පංචමී හේවාවිසෙන්ති
දෙදහස් විස්ස වසරේ සමාරම්භයත් සමඟම චීනයේ හුබෙයි ප්‍රාන්තයේ අග නගරය වන වුහාන් ලොව පුරා ඉහළ ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ එම වසරේ අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස නම් නොවේ. කොරෝනා නමින් හඳුන්වන මාරාන්තික වෛරසයක් ආසාදනය වීම හේතුවෙන් එම නගරයේ ජනතාව එකිනෙකා මිය යන්නට පටන් ගැන්මත්, අනතුරුව එම නගරයේ ජීවත්වන කොරෝනා වෛරස් ආසාදිත ජනතාව පිටතට යෑම සහ පිටත ජීවත්වන ජනතාවට නගරයට ඇතුළු වීමත් වළක්වමින් නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් හේතුවෙනි.
ලෝකයේම අවධානය ඉතා සෘණාත්මක අන්දමින් ලැබුණු මෙම ප්‍රදේශය සංචාරක නගරයක් ලෙස ද මින් පෙර ප්‍රසිද්ධියක් ඉසිලූවකි. නමුත්, ඇතිවූ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් වුහාන්වාසීන් ජීවිතක්ෂයට පත්වීම හේතුකොට ගෙන මෙතෙක් සුවිශේෂී සංචාරක පුරවරයක් බවට පත්ව තිබූ හුබෙයි ප්‍රාන්තය මෙන්ම වුහාන් ප්‍රදේශය ද තවත් වසර ගණනාවක් ගතවන තුරු සංචාරක ගමනාන්තයක් බවට යළි පත්වේදැයි සැක සහිතය. ඒ වුහාන් යන නම කියූ පමණින් සංචාරකයින් බියෙන් තැති ගන්නා තත්ත්වයට පත් වීම නිසාය. මෙම තත්ත්වය වුහාන් ප්‍රදේශයේ පමණක් නොව සමස්ථ හුබෙයි ප්‍රාන්තයේම සංචාරක කර්මාන්තයට ඉතා දැඩිව බලපාන්නකි. සොබා සෞන්දර්යයෙන් අනූන සහ සුවිශේෂී ආහාරපාන සඳහා ප්‍රසිදිධියක් ඉසිලූ වුහාන්, නුදුරු අනාගතයේ සංචාරක කටයුතු සඳහා විවෘත නොවන බව පැහැදිළිය.

ස්වාභාව සෞන්දර්යයෙන් අනූන, ඉහළ වන ජීවී ගනත්වයක් සහිත හුබෙයි ප්‍රාන්තයේ අග නගරය වන්නේ වුහාන් ය. තවද එය හුබෙයි ප්‍රාන්තයේ මුඛ්‍ය වාණිජ සහ කර්මාන්ත නගරය ද වන්නේය. අතීතයේ මෙම ප්‍රදේශයේ පිහිටි වුචාං, හංකොව් සහ හංයං නමැති නගර ත්‍රිත්වය 1949 දී අභිනවයෙන් පිහිටුවන ලද චීන ජනරජය විසින් ඒකාබද්ධ කොට එක් ප්‍රදේශයක් බවට පත්කොට මුල් නගර ත්‍රිත්වයේ අක්ෂර එක්කොට වුහාන් යනුවෙන් නම් කරන ලදී. වුහාන් නගරය භූගෝලීය වශයෙන් චීනයේ හරි මැදට වන්නට පිහිටා තිබීම නිසා වාණිජමය වශයෙන් වැදගත් කමක් උසුලයි. ආසියාවේ දිගම ගංගාව සහ ලෝකයේ තෙවන දිගම ගඟ ලෙස හඳුන්වන යැංසි ගඟේ මධ්‍ය ප්‍රදේශයට වන්නට වුහාන් පිහිටා ඇත. මෙම යැංසි ගඟේ විශේෂත්වය වන්නේ මෙම ගංගාව ටිබෙට් නිම්නයෙන් ආරම්භ වී සමස්ත චීනය හරහාම ගලා බැසීමයි.
