භාග්‍යා සෙව්මිණි තෙන්නකෝන්
මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් (Mixed Martial Arts/MMA) සටන් කලාව ශ්‍රී ලංකාව තුල ඉහළ ජනප්‍රියත්වයක් අත්කර නොගත්තත් ඒ සඳහා යොමුවන පිරිසේ වැඩි වීමක් වර්තමානයේ දක්නට තිබේ. MMA සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නොමැති වීම මෙරට MMA සඳහා උනන්දුවක් මෙන්ම හැකියාවක් දක්වන තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. කුවේණි සමඟ සංවාදයකට එක් වෙමින් අන්තර්ජාතික MMA තරග රැසකට සහභාගී වී ජයග්‍රහණ මෙන්ම අත්දැකීම් රැසක් ද ලබා ගත්, එමෙන්ම විදෙස් රටවල ලෝක ශූරයින්ගේ මඟ පෙන්වීම යටතේ පුහුණුව ලැබූ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ඉහළම සුදුසුකම්ලත් MMA පුහුණුකරුවෙකු වන අසේල කන්දෙවත්ත පැවසුවේ සුදුසුකම් නොළත් පුහුණුකරුවන් යටතේ MMA සටන් කලාව පුහුණුවීම අනතුරුදායක බවයි. කරාටේ, ජූදෝ, බොක්සිං සටන් කලාවන්ගේද ප්රවීනත්වයක් ලැබූ ඔහු කරාටේ කලුපටිධාරියෙකු ද වේ.
MMA ආත්මාරක්ෂක සටන් කලාව සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ MMAහා සම්බන්ධ ගැටලු පිළිබඳවත් ඔහු එහිදී විස්තර කළේය. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.
මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් ( Mixed Martial Arts/MMA) කියන්නෙ මොන වගේ ක්‍රීඩාවක් ද?
මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කියන්නෙ හැම ආත්මාරක්ෂක සටන් කලාවකම තියෙන හොඳ කොටස් අරගෙන නිර්මාණය කරපු ක්‍රීඩාවක්. MMA ප්‍රගුණ කරන කෙනෙක්ට කරාටේ, ජිජුත්සු, ජූදෝ, කුංෆු, බොක්සිං, කික් බොක්සිං වගේ සටන් කලාවන් බොහෝමයක් ඉගෙන ගන්න වෙනවා. ඒ ඒ සටනේ නැත්නම් fight එකේ ස්වභාවය අනුව අපි යොදා ගන්න ඕන බොක්සිං ද, කරාටේ ද, ජූදෝ ද එහෙමත් නැත්නම් මොන වගේ සටන් කලාවන්ගේ එකතුවක් ද කියන එක තෝර ගන්න ඕන. එක සටන් කලාවක් විතරක් ප්‍රගුණ කරනවාට වඩා සටන් කලාවන් කිහිපයක් ප්‍රගුණ කරලා සටනකදී ඒවා කලවමේ යොදා ගන්න එක වඩාත් හොඳයි. Mixed Martial Arts / මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කියන වචනෙම තියෙනවා මේක විවිධ සටන් කලාවන් කිහිපයකගේ එකතුවකින් හැදුණු ක්‍රීඩාවක් කියලා.
සාමාන්‍යයෙන් හදිසියේදී අපිට කවුරු හරි පුද්ගලයෙක් අනපේක්ෂිතව ප්‍රහාරයක් එල්ල කරන්න ආවොත් එහෙමත් නැත්නම් street fight එකකදී කොහොමද මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් ප්‍රායෝගිකව උපයෝගී කරගන්නේ?
