අවිනාශ් මල්හාර
බ්ලැක් මම්බා යන අන්වර්ත නාමයෙන් තමා හඳුන්වාගත් ඇමරිකාවේ ජාතික පැසිපන්දු සංගමයේ (NBA/ National Basketball Association) සුපිරි දක්ෂතා දැක්වූ හතලිස් එක් හැවිරිදි කෝබේ බ්‍රයන්ට් ක්‍රීඩකයා සහ 13 හැවිරිදි ඔහුගේ සුරතල් දියණිය ජියානා හෙලිකොප්ටර් අනතුරකින් පසුගිය ඉරිදා (26) ජීවිතක්ෂයට පත් වීම ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුල ඇති කළේ ඉමහත් වේදනාවකි.
කෝබේ බ්‍රයන්ට් උපත ලැබුවේ 1978 අගෝස්තු 23 වන දින ඇමරිකාවේ පෙනිසිල්වේනියානු ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියාවේදීය. ඔහුට කෝබේ යන නම තබන ලද්දේ ඔහුගේ දෙමව්පියන්ගේ ප්‍රියතම ආහාරය වන කෝබේ හරක් මස් සිහිවීම පිණිසය. ජපානයේ කෝබේ ප්‍රාන්තයේ මස් පිණිස ඇති කරනු ලබන ගව විශේෂයකින් සකසනු ලබන කෝබේ හරක් මස්, බ්‍රයන්ට්ගේ දෙමව්පියන්ගේ ප්‍රියතම ආහාරය විය. එය සිහි වීම පිණිස ජපානයේ ප්‍රාන්තයක නමක් වන කෝබේ යන නාමය ඔහුට තබන ලදී. කෝබේට වයස හයේදී ඔහු සිය පියාගේ වෘත්තීය වූ පැසිපන්දු ක්‍රීඩාව සඳහා ඉතාලිය බලා පිටත්ව යන ලද අතර වයස 13 වන විට නැවතත් ඇමරිකාවට පැමිණෙන්නේය. කෝබේට චතුර ලෙස ඉතාලි භාෂාව හැසිරවීමේ හැකියාව ද තිබිණ. කෝබේ පැසි පන්දු ක්‍රීඩාවට යොමු වී ඇත්තේ ඔහුගේ පියාගේ අඩි පාරේ යමිනි. නමුත් ඔහුට අවශ්‍ය වී ඇත්තේ පාපන්දු ක්‍රීඩකයෙකු වීමටයි.
කෝබේ බ්‍රයන්ට් වර්ෂ 2001 දී වෙනිස්සා සමඟ විවාහ වූ අතර මිය යනවිට දියණියන් සිව්දෙනෙකුගේ පියෙකු විය. බ්‍රයන්ට්ගේ වැඩිමහල් දියණිය නටාලියා වසර 2003 දී උපත ලැබූ අතර, බ්‍රයන්ට් සමඟ හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය දෙවන දියණිය උපත ලබා ඇත්තේ 2006 වසරේ දීය. ඇය මියයන විට 13 වන වියේ පසු වූවාය. ජියානා උපත ලබා වසර 10 කට පසු බ්‍රයන්ට් සහ වෙනිස්සා හට තවත් දියණියක් උපත ලැබුවේ 2016 වසරේ දීය. ඒ බියංකාය. ඔවුන්ගේ සිව්වන දියණිය කැප්රි උපත ලද්දේ පසු ගිය වසරේය.

පැසිපන්දු ක්‍රීඩාවේ උපරිම දස්කම් පෙන්වූ කෝබේට තම අඩි පාරේ ගොස් ක්‍රීඩා ක්ෂේත්රයේ නම රැන්දීමට පුතෙකුද අවශ්‍ය විය. දියණියන් තිදෙනෙකුම ලැබූ පසු එකදු පුතෙකු හෝ ලැබීමට කෝබේ ආශා කළේ තම නම ඉදිරියට ගෙන යා හැක්කේ පුතෙකුට මිස දුවකට නොවන නිසාය. ඒ අනුව වෙනිස්සා හතරවන වරටත් ගැබ් ගත් අවස්ථාවේ කෝබේ බලාපොරොත්තු දල්වා ගෙන සිටියේ පුතෙකු ලැබීමටය. කෝබේගේ බලාපොරොත්තු බිඳ දමමින් බ්‍රයන්ට් පවුලට යළිත් එකතු වූයේ දියණියකි. කෙසේ නමුත් බලාපොරොත්තු අත් නොහළ කෝබේ ඊළඟට තීරණය කරන්නේ තම දෙවන දියණිය ජියානා පැසි පන්දු ක්‍රීඩාවට යොමු කිරීමටයි. ඒ අනුව කෝබේ ඇයගේ පුහුණු කටයුතු ආරම්භ කරන්නේ ය.
