විශේෂ ලියුම්කරුවෙකු විසිනි
මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට රට පුරා ලැව්ගින්නක් සේ පැතිරයමින් තිබියදී රටේ සෑම දෙනාගේම අවධානය ඒ වෙත යොමු වන්නට ඉඩ හැර ජනාධිපති ලේකම්වරයා විසින් රාජපක්ෂ පවුලේ ඥාතීන් සහ සමීපතම දේශපාලන හිතවතුන් රජයේ ආයතනවල ඉහළ තනතුරු සඳහා පත්කර ඇත. ඒ අතර වැඩි කතාබහකට ලක් වූයේ නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය සහ රෝහිත රාජපක්ෂගේ නැන්දණියට රජයේ ආයතනවල අධ්යක්ෂ තනතුරු ලබා දීමයි. එය මේ රජය බලයට පත් වීමට ප්‍රථම ලබා දුන් පොරොන්දුව අමු අමුවේ බිඳ දැමීමකි. ක්ෂේත්රයේ සුදුසුකම්, අත්දැකීම් සහ ප්රවීනතාවක් සහිත වෘත්තිකයින් පමණක් ඒ ඒ ක්ෂේත්රවලට අයත් රජයේ ආයතන සඳහා විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ පත් කිරීම එසේ ලබා දුන් එක් පොරොන්දුවකි. ඥාති සංග්රය සිදු නොකිරීමේ පොරොන්දුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වේදිකාවට පක්ෂ විපක්ෂ ජනතාව ආකර්ෂණය කරගත් මී පැණි බඳුනක් වැනි විය. නමුත් මේ මී බඳුන කඩා බිඳ දැමීමට ජනාධිපති කාර්යාලයයේ වගකිවයුතු උසස් නිළධාරීන් සහ ජනාධිපතිවරයාගේ ඥාතීන් කටයුතු කළේ ජනපතිවරයා පත් වී මාස දෙකක් සම්පූර්ණ වීමටත් මත්තෙන් ය.
දේශපාලකයෝ බලයට පැමිණීමට විවිධ පොරොන්දු දෙති. මැතිවරණ වේදිකා යනු මහා ජනතාව පියවි සිහියෙන් සිටින අතරතුර සිහින දකින තැනකි. ඒ සිහින ලෝකවලට ජනතාව දක්කන්නට දේශපාලකයෝ ඉතා දක්ෂයෝය. මහාජනතාව ද දේශපාලකයින් විසින් ඔවුන්ව දක්කනා පැත්තට හතිලමින් දුව යෑමට දක්ෂයෝය. මෙරට මහා ජනයා රැවටීමට ලක්වී වසර 71ක් ගතවී 72 ක් වන්නට ඔන්න මෙන්න තිබෙන අද වනතුරුත් ජනතාව කෛරාටික දේශපාලකයින් පෙන්වන ව්‍යාජ සිහින ලෝකවලට දුව ගොස් අහස් මාළිගා සාදමින් ජීවත් වෙති. රැවටීමට පක්ෂ භේද නොමැත. අද වනතුරු පත් වූ සෑම ආණ්ඩුවක්ම සිදුකළේ අහිංසක ජනයා මුළාකොට ඔවුන්ගෙන් යැපීමය. වසර 71ක් තිස්සේ මේ දිවයින් වැසියන් විවිධාකාර වංචාකාර දේශපාලකයින්ට හසු වූවෝය. ඔවුන්ට දේශපාලනය හා දේශපාලකයින් තිත්ත වන තරමට ඔවුහු දූෂණයෙන්, වංචාවෙන් සහ රැවටීමෙන් බැට කෑහ. ඔවුහු එක් පක්ෂයකට බලය දී එය හොඳ නැති වූ විට තවත් පක්ෂයකට බලය දුන්හ. එයත් හරි නොගිය තැන පොදු අපේක්ෂකයෙකු ගෙනාවෝය. එය ද අසාර්ථක වූ කල්හි දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු බලයට ගෙන ආහ. බලාපොරොත්තු පොදි බැඳගත් මහා ජනයා නිවී හැනහිල්ලේ කිරිබත් කෑල්ලක් කන්නට වාඩි වුණා පමණකි, අහෝ, ඉතිහාසයේ කවරදාකවත් නොමැති ලෙසකට මේ ආණ්ඩුව ද ඔවුන් රැවටා ඇත.