ඇත්තටම ඒ වගේ අනපේක්ෂිත ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දෙන්න හදපු ක්‍රීඩාව තමයි මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කියන්නේ. මම තවදුරටත් ඒක පැහැදිලි කරන්නම්. කරාටේ ආත්මාරක්ෂක සටන් කලාව පුරුදු වුණ කෙනෙක්ට පුලුවන් කරාටේ වල තියෙන ක්‍රම උපයෝගි කරගෙන සටන් කරන්න. බොක්සිං කරන කෙනෙක් නම් එයා දන්නේ බොක්සිං, කික් බොක්සිං වල තියෙන සටන් ක්‍රම විතරයි. එතකොට, ජූදෝ, ජිජුත්සුත් එහෙමයි. නමුත් ප්‍රායෝගිකව අනපේක්ෂිත ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දෙන්න නම් එක සටන් කලාවක් විතරක් දැනගෙන මදි. සමහර වෙලාවට අපට පහර දෙන්න එන පුද්ගලයා බොක්සිං කරන කෙනෙක් නම් අපට බෑ කරාටේ වලින් විතරක් ඒ පුද්ගලයාව මෙල්ල කරන්න. මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් පුරුදු වුණ කෙනෙක් නම් කරාටේ , බොක්සිං, ජූදෝ, ජිජුත්සු මේ ඕනෑම සටන් කලාවක් වෙන වෙනම හදාරපු කෙනෙක් එක්ක වුණත් සටන් කරලා ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන්. මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කරපු කෙනෙක්ට ඕනනම් ප්‍රතිවාදියාට ගහන්න පුලුවන්, පයින් ගහන්න පුලුවන්, උස්සලා බිම දාන්න පුලුවන්, ප්‍රතිවාදියාට හෙල්ලෙන්න බැරිවෙන විදියට ලොක් කරන්න පුලුවන්.ඒ නිසා අනපේක්ෂිතව මුහුණ දෙන්න වෙන ප්‍රායෝගික සටනකට ගැලපෙන්නේ මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් විතරයි.
මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් වලයි අපි රූපවාහිනියේ සහ වීඩියෝවල දකින රෙස්ලින් (wrestling) වලයි වෙනසක් තියෙනවද?
මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කියන ක්‍රීඩාවේ එක කොටසක් රෙස්ලින්. රෙස්ලින් තරගවලදි උපයෝගී කරගන්න ක්‍රම මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් වලදි අපිට ඉගෙන ගන්න වෙනවා. අපි දකින රෙස්ලින් තරග මිනිස්සුන්ට විනෝදයක් සපයන්නත් මුදල් උපයන්නත් කරන දෙයක්. අපි රූපවාහිනියේ හරි වීඩියෝ එකක හරි දකින්නේ ඇත්ත සටන් නෙවෙයි. ඒවා කලින් පුහුණු වෙලා, ඒ ඒ ආයතන කියන විදියට ප්‍රේක්ෂකයාට වැඩි රසාස්වාදයක් එන විදියට නිර්මාණය කරපු වැඩසටහන් මිසක් ක්‍රීඩාවක් නෙවෙයි.
නමුත් මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් කියන්නේ ප්‍රායෝගිකව ඇත්තටම භාවිතා කරන්න පුලුවන් එකක්. ඒක ක්‍රීඩාවක් වගේම ආත්මාරක්ෂක සටන් කලාවක්.
MMA ක්‍රීඩාවක් විදියට කරන්න බොහෝ දෙනෙක් බයයි. පහරක් බරපතල විදියට වැදුණොත් ඒක ජීවිතේටත් තර්ජනයක් වෙන්න පුලුවන්. MMA කියන්නේ අනතුරුදායක ක්‍රීඩාවක්ද?
ඇත්තටම නෑ.වර්තමානය වෙනකොට අපේ රටේ ගොඩක් තැන්වල MMA පුහුණු කරනවා. හැබැයි ඒ උගන්වන අයට සුදුසුකම් තියෙනවද කියලා හොයන්න කවුරුත් නෑ. ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන්න ආයතනයක් ලංකාවේ නෑ. ඒවා ගැන බලධාරීන් හොයලා බලන්නෙත් නෑ. ක්‍රීඩා අමත්‍යංශය MMA පුහුණුකරුවන්ගේ සුදුසුකම් හොයලා බලන්නේ නෑ. නමුත් ඩුබායි වගේ රටක ආත්මාරක්ෂක සටන් කලා පුහුණු කරන්න බලපත්‍රයක් තියෙන්න ඕන. පුහුණු ආයතන සහ ක්ලබ්වලට නිතර ඇවිත් සුදුසුකම් පරීක්ෂා කරනවා. ඒ නිසා ඒ වගේ රටවල බොරු කාරයින්ට බෑ MMA පුහුණුකරන්න.
