දෙන්නට සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිපලවලින් මිදීමට උපකාරී වේ.
ලැබුවා වූ නව වසර සාර්ථක සහ ජයග්‍රාහී වසරක් කර ගැනීම පිණිස ඇති කරගන්නා අධිෂ්ඨාන වසර පුරාම කැපවී ඉටු කර ගන්නේ නම් පෞද්ගලිකව මෙන්ම සමස්ථයක් ලෙස එමඟින් පෘථිවියේ පැවැත්මටත් සාධනීය බලපෑමක් ඇති කළ හැක.