මැතිවරණ වේදිකාවල පොරොන්දු වූ පරිදි මේ රජය බලයට පත් වූ වහාම පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ හැට නවය පමණක් නොව සමස්ථ රට වැසියාම අමන්දානන්දයට පත් කරමින් රාජ්‍ය ආයතන සහ සංස්ථා සඳහා සභාපතිවරුන් සහ ඉහළ අධ්යක්ෂ මණ්ඩලයට සුදුස්සන් පාට පක්ෂ භේදයකින් තොරව ජනතාව අතුරින්ම තෝරාගනු වස් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ දැන්වීමක් ඉංග්‍රීසි බසින් පළ කරන ලදී. ඒ අතරම, එවකට එම ආයතන සඳහා පත්කොට සිටි සභාපතිවරුන් ඇතුළු ඉහළ නිළධාරීන්ට ඉල්ලා අස්වන ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දන්වන ලදී.
ඒ දැන්වීමට අනුව ඒ ඒ ආයතන සඳහා පත් කරගනු ලබන සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩලයට වෙනත් ක්ෂේත්රවල නොව එම ‘ක්ෂේත්රයේ’ අත්දැකීම් සහ නිපුණතාවය සහිත වෘත්තිකයින්ගේ අයැදුම්පත් සලකා බැලේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ද පාඩු ලබන රජයේ ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ‘ක්ෂේත්රයේ’ නිපුණත්වයක් සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් ඒ ඒ ආයතන සඳහා පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ද දන්වා තිබිණ. ඒ අනුව නොවැම්බර් 28 වනදා ඒ ඒ රජයේ ආයතන සඳහා සුදුස්සන් පත් කර ගැනීමට සාමාජිකයින් සය දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කරන ලදී. එම විද්වත් මණ්ඩලයේ සාමාජිකයින් වනුයේ ජෝන් කීල්ස් ආයතනයේ හිටපු සභාපති සුසන්ත රත්නායක, හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා, හෙල ක්ලෝතින් ආයතනයේ හිමිකරු ඩයන් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ය.
මෙහි දැක්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ උඩුගතකර ඇති එම පුවත්පත් දැන්වීමයි. http://www.presidentsoffice.gov.lk/index.php/expression-of-interest-of-serve-as-chairpersons-board-members/?lang=en
ඉංග්‍රීසි බසින් පළකර ඇති මෙම දැන්වීමේ සිංහල පරිවර්තනය මෙසේයි.
මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි.
සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩලය ලෙස සේවය කිරීමට කැමැත්ත පළ කිරීම
1.0 මහජනයාට වගකීම පිණිස ප්රශස්ත ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර උපාය මාර්ග
අනුගමනය කරමින් පහත දැක්වෙන ආයතන කාර්යක්ෂම සහ ඵලදායී ආයතන බවට පත් කිරීමටත්, රාජ්‍ය වාණිජ ආයතන ලාභ ලබන ආයතන බවට
පරිවර්තනය කිරීමත් අරමුණු කොටගෙන එම ආයතනයන්හි සභාපති තනතුරට සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු
ලෙස පත් වීම සඳහා කැමැත්තක් දක්වන
අත්දැකීම් සහිත වෘත්තිකයින්ගෙන් ජනාධිපති
ලේකම් කාර්යාලයය විසින් කැමැත්ත විමසනු ලබයි.