වුහාන් නගරය පරිපාලනමය දිස්ත්‍රික්ක 13 කින් සමන්විත වන අතර ජාතික තලයේ තාක්ෂණික සංවර්ධන කළාප 3ක් ද සහිතය. වර්ග කිලෝමීටර් 8500 කට ආසන්න වපසරියකින් යුක්ත මෙහි ජනගහනය ආසන්න වශයෙන් 9,790,000 කි.
වුහාන් යනු ඓතිහාසිකමය වටිනාකමක් සහිත ප්රදේශයකි. මෙහි ජනාවාස ආරම්භ වී ඇත්තේ වසර 10,000 කටත් ඉහත දීය. මෙම ප්‍රදේශය අතීතයේ ප්‍රසිද්ධියක් උසුලා ඇත්තේ රණ භූමියක් ලෙසටය. වසර 1911 දී චීන විප්ලවය ආරම්භ වී ඉපැරණි රාජ පාලනයට තිත තබා චීන ජනරජයක් නිර්මාණය කිරීමේ සටන ඇරඹී ඇත්තේ වුහාන් නගරයේ වූචං ප්‍රදේශයෙනි. තවද මෙම නගරය චීනයේ සුප්‍රසිද්ධ නගර හතරෙන් එකකි.
වුහාන් නගරයේ සංචාරක වැදගත්කම
චීනයේ වඩාත්ම සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස වුහාන් ප්‍රසිද්ධියක් උසුලයි. සංචාරක කර්මාන්තය වුහාන්හි ආර්ථිකයේ ප්‍රධාන අංගයකි. මෙහි විශේෂත්වය වන්නේ අතීතයේ පැවැති රාජධානි ත්‍රිත්වය සහ සොබා සෞන්දර්යයෙන් පිරි නිම්න ත්‍රිත්වයයි. වුහාන් ප්‍රදේශයේ සංචාරය සඳහා සුදුසු සුන්දර සහ ඓතිහාසික ස්ථාන 339ක් හඳුනා ගෙන ඇති අතර, විප්ලවය හා සම්බන්ධ ස්මාරක සහිත ස්ථාන 103ක්, ජාතික සංස්කෘතික නටබුන් සහිත සංරක්ෂිත ස්ථාන 13ක් ද, ප්‍රාදේශීය වශයෙන් වැදගත්කමක් උසුලන නටබුන් ස්ථාන 156 ක් ද පිහිටා ඇත.
මේ අතර කහ ස්ථම්භය, යුෆී පැවීලියන්, කින් රජුන්ගේ සුසානය, යැංසි ගංගාවට ඉහළින් තනා ඇති පාලම මතින් දැකිය හැකි සුන්දර දසුන්, සුන්දර උද්‍යාන, වැව්, යැංසි ගංගා නිම්න ත්‍රිත්වය, වුදන් කඳු පන්තිය, කින්ජියැං ගංගාව මෙන්ම ඉපැරණි රාජධානි ත්‍රිත්වයේ නටබුන් සහ එම රාජධානි පිහිටි ස්ථාන වුහාන් නගරයේ සංචාරක ආකර්ෂණය සහිත අනෙකුත් ස්ථාන වේ.
වුහාන්හි සංචාරක ආකර්ෂණයන් අතුරින් ප්‍රධාන වන්නේ ‘කහ ස්ථම්භය’ යි (Yellow Crane Tower’). මෙය හුබෙයි ප්‍රාන්තය සතු සුවිශේෂී සංචාරක ආකර්ෂණය වේ. ශෙෂාන් කඳු වැටියේ පිහිටා ඇති මෙය වසර සිය ගණනක් පැරණිය. මෙය අතීතයේ හමුදා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණු අතර වර්තමානයේ මෙය හුදෙක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. මෙම ස්ථම්භය මුදුනේ සිට වුහාන් නගරය සහ යැංසි ගංගාව නැරඹීමේ හැකියාව ඇත. සංචාරය සඳහා වුහාන් නගරයට පැමිණෙන සංචාරකයින් අනිවාර්යයෙන් පැමිණෙන ස්ථානයක් ලෙස කහ ස්ථම්භය ප්‍රසිද්ධය.

