තමිල්නාඩුවේ ට්‍රිචී ප්‍රදේශයේ ශිව කෝවිලේ සංචාරය කොට මෙම ලිපිය ලීවේ පංචමී හේවාවිසෙන්ති විසිනි
‘ප්රදෝෂම්’ යි කි පමණින් ඒ හා සම්බන්ධ දෙවියන් වන්නේ ශිව ය. ශිව දෙවියන්ටම විශේෂිත වූ පුණ්‍ය දිනයකි ප්රදෝෂම් දිනය. එදින ශිව භක්තිකයෝ ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙති. එදින ඔවුහු ශිව දේවස්ථානයකට ගොස් ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ද කරති.
ප්රදෝෂම් දිනයේ සවස් භාගයේ ශිව ලිංගයට ක්ෂීරාභිෂේකය නැමති විශේෂ පූජාව සිදු කරනු ලබයි. ක්ෂීරාභිෂේකය නමින් හඳුන්වන්නේ කිරි වලින් ශිවලිංගය නැහැවීමයි. ස්ත්රෝත්ර ගායනා කරමින් කිරි වලට අමතරව ජලය, මී පැණි, කහ දියර, තැඹිලි, සිහින්ව කැපූ පළතුරු කැබලි, මී කිරි ආදිය ද ශිව ලිංගය නැහැවීම සඳහා යොදා ගනී. කාලවර්ණ ශෛලමය ශිව ලිංගයට ක්ෂීරාභිශේකය සිදු කිරීමෙන් අනතුරුව මල් මාලා දමා, මල් ඉස සරසනු ලැබේ.
සෑම ශිව දේවාලයකම ප්රදෝෂම් දිනයේදී මෙම ක්ෂීරාභිෂේකය උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි. මෙදින ශිව දේවාලවලට සාමාන්‍ය දිනවලට වඩා බැතිමතුන් රැස්වන අතර ප්රදෝෂම් වේලාව පැමිණෙන තෙක් ඔවුහු ශිව දෙවියන් වෙනුවෙන් ස්ත්රෝත්ර ගායනා කරති.
“බ්‍රහ්ම මූරාරි සුරාර්චිද ලිංගම්
නිර්මල භාෂිත සෝභිත ලිංගම්
ජන්මජ දුක්ඛ විනාසහ ලිංගම්
තත්ප්රණමාමි සදාසිව ලිංගම්”
ආදි වශයෙන් ලිංගාෂ්ඨකද ගායනා කරති.
ශිව ලිංගයට ක්ෂීරාභිෂේකය සිදු කිරීමට විශේෂ හේතුවක් ඇත.ශිව දෙවියන් තම අත දරා සිටින ත්‍රිශූලයෙන් ජීවිතයේ අවස්ථා තුන නිරූපණය වේ. එනම් උපත, ජීවත්වීම හා මරණයයි. මේ අවස්ථා ත්‍රිත්වයම පාලනය වන්නේ ශිව දෙවියන් විසින් බව හින්දූහු විශ්වාස කරති. උපත, ජීවත් කරවීම, විනාශ කිරීම යන කාර්යයන් සිදු කිරීමේදී ශිව දෙවියන් ස්වරූප තුනකට පත්වන බව විශ්වාස කෙරේ. මෙම ස්වරූප ත්‍රිත්වය අතරින් විනාශ කිරීමේ ස්වරූපය වන්නේ රුද්‍ර (රෞද්‍ර) ස්වරූපයයි. එම රෞද්‍ර ස්වරූපයේදී ශිව දෙවියන් ගින්දර බවට පත් වේ. මෙම ගින්දර සහ දැවෙන ස්වභාවයෙන් ශිවදෙවියන් මුදවා ගෙන ශාන්ත ස්වභාවයට පත් කිරීමටයි ක්ෂීරාභිශේකය සිදු කරනු ලබන්නේ. මෙම ක්ෂීරාභිෂේකය සිදු කරගෙන යාමේදී ශිව දෙවියන් රුද්‍ර ස්වභාවයෙන් ටිකෙන් ටික මිදී ශාන්ත තත්ත්වයට පත්වන්නේ ය. ශිව දෙවියන් මෙම ක්ෂීරාභිෂේකයට බොහෝ ප්‍රිය නිසා උන්වහන්සේට ‘අභිෂේක ප්‍රිය’ යන නමද ව්‍යාවහාර කෙරේ.