- නියාමන සහ ප්‍රවර්ධන ආයතන,
- රාජ්‍ය සහ සංස්ථාපිත ආයතන
- වාණිජ රාජ්‍ය ආයතන
2.0 කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයැදුම්පත්‍ර විද්වත් මඬුල්ලකගේ අධීක්ෂණය යටතේ සලකා බැලෙන අතර එම ක්ෂේත්රය පිළිබඳ දැනුම, නිපුණතාවය සහ අත්දැකීම් මත පදනම්කොට ගෙන සුදුස්සන් එම තනතුරු සඳහා තෝරා ගැනේ. විදේශයන්හි සිටින වෘත්තිකයින් ද තම කැමැත්ත පළ කිරීමේ අයැදුම්පත් යොමු කළ හැක.
3.0 තමා කැමැති ක්ෂේත්රයක මුඛ්‍ය උපාය මාර්ගික අංශයක ප්‍රගතිය උදෙසා නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන කෙටි විස්තරයක් ද සහිතව තම ජීව දත්ත සටහනක් 2019 දෙසැම්බර් මස 18 වන බදාදාට පෙර විද්‍යුත් ලිපිනයක් මාර්ගයෙන් හෝ පහත ලිපිනයට තැපැල් මඟින් එවීමෙන් හෝ ලැබීමට සලස්වා මෙම ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයට සහභාගී වීම සඳහා ජනාධිපති කාර්යාලයය විසින් වෘත්තිකයින්ට ආරාධනා කරන්නේ සතුටිනි.
ජනාධිපති අතිරේක ලේකම්, ලේකම් කාර්යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයය, කොළඹ 01
විද්‍යුත් ලිපිනය- [email protected], පී.බී ජයසුන්දර, ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයය, කොළඹ 01
එම දැන්වීමේ පැහැදිලිව දැක්වෙන පරිදි යම් ක්ෂේත්රයක සුදුසුකම් සහිත වෘත්තිකයින්ට ආයතනයක සභාපති හෝ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වීමට අයදුම් කළ හැකි අවසාන දිනය 2019 දෙසැම්බර් 18 වන දින ය. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින (දැන්වීම මඟින් විදේශයන්හි සිටින සුදුසුකම් ලත් වෘත්තිකයින්ටද ආරාධනාකර ඇත) වෘත්තිකයින් තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයැදුම් පත්‍ර එවීමටත් පෙර ආයතන බොහෝමයක් සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කරන ලද්දේ සුදුසුකම් ලත් වෘත්තිකයින්ට අසාධාරණයක් වන පරිද්දෙනි. ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස ඕෂධ සේනානායක පත් කරන ලද්දේ නොවැම්බර් 19 වන දිනය. එනම් අයැදුම්පත් භාරදීමේ අවසාන දිනයට මසකට පෙර ය.
තවද, වෘත්තීය නිපුණත්වය සහ අත්දැකීම් ඉතා ඉහළින් අවශ්‍යවන ක්ෂේත්රයක් වන වරාය අධිකාරියට ජෙනරාල් දයා රත්නායක පත් කරන ලද්දේ දෙසැම්බර් 13 වන දින එනම් වෘත්තිකයින්ගෙන් අයැදුම්පත් ලැබීමේ අවසාන දිනයට දින 5කට පෙර ය. යුධ හමුදා කටයුතු පිළිබඳ ඉහළ නිපුණත්වයක් මෙන්ම අත්දැකීම් සහිත ජෙනරාල් දයා රත්නායකට ලබා දිය යුත්තේ ඔහු නිපුණත්වයක් දක්වන ක්ෂේත්රයක තනතුරක් මිස ඔහු ‘අ’ යන්න ‘ආ’ යන්නවත් නොදන්නා වරාය අධිකාරියේ ඉහළම තනතුර නොවේ. මෙමඟින් එම ක්ෂේත්රයේ අත්දැකීම් සහිත දෙස් විදෙස් වෘත්තිකයිනට එම අවස්ථාව අහිමි වී ගියේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමට දින 5කට පෙර වරාය අධිකාරියේ සභාපති තනතුර පුරවා තිබීමෙනි.