කෝබේ හා මියගිය දියණිය ජියානා
සිය සීයාගේ සහ පියාගේ අඩි පාරේ යමින් බ්‍රයන්ට් පරපුරේ මීළඟ පැසි පන්දු තරුව වීමට පෙරුම් පිරුවේ ජියානාය. කෝබේ බ්‍රයන්ට්ගේ වැඩිමහල් දියණියට සාපේක්ෂව දෙවැනි දියණිය පැසි පන්දු ක්‍රීඩාවට දස්කම් පෙන්වන බව පැසි පන්දු ක්‍රීඩාව ජීවිතය කරගත් කෝබේට තේරුම් ගන්නට එතරම් කලක් ගත වූයේ නැත. මුලින් කෝබේ හා සෙල්ලමට පැසි පන්දු ක්‍රීඩාව කිරීමට පුරුදු වූ ජියානාගේ ජානවලම පැසිපන්දු ක්‍රීඩාව තිබෙන බව අවබෝධ කරගත් කෝබේ, ඇය තමා සහ තම පියා මෙන් වෘත්තීය පැසි පන්දු ක්‍රීඩිකාවක් කිරීමට ඉටා ගත්තේය.
කෝබේ ක්‍රීඩා කරන පැසි පන්දු තරග නැරඹීමට ඔහු සමඟ ගියේ ජියානාය. ඒ ඈ පැසි පන්දු ක්‍රීඩාවට කැමැත්තක් දැක්වූ නිසාත්, සිය පියාගේ ක්‍රීඩා විලාශය නැරඹීමෙන් ඉගෙන ගැනීමටත් ය. දියණියන්ම සිව් දෙනෙකු ලැබූ කෝබේහට බොහෝ දෙනා නිරතුරුව පැවසුවේ ඔහුගේ පැසි පන්දු උරුමය ඉදිරියට ගෙන යෑමට පුතෙකු නොමැති වීම අඩුවක් බවයි. සමහරෙක් මෙය ඔහුගේ මුහුණටම පැවසුවද කෝබේගේ සිතේ ඇති දුක ඔහු කිසිදාක පිටතට නොපෙන් වූයේය. තරගයක් අවසන් වූ පසු ජියානා හැම විටම සිය පියා ආසන්නයේ සිටීමට ප්‍රිය කළාය. කවුරුන්හෝ කෝබේගේ පැසි පන්දු උරුමය රැගෙන යාමට පුතෙකු නැති වීම පාඩුවක් නේදැයි ඇසූ විට එයට පිළිවදන් දෙන්නේ කෝබේට කලින් ජියානාය. ” මේ ඉන්නේ තාත්තගේ නම අරගෙන යන කෙනා. ඒ මම තමයි” ඈ සිනා සෙමින් පවසන්නීය.
වෘත්තීය පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ 2018 වර්ෂයේදී පැසිපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් අතර ඔහුගේ දෙවන දියණිය වන මියගිය ජියානාගේ පෞද්ගලික පුහුණුකරු ලෙස ඉන්පසු කටයුතු කළේය. කෙසේ නමුත් පසුගිය ඉරිදා හෙලිකොප්ටරයෙන් ඔවුන් ගමන්කොට ඇත්තේ දියණියගේ පැසි පන්දු තරගයක් සඳහා ය. ඒ දියණිය නියෝජනය කරන පැසිපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමටය.

