අවිනාශ් මල්හාර
පසුගිය වසරේ අගෝස්තු මාසයේ බ්‍රසීලයට අයත් ඇමේසන් වන කළාපයේ හට ගත් ගිනි ගැනීම් හේතුවෙන ලෝකයේ පෙනහළු ලෙස හඳුන්වන ඇමේසන් වැසි වනාන්තරයට දශකයේ දී සිදු වූ ඉහළම හානිය සිදු විය. ඉන් මාස කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වූයේ එවැනිම ලැව්ගිනි ය. මෙම ලැව්ගිනි ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Bushfires ලෙසිනි.
ඕස්ට්‍රේලියාවට මොකද වෙන්නේ?
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි හට ගත්තේ පසුගිය නොවැම්බර් මාසයේය. කුඩා පරිමාණයෙන් හටගත් ලැව් ගිනි ඉතා සීග්‍රයෙන් පැතිර යන්නට වූ අතර, එරට මෙතෙක් ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බවට පත් විය. මේ වන විට අක්කර මිලියන 15ක් ගින්නෙන් විනාශ වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මේ අතර ස්වේච්ඡා ගිනි නිවන භටයින් 3 දෙනෙකු ද සිටිති. අතුරුදන්ව ඇති පිරිස මේ වන විට කොතෙක්දැයි ගණන් බලා නොමැත. ඕස්ට්‍රේලියානු රජය නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ජීවත් වන ජනතාවට එම ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙස දන්වා ඇති අතර, ඔවුන් මුහුදු වෙරළේ තාවකාලිකව නවාතැන් ගෙන ඇත.
මෙම ලැව්ගිනිවල ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති අධික දුමාරය පරිසරයට මෙන්ම ජන ජීවිතයට ද විශාල බලපෑමක් එල්ල කර ඇත. ඕස්ට්‍රේලියාවේ අගනගරය වන කැන්බරා ප්‍රදේශයට 2020 ජනවාරි පළමුවනදා ඉතිහාසයේ ප්‍රථම වතාවට දැඩි වායු දූෂණයක් වාර්තා වී ඇත. වායු දූෂණයක අනතුරුදායක බවට වඩා 23 ගුණයක අන්තරායකාරී බවකට එම නගරය මුහුණ දී ඇත. රෝහල්වලටද මෙම දුම දැඩි ලෙස බලපා ඇති අතර, අලුත උපන් දරුවන් හට මෙම දුම නිසා ශාරීරික සංකූලතා ඇති වී ඇති බව වෛද්‍යවරු ප්‍රකාශකොට ඇත. අධික විෂදුම ආඝ්‍රාණය කළ වයස්ගත කාන්තාවක් මියගොස් ඇති බවද ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවේ.
සැතපුම් 1000 කට අධික දුරකට මෙම දුම පැතිරී ඇති අතර, මේ වනවිට නවසීලන්තයේ හිම කඳු පවතින ප්‍රදේශවලත් මෙම දුමාරය දක්නට ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
ජෛව විවිධත්වයට ඇති වී ඇති බලපෑම
මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයක ලැව් ගිනි ඇති වී ඇති අතර, ඉහළම හානිය සිදු වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ය. මෙම ලැව් ගින්න හේතුවෙන් මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් ක්ෂීරපායීන්, කුරුල්ලන්, උරගයින් ඇතුලු වන සතුන් බිලියන භාගයක ප්‍රමාණයකට දිවි අහිමි වී ඇතැයි සිඩ්නි විශ්ව විද්‍යාලයය නිකුත් කළ වාර්තාවක සඳන් වේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින කෝලා වලසුන්ගෙන් තුනෙන් එකක්, එනම් කෝලා වලසුන් 8000ක් මේ වන විට ගින්නෙන් මරණයට පත් වී ඇත.

කෝලා වලසුන්ගේ වාසස්ථානවලින් සියයට 30ක් පමණ මේ වන විට විනාශ වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඕස්ට්‍රේලියාවට ආවේණික ජීවී විශේෂ 250කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර, ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදු වී ඇත. තවද, සිඩ්නි විශ්ව විද්‍යාලයයේ වාර්තාවට අනුව, පසුගිය සියවස් 2ක කාලය තුල ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික ක්ෂීරපායීන් විශාල ප්‍රමාණයක් වඳවී ගොස් ඇත.
කෙසේ වෙතත් හටගෙන ඇති ලැව් ගිනි තත්ත්වය ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික පරිසර පද්ධතියට මෙන්ම ජෛව විවිධත්වයද දැඩි අනතුරකට පත් කිරීමට හේතු වී ඇති බව පරිසරවේදීහු පවසති.