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුවන සොෆ්ට් ලොජික් මූල්‍ය ආයතන, ඔඩෙල් සහ ආසිරි රෝහලේ හිමිකාරීත්වය දරන අශෝක් පතිරගේ මෙරට ජාතික ගුවන් සේවාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කරන ලද්දේ දෙසැම්බර් 16 වන දින, එනම් අයැදුම්පත් එවීමේ අවසන් දිනට දින 2කට පෙරය. රක්ෂණ,මූල්‍ය ඇඟලුම් සහ රෝහල් වැනි ව්‍යාපාර 25කට ආසන්න සංඛ්‍යාවක කලමනාකාර අධ්යක්ෂ ධුරය දරන අශෝක් පතිරගේ හට ගුවන් සේවා ක්ෂේත්රයේ කිසිදු වෘත්තීය නිපුණත්වයක් හෝ අත්දැකීම් නොමැත. නමුත් ඔහු මූල්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර හරහා සාර්ථකත්වයක් අත්කර ගත් අයෙකි. බොහෝ දෙනෙකු ඇගැයුවේ ඔහුගේ ව්‍යාපාර සාර්ථකත්වය මිස ගුවන් සේවාවක් කලමනාකරණය කිරීමට ඔහුට ඇති අත්දැකීම් හෝ දැනුම නොවේ. ඔහුට අයත් තවත් ආයතන 25ක පරිපාලනය මෙහෙයවන අතරතුර පසුගිය රාජපක්ෂ රජය සමයේ ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ විසින් දැඩි අගාධයකට ඇද දමන ලද මෙන්ම යහපාලන රජය යටතේද ගොඩ ගත නොහැකි වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට යළි පන දෙන්නේ කෙසේද යන්න ගැටළුවකි. අශෝක් පතිරගේ තම ව්‍යාපාර 25කට ආසන්න සංඛ්‍යාවක් පරිපාලනය කරමින් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට නම් තම සියළුම ව්‍යාපාර අත්හැර ශ්‍රී ලංකන් ආයතනයට පමණක් පූර්ණ කාලීනව සේවය කළ යුතු ය. එය කළ හැක්කක් දැයි ගැටළුවකි. අශෝක් පතිරගේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා දැවැන්ත මූල්‍ය අනුග්‍රහයක් ලබා දුන් අයෙකි.
ක්ෂේත්රයේ අත්දැකීම් සහ නිපුණත්වය සහිත වෘත්තිකයින්ගෙන් අයැදුම්පත් ලැබීම අවසන් වන දිනට පෙර දින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති තනතුරට කිමාලි ප්‍රනාන්දු පත්කරන ලද්දේ දෙසැම්බර් 17 වන දිනය. ඇයට අත්දැකීම් ඇත්තේ සහ ඇය නිපුණත්වයක් දක්වන්නේ බැංකු ක්ෂේත්රයට මිස සංචාරක ප්‍රවර්ධන ක්ෂේත්රයට නොවේ. එල්. බී ෆිනෑන්ස්, එන්.ඩී.බී. පෑන් ඒෂියා, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් සහ ඩොයිෂ් බෑන්ක් යන බැංකු සහ මූල්‍ය ආතනවල ඇය ජ්‍යේෂ්ඨ තනතුරු හොබවා ඇත.
දැන්වීමේ අවසාන දිනය වන දෙසැම්බර් 18 වන දින වන විට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති තනතුරට විශ්‍රාමලත් මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පත්කරන ලද අතර, සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳ කිසිදු දැනුමක් හෝ අත්දැකීමක් තමාට නොමැති බව මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි ප්‍රකාශකොට තිබුණි. එදිනම, රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් පත් කිරීමට නිර්දේශ කරනු ලබන විද්වත් මඬුල්ලේ සාමාජිකයෙකු වන සුසන්ත රත්නායක තමා විසින් තමාම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (Board of Investments/ BOI) සභාපති ධුරයට යෝජනාකොට පත්වීම ලබා ගත්තේය.