ප්රදෝශම් දිනයට ශිව ලිංගයට අමතරව ශිව දෙවියන්ගේ වාහනය වන (ගවයා) ‘නන්දීස්වර’ හටද ක්ෂීරාභිෂේකය සිදු කරයි. ක්ෂීරාභිශේකය අනෙකුත් දිනවලදීද සිදු කරන අතර, ප්රදෝෂම් දිනයේ සිදු කරන ක්ෂීරාභිෂේකය අති විශේෂය. එදින ශිව දේවාලයට රැස්වන බැතිමතුන් ශිව ලිංගයට ක්ෂීරාභිෂේකය සිදු කිරීමෙන් පසුව ගලායන කිරි අත්ලට රැගෙන පානය කරයි. මෙය ඔවුන් ශුද්ධ වූ පානයක් ලෙස සලකනු ලබයි. මෙමගින් ශිව දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන්ට ලැබෙන බව හින්දුහු විශ්වාස කරති.
මීට කලකට ඉහතදී තමිල්නාඩුවේ ට්‍රිචි දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක පිහිටි අනුහස් බහුල ශිව දේවාලයකට අප ගියෙමු. එදින ශිව දෙවියන්ට කැප වූ සතියේ දිනය වන සඳුදා දිනයක් වූ අතරම ප්රදෝෂම් දිනයක් ද විය. නගරයෙන් බොහෝ ඈතින් පිහී එම ශිව දේවාලයට යන පාර සිව් දෙසින් කැලෑවෙන් වටවුණු එකකි. එම දුෂ්කර ගම්මානයේ ජීවත් වූ ජනතාවද ඉතා දුප්පත් විය. කෝවිලේ ප්‍රධාන පූසාරි තැනට අපගේ පැමිණීම පෙර දැනුම් දී තිබුණු නිසා ප්රදෝශම් උත්සවය අප පැමිණෙන තුරු ආරම්භ නොකරන මෙන් ඉල්ලා සිටියෙමු. කෙසේ නමුත් සවස 4.30 පමණ වන විට අප එහි ළඟා වීමු. ඉන් පසු එම දේවාලයේ අනුහස් පිරි ශිව ලිංගය ප්‍රතිෂ්ඨාපනය කර තිබූ කළුවර කුටියට පිටතින් තිබූ ශාලාවේ හිඳ ගන්නට ප්‍රධාන පූජක තැන අපට අවසර දුන්නේ ය. අප වාඩිවී සිටි ස්ථානයේ සිට ශෛලමය ශිවලිංගය පිහිටි කාමරයට තිබුණේ අඩි දෙකක පමණ කෙටි දුරකි.