ක්‍රීඩාවට මෙන්ම ව්‍යාපාර පරිපාලනයට ද සුවිශේෂී හැකියාවක් පෙන්වූ කෝබේ බ්‍රයන්ට් පැසි පන්දු ක්‍රීඩාවේ නියැළෙන අතරතුරම ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය. වෘත්තීය පැසි පන්දු ක්‍රීඩකයෙකු ලෙස ඉපයූ මුදල් මෙන්ම විවිධ ලෝකප්‍රකට සන්නාම සඳහා වෙළෙඳ දැන්වීම් සහ සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කොට ඉපැයූ මුදල් ඔහු තවත් ව්‍යාපාරවල ආයෝජනය කළේය. කෝබේගේ වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් මිලියන 25 කි. මේ වන විට කෝබේගේ ව්‍යාපාරවල වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන් 2ක් ලෙස ගණන් බලා ඇත. ඔහු මුදල් ආයෝජනය කළ ව්‍යාපාර අතර මාධ්‍ය ආයතන, නව නිපැයුම් සහ තොරතුරු තාක්ෂණික ආයතනද වේ. ඒ අතර ලෝකප්‍රකට අලි බාබා, ඩෙල් හා ස්ටාර් බක් ද වේ. ඔහු විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් වන බොඩි ආමර් නම් ශක්ති ජනක පාන වර්ග නිපදවීමේ කර්මාන්තශාලාව පසුව කොකා කෝලා ආයතනයට විකුණා දමන ලදී. ඉන් පසු ක්‍රීඩා තොරතුරු ගෙන එන මාධ්‍ය ආයතනයක් ද ආරම්භ කළේය. බ්ලැක් මම්බා පැසි පන්දු පුහුණු පාසලද කෝබේගේ සාර්ථක ආයෝජනයකි. කෝබේ සමඟ ව්‍යාපාරවලට හවුල් වූ ඔහුගේ හවුල් කරුවන් පවසන්නේ ක්‍රීඩාවට මෙන්ම ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යෑමටත් කෝබේ සතුව විශිෂ්ඨ හැකියාවක් තිබුණු බවයි.
කෝබේ බිරිඳ වෙනිස්සා සමඟ
කෝබේ ඉතා අඩු වයසින් විවාහ වූ ක්‍රීඩකයෙකි. ඔහු වෙනිස්සා සමඟ විවාහ වනවිට කෝබේට වයස 22ක් වූ අතර වෙනිස්සා 18 වන වියේ පසු වූවාය. වසර 20ක පවුල් ජීවිතය තුල විවිධ කම්කටොළු සහ බාධක හමුවේ ඔවුන් නොසැළුණු අතර, කෝබේගේ සාර්ථකත්වයේ රහස ඔහුගේ ප්‍රිය බිරිඳ වෙනිස්සා බව කෝබේ වරක් පවසා තිබුණි.
සිය ස්වාමි පුරුෂයා සහ දියණියගේ මරණය පිළිබඳව තවමත් විශ්වාස කළ නොහැකි බව හැඬූ කඳුලින් සිටින වෙනිස්සා බ්‍රයන්ට් කියන්නීය. කෙසේ වෙතත්, බ්‍රයන්ට් පවුලේ නෑදෑයින් මෙන්ම හිතවතුන් ද වෙනිස්සා සහ දරු තිදෙනා අස්වැසීමට ඔවුන්ගේ නිවසට පැමිණ ඇති බව වාර්තා වේ. සිදු වූ කිසිවක් පිළිබඳව අදහාගත නොහැකිව සිටින වෙනිස්සා මාස හතක් වයසැති දියණියට කිරි පෙවීමට හෝ ඇයව රැක බලා ගැනීමට තරම් මානසිකත්වයකින් පසු නොවන බව පැවසේ.
තිස්හත් හැවිරිදි වෙනිස්සා බ්‍රයන්ට් මින් පෙර පවසා ඇත්තේ කෙතරම් මිල මුදල් සහ ජනප්‍රියත්වයක් ලබා ගත්ත ද කෝබේ ඉතා චරිතවත් මෙන්ම ආදර්ශමත් ජීවිතයක් ගත කළ බවය. ” ඒක මහා පුදුමාකාර බැඳීමක්. කෝබේයි මායි අතර තිබුණේ කාටවත් හිතා ගන්නවත් බැරි තරමේ දැඩි බැඳීමක්. ඔහු හැම විටම කටයුතු කළේ පවුලට මුල්තැන දීලා”. වෙනිස්සා පවසා ඇත.
කෙසේ නමුත් කැලිෆෝනියාවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ඇමරිකාවට අහිමි වූයේ සුපිරි පැසි පන්දු ක්‍රීඩකයෙකු පමණක් නොව, පැසි පන්දු පුහුණුකරුවකු සහ දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඒ සමඟම, නැඟී එන පැසි පන්දු ක්‍රීඩිකාවක් වන ජියානාද ඇමරිකාවට අහිමි වීම ජාතියක් ලෙස ඇමරිකාවට පියවා ගත නොහැකි පාඩුවකි.