සුසන්ත රත්නායකට අමතරව රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමේ විද්වත් මඬුල්ලේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ද තමා සභාපතිධුර සඳහා සුදුසු යැයි යෝජනා කර පත්වීම් ලබා ගත්තෝය. ඒ අනුව ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයද, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරය ද ලබා ගත්තෝය. මෙම විද්වත් මඬුල්ලේ ඉතිරි සාමාජිකයින් වන ඩයන් ගෝමස් හටත් ඉදිරියේදී දේශපාලන පත්වීමක් ලැබීමට අවස්ථාව තිබෙන අතර,අනෙකුත් සාමාජිකයා වන නාලක ගොඩහේවා ගම්පහ හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
මෙම විද්වත් මඬුල්ල විසින් රටේ සුදුස්සන්ට පෙර තමා දේශපාලන පත්වීම් ලබා ගත් අතර ඔවුන්ගේ නිර්දේශය මත රාජ්‍ය ආයතන සඳහා මේ වනවිට ලබා දී ඇති සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල පත්වීම් සියල්ලම ද දේශපාලන පත්වීම් ය. ජනාධිපති ලේකම් විසින් දැන්වීමක් පළකොට, විද්වත් මඬුල්ලකින් ‘ක්ෂේත්රයේ’ අත්දැකීම් සහ නිපුණත්වයක් සහිත වෘත්තිකයින්ට තනතුරු ලබා දෙනවා යැයි මහා ප්‍රෝඩාවක් කොට රටම රවටන ලද බව මේ වන විය ජනතාව අවබෝධ කරගෙන හමාරය.
ඒ සඳහා උදාහරණ බොහෝ තිබේ, සියල්ලම සඳහන් කළ නොහැකි නමුත් කිහිපයක් සඳහන් කළ හැක. තේ මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන ලද්දේ පොහොට්ටු පක්ෂයට අයත් වියත්මඟ සංවිධානයේ කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බොගවන්තලාව තේ සමාගමේ හිටපු සභාපති ජයම්පති මොල්ලිගොඩය. තවද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරයට පත්කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය කලමනාකරු වන සොනාල ගුණවර්ධනයි.
මෙම විද්වත් මණ්ඩලය විසින් සිදු කරල ලද තවත් පත්වීමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ දැක්විය හැක. පරිසරය සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමින් හෝ ආයතනික වශයෙන් කිසිදු ක්‍රියාකාරකමක් සිදුකොට නොමැති සිරිපාල අමරසිංහ මෙවැනි සංවේදී ක්ෂේත්රයක් සඳහා සුදුසු වූයේ කෙසේ දැයි ගැටළුවකි. ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි මේ සඳහා සුදුසු පරිසරවේදීන් නොසිටින්නේදැයි පැනයකි. ඔහු වාණිජ උපාධිධාරියෙකු වන අතර පූර්ණ කාලීන දේශපාලනයේ නියුතු වන්නෙකි. ඔහු රාජපක්ෂලාගේ දේශපාලන කඳවුරේ ප්‍රබලයෙකි. ක්ෂේත්රයේ අත්දැකීම් සහිත පරිසරවේදීන් පරදා ඔහු මෙම තනතුරට පත් කිරීමට ඔහු සතු එකම සුදුසුකම පොහොට්ටු පක්ෂයට කත් ඇදීම බව නොතේරෙන්නේ නම් එහිද ගැටලුවක් ඇත. ඔහුද මෙම විද්වත් මණ්ඩලයේ තීරීමකි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ ද දේශපාලන පත්වීමකි. ඔහුද රාජපක්ෂ හිතවාදී දේශපාලන කඳවුර නියෝජනය කරන්නෙකි. චමින්ද අතලුවගේ රාජපක්ෂ රජය සමයේ ලොතරැයි මණ්ඩලයේ සභාපතිය. මහින්ද රාජපක්ෂගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලොතරැයි මණ්ඩලයේ මුදල් අවභාවිතා කළ බවට ඔහුට චෝදනා ඇත.