පැය භාගයකට ආසන්න කාලයක් පුරා කෙරුණු ක්ෂීරාභිශේකය සියැසින් සහ ඉතා සමීපයෙන් සිට දැක ගැනීමට අපට හැකි විය. ශිව ලිංග අභිෂේකයෙන් අනතුරුව දේවාලයෙන් පිටත එළිමහනේ ශිවලිංගයට පෙනෙන සේ එයට එක එල්ලේ තනා ඇති ශෛලමය නන්දීස්වර පිළිමයටද ක්ෂීරාභිෂේකය සිදුකරන ලදී. එම ගම්මානයේ ජීවත්වන, තැනින් තැන ඉරී ගිය ඇඳුම් හැඳගත් කුඩා ළමෝ පිරිසක් නන්දීස්වර ක්ෂීරාභිෂේකයෙන් පසුව පිටතට වෑස්සෙන කිරි සියල්ල බෙලෙක්ක වලට පුරවා ගැනීමට රැස්වී එකිනෙකා හා තරගයට මෙන් කිරි පුරවා ගන්නට විය. එකිනෙකා පරයා තමාට වැඩි ප්‍රමාණයක් කිරි පුරවා ගැනීමට තරග කළ එම කුඩා ළමුන් රැළගේ රණ්ඩුව පූසාරි වරයාගේ ස්ත්රෝත්ර ශබ්දය අභිබවා ගිය හෙයින් නොපමවා පූසාරි තෙමේ එම ළමයින් රංචුව එළවා දැම්මේය. නැවතත් සුළු මොහොතකින් එකා දෙන්නා බැගින් පැමිණී නන්දීස්වරගෙන් වෑස්සී අපතේ යන කිරි වලට තම බෙලෙක්ක අල්ලන්නට විය. ඒ දුටු අනෙක් ළමෝද පැමිණ තරගයට මෙන් නැවතත් කිරි පුරවා ගන්නට වූහ. තරගය රණ්ඩුවක් බවට පත්වීම නිසා පූසාරි තෙමේ නැවතත් ඔවුන් එළවා දැම්මේය. නන්දීස්වර අභිෂේකයේ අවසාන අවධියේ දී ගෝල පූසාරි වරයා වෑස්සෙන කිරි, බාල්දියකට එකතු කොට ක්ෂීරාභිෂේකයට සහභාගි වූ සියලුම බැතිමතුන්ගේ අල්ලට කිරි ස්වල්පය බැගින් වක්කරන ලදී.
එය ප්රදෝෂම් දිනයක් වූ හෙයින් එම දේවාලයේ එදින විශේෂ දානයක් ද සූදානම් කර තිබුණි. කැන්ද වැනි කොළ වර්ගයක් හුමාලයෙන් තම්බා කුඩා භාජනයක් අච්චුවක් මෙන් ගෙන එම කොළ දෙකක් පමණ එම භාජනයේ අලවා හොඳින් සවි වූ පසු එම කොළ ගැලවූ පසු කුඩා භාජනයේම හැඩය ඇති කොළ භාජනයක් තැනේ. එම කැන්ද කොළ කෝප්පවලට පිරවූ ගිතෙල් මිශ්‍ර බත් සෑම බැතිමතෙකුටම දෙන ලදී. එය ප්‍රසාදම් හෝ අණ්ණ ලෙස හඳුන්වයි. එදින ප්රදෝෂම් දිනය නිමිත්තෙන් උපවාසයේ යෙදී සිටි (මා හැර ) දැඩි ශිව භක්තිකයන් වූ අප කණ්ඩායමට උපවාසය හමාර කිරීමට එම කෝවිලේ විශේෂ ස්ථානයක කෝවිල් ප්‍රසාද සූදානම් කොට තිබුණි. සවස 7 වන විට සියලු කටයුතු අවසන් කොට ට්‍රිචි සිට පැය 8 ක ගමනක් වූ චෙන්නායි බලා යළිත් පිටත් වීමු.
එතැනදී අප දුටු තවත් විශේෂත්වයක් වූයේ ඉහත කී දුගී ළමුන් රැළ කිරි එකතු කර ගැනීමට හා ප්‍රසාද බත් පිඟන් ලබා ගැනීමට රණ්ඩු කළ ආකාරයයි. ප්‍රධාන පූසාරි තැන අප හා පැවසූයේ සෑම ප්රදෝෂම් දිනයකම මේ භූමියට කලින්ම පැමිණෙන්නේ මේ කුඩා බැතිමතුන් බවය.ඒ දෙවියන් කෙරෙහි ඇති භක්තියටත් වඩා කුසගිනි නිවා ගැනීමට කුස පිරෙන්නට ආහාර වේලක් හා බීමට කිරි ලැබෙන්නේ ප්රදෝෂම් දිනයට පමණක් වන බැවිනි.