වුහාන් නගරයේ තවත් වැදගත් සංචාරක ආකර්ෂණයක් වනුයේ ගයියුවාං පංසලයි. මෙය අක්කර 5 කට ආසන්න වපසරියකින් යුක්තය. ගයියුවාං පංසල චීනයේ සුප්‍රසිද්ධ ඉපැරණි පංසල් අතුරින් එකක් වන අතර එය වසර 350ක් පැරණිය. මෙය හංයං ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම පංසලට අමතරව තවත් බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් මෙම හංයං ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ඓතිහාසික ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පය ඉතා ආකර්ෂණීය වන අතර, එක් පංසලක ගෘහ නිර්මාණ තවත් එකකින් වෙනස් වීමද විශේෂයකි.

ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත තවත් ස්ථානයක් වනුයේ වුහාන් කලා කෞතුකාගාරයයි. මෙය වසර 1986 දී පිහිටුවන ලදී. මෙය හංකොව් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඉපැරණි චිත්‍ර සිතුවම් සහ කලා නිර්මාණ සංරක්ෂණය කරමින් මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. චිත්‍ර ප්‍රදර්ශන ද මෙම කලා කෞතුගාරයේ පවත්වනු ලබයි. කලා කරුවන් දෙසිය දෙනෙකුගේ පමණ නිර්මාණ 1000ක් පමණ මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහාම වෙන් වූ ප්‍රදේශයක් වනුයේ වුචං දිස්ත්‍රික්කයේ නැගෙනහිර වැව් ප්රදේශයයි. මෙය ද වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් ඇදී එන ප්රදේශයකි. කිවි පලතුරු ගස් සහිත උද්භිද උද්‍යාන, සකුරා මල් උද්‍යාන, ජල තරංගයන්ට ඇහුම්කං දිය හැකි ස්ථම්භ, චු රජ මාළිගය, කුරුළු උයන් ආදි සුවිශේෂී සංචාරක ස්ථාන බොහෝමයක් මෙහි පවතී. තවද ඓතිහාසික දේශාභිමානි කවියෙකු වූ කු යුවාන් ගේ නිර්මාණ ප්‍රදර්ශනයට තබා ඇති කවි ගායනා කිරීමේ මණ්ඩපයක් ද මෙහි පවතී.
වුහාන් හි ජීවත්වන දහස් ගණනක් වන සිසුන්ගේ දැනුම් පිපාසය නිවන අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඔපවත් වූ වුහාන් විශ්ව විද්‍යාලයය ද සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ තවත් ස්ථානයකි. වසන්ත සෘතුවේ විවිධ ප්‍රදේශවලින් සහ විදෙස් රටවලින් සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඇදී එන්නේ නැගෙනහිර වැව් ප්‍රදේශය සකුරා මලින් බරවී මනරම්ව දිස්වන හෙයිනි. කුඩා යොට් නැව් වලින් වුහාන් ප්‍රදේශයේ සිරි නැරඹීමට ද සංචාරකයින්ට හැකිය.

සංචාරක ආකර්ෂණය ඉතා ඉහළින් තිබූ සොබා දහමේ දායාදයන්ගෙන් පරිපූර්ණ වූ මධ්‍ය චීනයේ වාණිජ සහ කර්මාන්ත නගරය වර්තමානය වනවිට කිසිවෙකුටත් ඇතුළු වීමට හෝ පිටව යාමට නොහැකිව වසා දමා ඇත. කොරෝනා වයිරස අවදානම පහව යෑමෙන් පසුව වුවද, තවත් බොහෝ කාලයක් යනතුරු වුහාන් නගරයේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම අපහසු වනු ඇත.