ඔහුට විරුද්ධව නඩු තවමත් නීතිපති දෙපාර්මේන්තුවේ තිබේ. එම චෝදනාවලින් චමින්ද අතලුවගේ නිදොස්කොට නිදහස්කොට නොමැත. එසේ තිබියදී රාජ්‍ය ආයතනයක සභාපතිධුරයට පත් වීමට ඔහු සුදුසුකම් ලද්දේ කෙසේද යන්න හා අයැදුම්පත් ඉදිරිපත්කළ කිසිවෙකුත් මොහුට වඩා සුදුසුකම් නොලද්දේ ද යන පැනය ඇසිය යුත්තේ විද්වත් මඬුල්ලෙන්මය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිධුරය ලබා දෙන ලද්දේ ද පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු වන කිංස්ලි රණවකටය. මොහු පොහොට්ටු පක්ෂයේ විදේශ කටයුතු භාරව සිටි නිළධාරියාය. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත ද පොහොට්ටුවේ එවැනිම ප්‍රබල ක්‍රියාකාරී ආධාරකරුවෙකි. අනිල් කොස්වත්ත නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටු කාර්යාලයයේ පූර්ණ කාලීනව දක්නට ලැබුණු අයෙකි. ලක්සලෙන් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට ද චෝදනා තිබේ.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කරන ලද්දේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ පොහොට්ටු පක්ෂයේ විධායක නිළධාරියෙකු වන රේණුක පෙරේරාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා රැසකට චෝදනා ලත් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට වගකිව යුතු පුද්ගලයෙකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංගේ සොයුරු නිශාන්ත රණතුංග ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිධුරයට පත් කරන ලද්දේ ඔහු සතුව එම ක්ෂේත්රයට අදාල කිනම් නිපුණත්වයක් හෝ අත්දැකීමක් මත ද යන්න දන්නේ විද්වත් මණ්ඩලය පමණි.
පසුගිය රාජපක්ෂ සමයේ නාමල් රාජපක්ෂ විසින් පවත්වාගෙන යනලද නිල් බලකායේ ප්‍රධාන කාර්භාරයක් ඉටු කළ සහ එම මන්ත්‍රීවරයාගේ සමීපතමයෙකු වන ලලිත් පියුම් පෙරේරා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පත් කරන ලද සුමිත් විජේසිංහ පොහොට්ටු පක්ෂයේ විධායක නිළධාරියෙකි. මොහු නීති උපාධිය ලබා ගත් අයෙකු වුවද නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන්නේ නැත. පූර්ණ කාලීනව දේශපාලනයේ නියුතු වූ ඔහු ඛනිජ තෙල් ක්ෂේත්රය සම්බන්ධ අල්ප මාත්‍රයකුදු දැනුම හෝ අත්දැකීම් ඇත්තෙකු නොවේ.
මේ අතර චෝදනා කිහිපයකට අත්අඩංගුවට පත්ව සිටි හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත් කර ඇත. එම ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනාගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වී අට පාස් දේශපාලකයෙකුට මෙම තනතුර ලැබුණේ ඔහු පොහොට්ටුවේ ප්‍රබල ආධාරකරුවකු වන බැවින් බව විචාර බුද්ධියක් සහිත මහජනතාවට තේරුම් ගියද, විද්වත් මඬුල්ලට එය නොතේරී තිබීම අභාග්‍යයකි.
