පංචමී හේවාවිසෙන්ති
අප එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේදී පරිභෝජනය නොකිරීම හේතුවෙන් සැලකියයුතු ආහාර ප්‍රමාණය අපතේ දැමීමට සිදු වේ. මෙය නොසැලකිලිමත් බව නිසා මෙන්ම මඟ හැරිය නොහැකි හේතු නිසාද සිදු විය හැකිය. මෙය නිවෙස්වල මෙන්ම ලොව පුරා ආපනශාලාවල ද දිනපතා සිදුවන්නකි. ඒ අතර දිනකට එක් වේලක් පමණක් සොයාගෙන කුස් පුරවාගන්නා පිරිසක් ද සිටිති. ලෝක ජනතාව අතර ආහාර බෙදී යාමේ විෂමතාවය මෙයට හේතුවයි.
කෙසේ නමුත් සොබා දහම විසින් ජීවීන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන ලද අපූර්ව දායදය නම් වූ ආහාර අපතේ නොයවා ලැබෙන ආහාරවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මිනිසුන්ගේ වගකීමකි. එය ආහාර සුරක්ෂිතතාවය මෙන්ම පෘථිවියේ තිරසාර පැවැත්මටත් වක්‍රාකාරයෙන් දායක වන්නකි.
වර්තමානයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන ආහාර අපතේ යෑම වළක්වාගත හැකි වුව ද එය බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූවකි. ආහාර වේලකින් පසු ඉතිරිවන ආහාර ශීතකරණයක තබා පසුව ආහාරයට ගැනීම ආර්ථිකයට ද හිතකරය. නමුත් බොහෝ දෙනෙක් වරක් ආහාරයට ගෙන ඉතිරි වූ ආහාර ශීතකරණයක තබා නැවත ආහාරයට ගැනීම ප්‍රිය නොකරයි. ඒ එකම ආහාරය එකම අන්දමට නැවත වරක් ආහාරයට ගැනීමට මැලිවීම නිසයි. නමුත් එම ආහාරය වෙනස් ආකාරයකට සහ වෙනස් රසයකට පිසගත හැකිනම් ඉතිරි වූ ආහාරයක් නැවත වරක් කැමැත්තෙන් ආහාරයට ගත හැක.
ඉඳි ආප්ප ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ගයක් නොවුව ද ඉන්දියාව හැර ප්‍රධාන ආහාර වේල් සඳහා ඉඳි ආප්ප ආහාරයට ගන්නේ ශ්‍රී ලංකාව පමණි. නමුත් ශ්‍රී ලංකාවේ තරම් ඉන්දියාවේ ඉඳිආප්ප ප්‍රචලිත නැත. විශේෂයෙන් තමිල් නාඩු ප්‍රාන්තයේ ඉඳි ආප්ප ආහාරයට ගන්නා අතර ඒවා තරමක් විශාලය.
ඉඳි ආප්පවලින් සාදා ගන්නා ‘ඉඳි ආප්ප කොත්තු’ ශ්‍රී ලංකාවේදී පමණක් ආහාරයට ගත හැක්කකි. මෙය අනෙකුත් රටවල සකසනු ලබන ආහාරයක් නොවේ. ඉඳි ආප්ප කොත්තු සඳහා රිසි පරිදි එළවලු, මස් හෝ මාළු වර්ග යොදා ගත හැක. ගෝදම්බ රොටීවලින් සකසන කොත්තුවලට චීස් එක් කර චීස් කොත්තු සාදා ගන්නාක් මෙන් ඉඳි ආප්ප සඳහාද චීස් එක් කර ගැනීමෙන් රසය වැඩි වේ.මෙහි දැක්වෙන්නේ ඉතිරි වූ ඉඳි ආප්ප ඉවත නොදමා පසුදා ඒවායින් ඉඳි ආප්ප චීස් කොත්තුවක් සාදා ගන්නා ආකාරයයි. ඉඳි ආප්ප සමඟ ඉතිරි වූ වෑංජන ද මෙම ඉඳි ආප්ප කොත්තුව සාදා ගැනීමට භාවිතා කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව කපා ගත් ඉඳි ආප්ප 15ක්
චීස් වෙජස් 1ක්
කපා ගත් ළූණු ගෙඩි 1/2ක්
ඉඟුරු ස්වල්පයක්
සුදු ළූණු බිකක්
කෑලි මිරිස් තේ හැන්දක්
කරපිංචා කොළ කිහිපයක්
අමු මිරිස් කරල් 2ක්
සිහින්ව කපාගත් බෝංචි කරල් 2ක්
මාලු මිරිස් කරලක්
නිවිති කොළ කිහිපයක්
ඉතිරි වූ පරිප්පු කරි- මේස හැඳි 2ක් පමණ
දෙහි බින්දු කිහිපයක්
ලුණු
ඔලිව් තෙල් මේස හැන්දක්
මාගරින් ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය
ශීතකරණයේ තිබූ ඉඳි ආප්ප ස්ටීමරයක්, අවන් එකක් හෝ මයික්‍රෝවේව් උඳුනක් භාවිතයෙන් රත්කර ගන්න. ශීතකළ ඉඳි ආප්ප පිටතට ගෙන අයිස් දියවන තුරු තබා එයට ජලය ස්වල්පයක් ඉස ස්ටීම් කිරීම හෝ අවන් එකක හෝ මයික්‍රෝවේව් උඳුනක දමා රත්කර ගත හැක. ඉඳි ආප්පවල තද ස්වභාවය නැතිවී මෘදු බවට පත් වීමට නම් රත් කරගැනීමට පෙර වතුර ඉස ගන්න.
ඉඟුරු සහ සුදු ළූණු කුඩා වංගෙඩියකට දමා සිහින් වනතුරු හොඳින් කොටා ගන්න. චීස් කැබැල්ල ද පරිස්සමෙන් කුඩා කැබලිවලට කපා ගන්න. ස්ටීම් කරගත් ඉඳි ආප්ප සිහින් තීරු වලට කපා පසෙකින් තබා ගන්න.
භාජනයකට ඔලිව් තෙල් දමා මඳ ගින්නේ රත්වන්නට ඉඩ හරින්න එයට කරපිංචා සහ ඉඟුරු සුදු ළූණු පේස්ට් එක දමා කරවන්නට ඉඩ නොදී හැඳිගාන්න. ඉන්පසු ළූණු එක්කර ගන්න. එයටම කපා ගත් අමු මිරිස්, බෝංචි, මාලු මිරිස් සහ නිවිති එක් කර ගන්න. විනාඩි කිහිපයක් මඳ ගින්නේ පිස ගන්න. මිශ්‍රණය විනාඩියක් පමණ හැඳි ගාන්න. එයට ඉන් පසු එයට මාගරින් එක් කරන්න. මාගරින් දියවී ගෙන එනවිට සිහින්ව කපාගත් ඉඳි ආප්ප ද එක්කර එළවලු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මඳ ගින්නේ විනාඩි 2ක් පමණ වරින් වර කලවම් කරමින් පිස ගත් පසු චීස් කැබලි සහ කෑලි මිරිස් එක් කරන්න. එය ද තවත් විනාඩියක් පමණ පිස ගන්න. ලිපෙන් බා ගැනීමට පෙර දෙහි යුෂ තේ හැඳි භාගයක් පමණ එක් කර ගන්න.
උණු උණුවේම ඉඳි ආප්ප චීස් කොත්තු කෑම මේසයට පිළිගන්වන්න.
ඡායාරූපය- පංචමී හේවාවිසෙන්ති