Bushfire හෙවත් ඕස්ට්‍රේලියාවේ කුඩා ලැව්ගිනි
Bushfire ලෙස හඳුන්වන මෙම ලැව්ගිනි හට ගන්නේ තණකොළ සහ පඳුරු ආශ්‍රිතවය. මෙම ගිනි පැතිරෙන්නේ ඉතා සෙමෙන් වුවද, එමඟින් නිපදවන තාපය ඉතා අධිකය. ගිනි දැලි හට නොගෙන දින කිහිපයක් වුව ද එකම ස්ථානයේ දැවීමේ හැකියාව bushfires සතුව ඇත.
ශ්‍රී ලංකාවේ මෙන් නොව ඕස්ට්‍රේලියාවේ මෙම bushfires යනු එහි පරිසර පද්ධතියේ අනිවාර්යය අංගයකි. එරට ස්වාභාවික පරිසර පද්ධති ඇති වී තිබෙන්නේ මෙම ලැව්ගිනිවල ආධාරයෙනි. ඕස්ට්‍රේලියාවේ භූමි සැකැස්ම මෙන්ම ජෛව විවිධත්වය ද මෙම කුඩා ලැව්ගිනි වලින් පෝෂණය වී ඇත. ඕස්ට්‍රේලියාවට ආවේණික බොහෝ ශාක වර්ග ඉක්මනින් ගිනිගන්නා සුලු අතර, සමහර ශාක නැවත දළුලා වැඩෙන්නේ පැරණි කොටස් ගින්නෙන් දැවී යාමෙන් අනතුරුවය. ඒ අනුව ශාකයේ නැවත වර්ධනයේ අනිවාර්යය අංගයක් බවට මෙම කුඩා ලැව්ගිනි පත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන් අතීතයේ කෘත්‍රිමව මෙම කුඩා ලැව් ගිනි ඇති කරවීම මඟින් වර්තමානයේ ඇතිවී තිබෙන මහා පරිමාණ ලැව්ගිනි වැනි ව්‍යසනයන් ඇති වීම වළක්වා ගෙන ඇත.





කුඩා ලැව්ගිනි පරිසර පද්ධතියේ තිරසාර පැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකුවද, අතීතයේ පටන් ඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ලැව්ගිනි හට ගෙන ඇත. ඒවායින් විශාල පරිසර, දේපොළ මෙන්ම ජීවිත හානිද සිදු වී ඇත. නමුත් වර්තමානයේ දියුණු තාක්ෂණය මෙන්ම විශේෂඥ දැනුමද උපයෝගී කරගෙන සුදුසු උපායයන් අනුගමනය කිරීමෙන් විනාශකාරී ලැව්ගිනි හට ගැනීම වැළක්වීමේ හැකියාව ඇති නමුදු ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටක අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි.
ඕස්ට්‍රේලියාව වියළි කාලගුණයක් සහිත රටක් වන අතර නියඟයන් ඇති වීමට ද ඉහළ සම්භාවිතාවක් ඇත. එනිසා ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට වසරේ ඕනෑම කාලයක මෙම bushfires හට ගැනීමේ අවදානමක් සහිතය.
යම් ප්‍රදේශයක අධික ලෙස වියළි කොළරොඩු සහ වියළි ශාක කඳන් තිබීම, අධික සුළඟ සහ අධික උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරී යාම සිදු වේ. විශේෂයෙන්ම, ඕස්ට්‍රේලියාවේ කැලෑබද ප්‍රදේශවල බහුලව පවතින ඉයුකැලිප්ටස් (Eucalyptus globulus) ශාක වියළීමෙන් පසුව ඒවායේ ඇති තෙල් ස්වභාවය ලැව්ගිනි සඳහා ඉන්ධන ලෙස ක්‍රියාකරන අතර, එම ගිනි නිවීම ඉතා අපහසුය.
ලොව අනෙකුත් රටවලට සීත සෘතුව ආරම්භ වන්නේ දෙසැම්බරයේ වුවද, ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතී. සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ අග සහ පෙබරවාරි මාසයේ මුල් සති දෙකෙහිදී පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමත්, වියළි කාළගුණ තත්ත්වයක් ඇති වීම නිසාත් ඕස්ට්‍රේලියාවට ඇති වී ඇති ලැව් ගිනි තත්ත්වය ඉදිරියේදී බරපතල විය හැකි බවට කාලගුණ සහ පරිසර විශේෂඥයෝ අනතුරු අඟවති. කෙසේ නමුත් මෙම ලැව්ගිනිවලින් ඇතිවූ පාරිසරික, ආර්ථික මෙන්ම සාමාජීය හානිය ඕස්ට්‍රේලියාවට තව අවුරුදු ගණනක් ගත වුවද පියවා ගත නොහැකි වනු ඇත.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව එරට අගමැති ස්කොට් මොරිසන්හට චෝදනා එල්ල වී ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මස ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වුණු ‘පැරිස් එකඟතාව’ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමත් ගිනි ගැනීම් මධ්‍යයේ නිවාඩුවක් ගත කිරීමට විදෙස් රටකට ගොස් සිටීමත් වැනි අපරික්ෂාකාරී සහ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් අගමැති මොරිසන් ඕස්ට්‍රේලියානු ජනතාවගේ අප්‍රසාදයට ලක් වී ඇත.
දේශගුණික විපර්යාසයන් පිළිබඳව සමස්ථ ලෝකයේම අවධානය මීට වඩා යොමු වීමේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ සඳහා පිළියම් කිරීමට අපොහොසත් වුවහොත් පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වීම නොවැළැක්විය හැකිය. උඳු වපුරා මුං අස්වැන්න නෙළාගත නොහැකිවාක් මෙන් විනාශකාරී මිනිස් ක්‍රියාකාරකම් මඟින් වාසයට සුදුසු ලෝකයක් බලාපොරොත්තු වීමටද නොහැකිය.