අපේ රටේ ඉන්න පුහුණුකරුවන්ගේ ප්‍රමිතියක් නෑ. ඒවගේ සුදුසුකම් නැති පුහුණුකරුවෙක් ළඟ ඉගෙන ගන්න එක භයානකයි. එහෙම වුණොත් MMA තරගයක් අතරතුර ප්රතිවාදියෙක්ගේ පහරක් බරපතල විදියට එල්ල වුණොත් මැරෙන්න වුණත් ඉඩ තියෙනවා.
MMA හරියටම පුහුණු කරන්න ඕන ක්‍රීඩාවක්. පුහුණුකරුවන් මේ ක්‍රීඩාව මුල ඉඳන් නිවැරදිව පියවරෙන් පියවර උගන්වන්න ඕන. එහෙම වුණොත් ඒකෙන් අනතුරු සිද්ධ වෙන්නේ නෑ. කවුරුහරි MMA ඉගෙන ගන්න ආවොත් ඒ පුද්ගලයාට අපි මුල සිට සරලව පුහුණු කරනවා. එයාගේ පළවෙනි දවසෙම අපි දාන්නෙ නෑ තව කෙනෙක් එක්ක ගහගන්නවත් අතපය කඩන්නවත්. අපි ඒ පුද්ගලයාට පියවරෙන් පියවර ශරීරය හුරු කරවමින් සටන් ක්‍රම, ආරක්ෂාවෙන ක්‍රම කියලා දෙනවා. ඊට පස්සෙ තමයි අපි සටනකට දාන්නේ. MMA වගේ අනතුරුදායක ක්‍රීඩාවක් පුහුණු වෙන්න ඕන උදුසුකම්ලත් පුහුණුකරුවෙක් යටතේ.
නමුත් ලංකාවේ එහෙම සුදුසුකම්ලත් MMA පුහුණුකරුවන් අඩුයි. හිටියත් ඒ අයට කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ නෑ. මට කවදාවත් රජයෙන් කිසිම උපකාරයක්වත් සහායක්වත් ලැබිලා නෑ.මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට මේ තත්ත්වෙට එන්න උදවු කළේ ජපානය සහ ඩුබායි රටවල්. මම ඩුබායි වල ඉන්නකොට MMA තරගවලට සහභාගී වුණා. ඒ වගේම පුහුණුකරුවෙක් විදියටත් වැඩ කළා. ඒ රටවල් අපිට හොඳට සලකනවා. නමුත් අපේ රටෙන් එහෙම කිසිම උපකාරයක් නෑ.
සාමාන්‍යයෙන් අපේ ඇඟේ දුර්වල තැන් තියෙනවා. MMA ඉගෙනගන්න කොට ඒ දුර්වල තැන් ව්‍යායාම වලින් ශක්තිමත් කරනවා. කවුරුහරි හොඳට MMA පුහුණු වුණ කෙනෙක් වෙන කෙනෙක්ගෙ බෙල්ල හිර කළොත් කැඩෙන්නත් ඉඩ තියෙනවා. නමුත් MMA හොඳට පුහුණු වුණු කෙනෙක්ගේ එහෙම වෙන්නේ නෑ. නුපුහුණු කෙනෙක්ට එහෙම වුණොත් මැරෙන්න වුණත් පුලුවන්. MMA තරගවලදී මිනිස්සු මැරිලා තියෙනවා. ඒක MMA කියන ක්‍රීඩාවේ වැරැද්දක් නෙවෙයි. ඒක සුදුසුකම් නොළත් පුහුණුකරුවන්ගෙයි නිවැරදිව පුහුණු නොවෙන අයගෙයි වැරැද්දක්.

කාන්තාවන් MMA සඳහා යොමු වීමේ ප්රවනතාව අඩු වුණත් කාන්තාවන් යම් සටන් කලාවක් ප්‍රගුණ කරන එක ඔවුන්ගේ ආරක්ෂාවට හොඳයි නේද?