මේ අතර නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහට සහ රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඩියෙඩ්‍රි ද ලිවේරාට ද ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂධුර හිමිවී තිබෙන්නේ ඔවුන්ගේ දියණියන් රාජපක්ෂ පවුලේ පුතණුවන් දෙදෙනෙකු විවාහ කරගත් නිසා ද එසේත් නැත්නම් ක්ෂේත්රයේ අත්දැකීම් සහ නිපුණත්වය සහිත අයැදුම්කරුවන්ට වඩා ඔවුනට සුදුසුකම් තිබීම නිසාදැයි බොහෝ දෙනා නඟන ප්රශ්නයකි. සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස ජීවිකාව ඇරඹූ නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ, අහඹු ලෙස මුහුදු වෙරළේදී හමුවූ සංචාරකයෙකුගේ මූල්‍ය අනුග්‍රහයෙන් දියුණු වූ පුද්ගලයෙකි. ඔහු ඉතා පහළ සමාජ මට්ටමක සිට අද වනවිට ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ තත්ත්වයට පත් වීම අගය කළ යුතු අතර, තිලක් වීරසිංහ වඩාත් සුදුසු වන්නේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ තනතුරකට ය. රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ මවටද ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ධුරයක් හෙබවීමට කිසිදු සුදුසුකමක් නැත. එකම සුදුසුකම රාජපක්ෂ පවුලට සම්බන්ධ වීමය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පවුලේ ගුවන් බලපත්‍ර කිකුත් කරන්නා හෙවත් travel agent ලෙස කටයුතු කරන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචි උපුල් ධර්මදාස සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට පත් කරන ලදී. අවම වශයෙන් travel agent කෙනෙකු ලෙස සේවය කොට ඔහුට අත්දැකීම් තිබීම නිසා ජාමය බේරා ගන්නට විද්වත් මණ්ඩලයට හැකි විය. නමුත් මොහුට වඩා සුදුසුකම් සහිත පුද්ගලයින් මෙරට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයෝද බොහෝ සිටිති.
මේ සියල්ලෙන්ම පෙනී යන්නේ රජය දැවැන්ත ප්‍රෝඩාවකින් මහජනතාව රවටා ඇති බවය. දැන්වීමක් සහ විද්වත් මණ්ඩලයක් ඉදිරියට දමා මෙම රජය සිදු කර ඇත්තේද පසුගිය රාජපක්ෂ රජය මෙන්ම යහපාලන රජයද සිදු කළ දේශපාලන පත්වීම ලබා දීම සහ ඥාති සංග්‍රහය සිදු කිරීමය. පසුගිය රජයන් රජයේ ආයතනවලට පත්කළේ තම හිතවතුන් සහ ඥාතීන් වුවද ඔවුන් මේ රජය මෙන් විද්වත් මඬුලු සහ දැන්වීම් දමා ජනතාව රැවටුවේ නැත. සැබෑ වෙනසක් සිදු කරනවා යැයි උදම් අනනා නව රජයත් ඉතිහාසයේ කවරදාකටත් වඩා මහජනයා රවටා ඇති බව ඔවුන් තේරුම්ගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක.
විද්වත් මඬුල්ල විද්‍යාත්මක ක්‍රමවේදයකට පත්වීම් ලබා දෙනවා යැයි කීවද ඔවුන් ද මුලින්ම කළේ සංස්ථා සභාපතිධුර තමාවෙත රඳවා ගැනීමය. ඉන්පසු ඉතිරි ආයතන සඳහා දේශපාලන පත්වීම් ලබා දුන්නෝය. ඒ කාගේ උවමනාවටදැයි ජනතාව හොඳින් දනිති. විද්වත් මඬුල්ලේ (අ)විද්‍යාත්මක පත්වීම් පිළිබඳව දැන ගැනීමට, තොරතුරු දැනගැනීමේ පනත හරහා හැකියාව තිබේ. ජනනාධිපති ලේකම් කාර්යාලයයේ තැපැල් ලිපිනයට සහ ඊමේල් ලිපිනයට ක්ෂේත්රයේ සුදුසුකම් සහිත පුද්ගලයින්ගෙන් අයැදුම්පත් කොපමණ සංඛ්‍යාවක් ලැබුණාද, ඒ අයැදුම්පත් ප්‍රතික්ෂේප වී පොහොට්ටුවේ සාමාජිකයින්ට පමණක් රජයේ ආයතනවල සභාපති සහ අධ්යක්ෂ ධුර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීමට මහජනතාවට අයිතිය ඇත. මේ රජය බැටළු සම පොරවාගත් වෘකයෙකු ලෙස කටයුතු කරන බව පැහැදිලිය. අප්‍රේල් මස මහා මැතිවරණයෙන් පසු තවත් හොඳ හොඳ සෙල්ලම් බලා ගත හැක.