කලුදුරු, තල සහ මුරුක්කු බත් ඔබ කිසි දිනෙක රස බලා නැති බවට සැකයක් නැත. ජීරා රයිස් යනුවෙන් හඳුන්වන ඉන්දියානු බත් වර්ගය සූදුරු භාවිතයෙන් සකසා ගනු ලබයි. නමුත් කලු දුරු භාවිතයෙන් සකසා ගන්නා බත් ඉතා විරලය. තවද බත් සමඟ මුරුක්කු කළවම් කර සාදාගන්නා කෑම වට්ටෝරුවක් පිළිබඳව අසන්නටවත් නොලැබේ. සෙසමි රයිස් යනුවෙන් හඳුන්වන තල මිශ්‍ර බත් වර්ගයක් ඇති නමුත් එය එතරම් ජනප්‍රිය නොමැත.
කලුදුරු ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර ඖෂධයකි. මරණයට හැර අනෙකුත් ඕනෑම රෝගයකට කලුදුරු භාවිතයෙන් ප්‍රතිකාර කළ හැකි බව මුහම්මද් (සල්) තුමා ප්‍රකාශ කොට ඇත. එවන් ප්රතිලාභ රාශියක් ඇති කලුදුරු එක්කොට සකසා ගනු ලබන මෙම බත, කුසගින්න නිවා දමන රසවත් ආහාරයක් පමණක් නොව, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත් උපකාරී වේ.
කලුදුරුවල ගුණ පිළිබඳව කියවන්න..
පෝෂක සීයක් අඩංගු ඕනෑම රෝගයක් සුව කරන කලුදුරු
පෙරදින පරිභෝජනයට ගෙන ඉතිරි වූ බත් මේ සඳහා භාවිත කළ හැක. ඉතිරි වූ බත් පසුව නැවත ආහාරයට ගැනීම බොහෝ දෙනෙකුට ප්‍රිය නොවිය හැක. ඒ උණුසුම් සහ නැවුම්ව පිස ගත් ආහාර සඳහා ඔවුන්ගේ ඇති ප්‍රියතාවය හේතුවෙනි. කෙසේ නමුත් ඉතිරි වූ බත් ශීතකරණයක දමා පසු දින එයින් නැවුම් ආහාරයක් පිස ගත හැක. කලුදුරු, තල සහ මුරුක්කු බත එසේ ඉතිරි වූ බත් භාවිතාකොට පසු දින සකසා ගත හැකි රස ගුණ පිරි ආහාරයකි. මෙමඟින් නිවසේ ආහාර අපතේ යෑම වළක්වා ගත හැකි අතර, නැවුම්, රසවත් සහ පෝෂණීය ආහාර වේලක රස බැලීමටද හැකියාව ලැබේ.
පෙරදින ආහාරයට ගෙන ඉතිරි වූ බත් මේ සඳහා භාවිත කරන්නේ නම් ශීතරණයේ තැබූ බත් විනාඩි 15කට පමණ පෙර පිටතට ගත යුතුය. ශීතකරන ලද බත විනාඩි 15ක් කාමර උෂ්ණත්වයේ තිබෙන්නට හැරිය යුතුය. නැවුම්ව පිස ගත් බතක් මෙන් මෙම බත ද මෘදු වීමට නම් ජලය ස්වල්පයක් ඉස බත හුමාලයෙන් විනාඩි 5ක් පමණ තම්බා ගත යුතුය. ඒ සඳහා ඇලුමිනියම් මුට්ටියකට ජලය දමා මුට්ටියේ කට වැසෙන පරිදි කපු රෙද්දකින් වසා තදින් ගැට ගසා ගත යුතුය. වතුර උතුරා ගෙන එන විට කපු රෙද්ද මතට කාමර උෂ්ණත්වයේ තැබූ බත අතුරා ගන්න. භාජනයකින් වසා විනාඩි 5-10 ක් පමණ බත තම්බා ගන්න. නැවුම්ව පිසූ බතක් මෙන් බත මෘදු වී තිබෙනු දැක ගත හැකිය. මෙම ක්‍රමයට අමතරව පහසු ඕනෑම ක්‍රමයකට බත ස්ටීම් කර ගත හැක. මෙම ක්‍රමය ස්ටීම් කර ගැනීමෙන් බතේ නැවුම් ස්වභාවය රැක ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
පිස ගත් සුවඳැල් බත් කෝප්ප 2ක්
කලු දුරු- තේ හැන්දක්
සුදු තල- තේ හැන්දක්
බටර් මේස හැන්දක්
කරාබු නැටි- 1ක්
ඉඟුරු- සුදු ළූණු පේස්ට්- තේ හැන්දක්
කුරුඳු කුඩා කැබැල්ලක්
ලුණු
මිරිස් රස මුරුක්කු කිහිපයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
සාදා ගන්නා ආකාරය
තරමක් විශාල බඳුනකට බත් දමා පසෙකින් තබන්න. මෙම බඳුන බත් සමඟ අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට තරම් ඉඩකඩ සහිත එකක් විය යුතුය. මිරිස් රස යහමින් ඇති මුරුක්කු කිහිපයක් ගෙන හැන්දන් ආධාරයෙන් කුඩා කැබලිවලට කඩා ගන්න. මුරුක්කු කුඩු නොවන සේ කඩා ගත යුතුය.
භාජනයකට බටර් දමා මඳ ගින්නේ රත්කර ගන්න. බටර් දියවී ගෙන එන විට එයට ඉඟුරු- සුදු ළූණු පේස්ට් එක දමා හැන්දකින් කලවම් කරන්න. එයටම, කරාබු නැට්ට සහ කුඩා කුරුඳු කැබැල්ලද එක් කරන්න. තල සහ කලුදුරු ද එක් කර හොඳින් කලවම් කරගන්න. මෙම මිශ්‍රණයෙන් ඉමිහිරි සුවඳක් නිකුත්වන තුරු විනාඩි 2-3ක් පමණ මඳ ගින්නේ බැදෙන්නට හරින්න. ඉන්පසු තෙල් භාජනය ලිපෙන් බාගෙන සූදානම් කර තිබෙන බත් මතට වත්කර ගන්න. ලුණු සහ ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරගන්න. ඉන් පසු මුරුක්කු කැබලි ඉස උණුසුම්ව පිළිගන්වන්න. මෙය පරිප්පු මාලුවක් සමඟ වුවද රස විඳිය හැකි බතකි.ඊට අමතරව බටර් චිකන් කරිය සහ බටර් පනීර් කරියද මෙයට හොඳින් ගැලපේ.