කාන්තාවන් MMA සඳහා යොමු වෙනවා අඩුයි කියන එක මම පිළිගන්නේ නෑ. ශ්‍රී ලංකාවේ මේ ප්රශ්නය තියෙන්න පුලුවන්, නමුත් වෙන රටවල එහෙම ප්‍රශ්නයක් නෑ. අපි MMA පුහුණු වෙන්නේ කාන්තාවන් සහ පිරිමින් එකටමයි. එහිදී කාන්තාවක් කියන එක අමතක කරලා තමයි පුහුණු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ සටන් කලාව ප්‍රගුණ කරන්න ටිකක් අමාරුයි. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක ඔය තත්ත්වය වෙනස් වෙන්න පුලුවන්. මම උදාහරණයක් කිව්වොත් අපේ රටේ ගෑනු ළමයෙක්ගේ ඇඟෙන් කවුරුහරි පිරිමි කෙනෙක් ඇල්ලුවොත් ඒක ප්‍රශ්නයක්. MMA සටන් කලාවේ තියෙනවා ඇඟේ විවිධ ස්ථානවලින් අල්ලලා, ලොක් දාලා, උස්සලා, කරකවලා සමහර වෙලාවට ඇඟ උඩ නැගලා සටන් කරන ක්‍රම. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ ගෑනු ළමයෙකුට ටිකක් අපහසු වෙන්න පුලුවන් දරාගන්න. අපි විශ්වාස කරනවා කාන්තාවන්ටත් පිරිමියෙකුට වගේම සටන් කිරීමේ හැකියාව තියෙනවා කියලා. වෙන රටවල්වල ගෑණු පිරිමි එකට පුහුණු කරන්නේ කිසිම වෙනසක් නැතුව. අනිවාර්යෙන්ම කාන්තාවනුත් සටන් කලාවක් ප්‍රගුණ කරන එක හොඳයි. අපි පාරේ යනකොට දැකලා තියෙනවා සමහර විදේශිකයෝ කිසිම බයක් නැතුව පාරේ ඇවිදින්නේ එයාලත් මොකක් හරි සටන් කලාවක් ප්‍රගුණ කරලා ඉන්න නිසා. වර්තමානයේ ලෝකයේ බොහෝ දෙනෙක් යොමු වෙලා ඉන්නවා MMA වලට. ඒක කරාටේ හෝ බොක්සිං හෝ අනෙක් ආත්මාරක්ෂක එක සටන් කලාවක් විතරක් ප්‍රගුණ කරනවාට වඩා සුදුසුයි.
MMA සටන් කලාව ප්‍රගුණ කරද්දි කරාටේ සටන් කලාවේදී වගේ දුඹුරු සහ කලු පටි වැනි දේ ලබා ගන්න පුලුවන්ද?
කරාටේවලදී වගේ MMA වලදී පටි ගන්න බෑ. MMA කියන්නේ සටන් කලාවන් කිහිපයක් එකතු කරලා හදපු එකක්. ඒ නිසා ඒකට බෙල්ට්ස් දෙන්න අමාරුයි. එහෙම ක්‍රමයක් තාම ලෝකේ නෑ. නමුත් සහතිකයක් දෙන්න පුලුවන් යම් පුද්ගලයෙක් කිසියම් කාලයක් මෙම සටන් කලාව පුහුණු වෙලා තියෙනවා කියලා. MMA වල බෙල්ට්ස් ගන්න නම් තරග වලට සහභාගී වෙලා දිනන්න ඕන. ඒක රෙස්ලින්වල වගේ චැම්පියන්ෂිප් බෙල්ට් එකක්. තරගවලට සහභාගී වෙලා දිනන්නේ නැතුව MMA වලදී බෙල්ට්ස් ගන්න බෑ.
ලංකාවේ MMA සඳහා යොමු වෙලා ඉන්න පිරිස අඩුයි නේ ද?
දැන් MMA කරන පිරිස වැඩි වේගෙන යනවා. අනිත් සටන් කලාවන් හා සසඳද්දි MMA තමයි වඩාත් සුදුසු කියන එක බොහෝ දෙනෙක් තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා දැන් ගොඩක් අය ඒකට යොමුවෙලා ඉන්නවා. නමුත් පුහුණුකරුවන් ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ලංකාවේ සුදුසුකම්ලත් MMA පුහුණුකරුවන් නැද්ද?
ලංකාවේ ඉන්නවා බොරුවට එයාලම MMA පුහුණුකරුවන් කියලා හදාගත්තු පිරිසකුත් .පිටරට වුණත් ඒ වගේ බොරු කරන තැන් තියෙනවා. මම සම්බන්ධ වෙලා ඉන්නේ ජපානයේ තියෙන මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් සංවිධානයත් එක්ක. මට වගේම ඒ වගේ සම්බන්ධකම් තියෙන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. නමුත් බොහෝමයක්ම බොරු කරන අය තමයි ඉන්නේ. විශේෂයෙන් MMA කියලා කරන්නෙ කුංෆු, බොක්සිං, වුෂු වගේ එක සටන් කලාවක් විතරක් ප්‍රගුණ කරපු අය MMA පුහුණුකරුවන් කියලා දැන්වීම් දාන එක.
මම දැකලා තියෙනවා ලංකාවේ කරාටේ විතරක් කරලා තියෙන සමහර පුහුණුකරුවන් දැන්වීම් දානව ඔවුන් MMA පුහුණු කරුවන් කියලා. ඒ වගේම වුෂු පමණක් පුහුණු වුණු අයත් ප්‍රසිද්ධ කරනවා එයාලා MMA පුහුණුකරුවන් කියලා. ඒක හරිම වැරදියි වගේම අනතුරුදායකයි. එහෙම අයගෙන් MMA ඉගෙන ගන්නවා කියන්නේ අනතුරකට අතවනනවා කියන එක. ඒ අයට MMA වල අත්දැකීම් නෑ. එක සටන් කලාවක ක්‍රම විතරක් දැනගෙන MMA පුහුණුකරුවෙක් වෙන්න බෑ. Youtube එකෙන් වීඩියෝ බලලා ඉගෙනගෙන MMA පුහුණුකරුවන් කියලා දැන්වීම් දාගෙන උගන්වන අයත් ඉන්නවා.
හොඳ සටන්කරුවෙක් වෙන්න නම් පෝෂණය ගැනත් හිතන්න ඕන. සප්ලිමන්ට්ස් වැනි අතිරේක පෝෂණ ආහාර ගන්න ඕන. සටන්කරුවෙකුගේ ශරීර සුවතාවය පවත්වාගෙන යන්න ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙනවා නේ ද?
ඔව්. ඒක ඇත්ත. හොඳ පෝෂණයක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සප්ලිමන්ට්ස් වගේ දේවල් ගන්නවා නම් වෛද්‍යවරයෙක්ගෙ අනුමැතියත් එක්ක ගන්නවා නම් වඩා හොඳයි. නමුත් මම නම් කිසිම දවසක සප්ලිමන්ට්ස් පාවිච්චි කරලා නෑ. මම සාමාන්‍ය ආහාර වේලක් තමයි දවසට ගන්නේ. සමහර දවසට බිත්තර 10ක් විතර කන අවස්ථාත් තියෙනවා.
MMA සටන් කලාව ලංකාවේ තරුණ පරම්පරාව අතර ජනප්‍රිය කරන අරමුණින් ඔබ පෞද්ගලික වැඩසටහනක් පටන් අරගෙන තිබෙනවා නේද? ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ද?
ලංකාවේ දුර පළාත්වල ඉන්න ළමයින්ට මම MMA පුහුණු කරනවා. ඒකට හේතුව කොළඹ ඉන්න ළමයින්ට වඩා ගමේ ඉන්න ළමයින්ට ශරීර ශක්තිය වැඩියි. මට ඒක තේරුණා ඒ ළමයින්ව පුහුණු කරනකොට. ගම්වල ඉන්න ළමයි බොහෝ වෙලාවට නගරෙට එන්නත් ගොඩක් දුර පයින් යනවා. ඒ ළමයින් පොඩි කාලේ ඉඳලා පයින් ඇවිදලා ඇවිදලා මහන්සි වෙලා ඒක පුරුදු වෙලා. ඒ අය නිතරම ආහාරයට ගන්නේ පෝෂණීය ආහාර වර්ග. ආසියාවේ කළු වෙළඹ කියලා නම් දරපු සුසන්තිකා ජයසිංහත් ගම්බද පරිසරයක හැදී වැඩුණ කෙනෙක්. දුර පළාත්වල ගම්බද දරුවන්ව අපට පුළුවන් අන්තර්ජාතිකයට යවන්න. නමුත් ඔවුන්ට අවස්ථා අඩුයි. මමත් ඩුබායි ඉන්නකොට හතර වතාවක් MMA ලෝක ශූරතාවය දිනපු ප්‍රින්ස් අමීර් එක්ක ඩුබායි චැම්පියන්ස් ක්ලබ් එකේ තරගවලට සහභාගී වුණා. ප්‍රින්ස් අමීර් තමයි මගේ පුහුණුකරු වුණේ. මම දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මම මගේ වියදමෙන් රට වටේ ගිහින් MMA වලට ආසාවක් උනන් දුවක් දක්වන දරුවන්ට ඒ සටන් කලාව උගන්වනවා. නමුත් මට ඒකට මේ රටේ ඉන්න කිසිම ආයතනයක්වත් රජයවත් කිසිම සහායක් ලබා දෙන්නේ නෑ. මට පුලුවන් විදියට මම ගම්බද දරුවන්ට මේ ශිල්පය දෙනවා. මට විශ්වාසයක් තියෙනවා ගම්බද දරුවන් මේ ක්‍රීඩාවෙන් ඉහළටම යයි කියලා.
අපේ රටට පුළුවන් වෙයිද අන්තර්ජාතික මට්ටමේ MMA ශූරයෙක් බිහි කරන්න අනාගතයේදි?
අනිවාර්යෙන් පුළුවන්. අත්දැකීම් සහ දැනුම තියෙන පුහුණුකරුවෙක් යටතේ පුහුණු වුණොත් ඒක ළඟා වෙන්න බැරි ඉලක්කයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් දැන් වුනත්. මටත් අත්දැකීම් තියෙනවා ලෝක ශූරයො එක්ක තරග කරලා. MMA වලදි ශරීරයේ ප්‍රමාණය නෙවෙයි, අපි භාවිතා කරන සටන් ශිල්ප ක්‍රම සහ වේගය තමයි වැදගත්. අපේ රටේ තරගකරුවන්ගේ ශරීර ප්‍රමාණයෙන් කුඩා වීමත් ප්‍රශ්නයක් නෙවෙයි.
ඔබ MMA ඉගෙන ගන්න ගත්තෙ වයස කීයෙදී ද?
මම මුලින්ම කරාටේ ඉගෙන ගන්නකොට මට වයස අවුරුදු 8ක් විතර ඇති. ඒ ලෝකෙම පිළිගත්ත කියෝ කුෂින් කරාටේ කලාව. ශිහාන් නන්ද සිරිවර්ධන යටතේ තමයි හැදෑරුවේ. මම පාසලේදී බොක්සිං ඉගෙන ගත්තා. පාසලෙන් අයින් වෙලා තරුණ සේවා සභාවේ ජූදෝ පුහුණු වුණා. මම MMA වලට සම්බන්ධ වුණේ ඩුබායි ඉන්නකොට, මීට අවුරුදු 5-6කට කලින්. මම ඩුබායි චැම්පියන්ස් ක්ලබ් එකට බැඳෙන්නේ 2015 දී. එහෙදි තමයි හරියටම දැන ගත්තේ MMA කියන්නේ මොකක්ද කියලා. අපේ රටේ තවම ඒ වගේ තාක්ෂණික ක්‍රමවලට MMA පුහුණු කරන්නේ නෑ.
ඔබ තවමත් MMA තරගවලට සහභාගී වෙනවද එහෙම නැත්නම් පුහුණුකරුවෙක් විදියට විතරද කටයුතු කරන්නේ?
මට තවමත් පුලුවන් තරගවලට සහභාගී වෙන්න නමුත් මගේ ඇඟට ගොඩාක් හානි සිද්ධ වෙලා තියෙනවා. මගේ බෙල්ලට වැදුණ පහරක් නිසා බෙල්ලේ පොඩි අමාරුවක් තියෙනවා. ඒක පහු වෙනකොට අංශභාගෙට එන්න බැරිත් නෑ. මගේ දත් වලින් ගොඩාක්ම අලුතින් දාපු ඒවා තියෙන්නේ. ආයෙත් තරගවලට ගියොත් ආයෙත් කොහෙට හරි හානි වෙන්න පුලුවන්, පරණ හානි වුණු තැන්වලට වදින්න පුලුවන්. ඒවාට ප්‍රතිකාර කරන්න වියදම් වැඩි. කවුරුහරි අනුග්‍රහයක් ලබා දෙනවා නම් මට අදටත් පුලුවන් අන්තර්ජාතික තරගවලට සහභාගී වෙන්න. මට එහෙම පහසුකම් නැති නිසා මම හිතනවා මම පුහුණුකරුවෙක් විදියට වැඩ කරන එක හොඳයි කියලා.