ප්රදෝෂම් නිර්මාණය වූ හැටි.
අමෘතය සතු කර ගැනීම සඳහා අසුරයින් හා දෙවිවරුන් අතර සටනක් ඇති විය. එහිදී දෙවිවරුන් හා අසුරයන් දෙපිලකට බෙදී වාසුගී නම් විශාල නාගයා ‘මන්ත්රගිරි’ නම් පර්වතයේ ගැට ගසා නාගයාගේ හිස පෙදෙසින් අසුරයින් ද වලිගය පෙදෙසින් දෙවිවරුන්ද අදිමින් මන්ත්රගිරි පර්වතය මගින් කිරි සයුර කලතන්නට විය. මෙසේ දෙවිවරු සහ අසුරයින් වාසුගී නාගයාගේ දෙපසින් අදිමින් සිටියදී නාගයාගේ කඳ මධ්‍යයේ රැඳී තිබුණු මන්ත්රගිරි පර්වතය නාගයාගේ ග්රහණයෙන් මිදී කිරිසයුරට වැටී ගිලෙන්නට විය. එම අවස්ථාවේ මහා විෂ්ණු ඉබි වේශයක් ගෙන ක්ෂීර සාගරයේ කිමිදී තම බාහු වලින් මන්ත්රගිරි පර්වතය ඉහළට ගෙන ආවේය. එවිට දෙවිවරුන් හා අසුරයන් නැවතත් වාසුගී නාගයා එම පර්වතයේ ගැට ගසා නොනවත්වා කිරි සයුර කලතන්නට විය.

පසුදින ඒකාදසී නම් වූ මහා විෂ්ණුට අයත් විශේෂ දිනයකි. ඒකාදසියට පෙරදින දෙවිවරුන් හා අසුරයින් වාසුගී දෙපසින් අදිමින් කිරි සයුර කලතන්නට වීම නිසා ඇතිවූ වේදනාව දරාගත නොහැකිව වාසුගී නාගයා තම විෂ කිරි සයුරට මුදා හැරියේය. එම විෂ හා අමෘතය එකට කළවම් වී හලාහල නම් වූ විෂ නිර්මාණය විය. මේ නිසා අසුරයින්ටත් අමෘතය පානය කළ නොහැකි තත්වයක් උදා විය.
මේ අවස්ථාවේ දෙවිවරු ශිව දෙවියන්ගේ උදව් පැතුවෝය. ශිව දෙවියන් එම හලා හල විෂ රැගෙන තෙමේම පානය කළේය. පාර්වතී දේවිය තම අතක් ශිව දෙවියන්ගේ ග්රීවය (ගෙලා මත තබා එම විෂ උගුරෙන් පහලට යෑම නැවැත්වූවාය. එම විෂ ශරීරගත නොවී ගෙල අසලින් නැවතීම නිසා ශිව දෙවියන්ගේ ගෙල නිල්පැහැයට හැරිණ.
හලා හල විෂෙහි බලපෑම නිසා ශිව දෙවියන්ගේ ගෙල නිල් පැහැයට පැහැයට හැරුණු හෙයින් ශිව දෙවියන්ට නීල ගණ්ඨා යන නාමය ලැබුණි.(ගණ්ඨය යනු සංස්කෘත භාෂාවෙන් ගෙලටය ).
ශිව දෙවියන් වෙනුවෙන් ගායනා කරන එක් භජන් ගීයක උන්වහන්සේ නීල ගණ්ඨ යන නමින් හඳුන්වා ඇත.
“නීල ගණ්ඨා බාල නේත්‍රා
භස්ම භූෂිත සුන්දරා
පාහිමාම් කරුණාකරා
ක්රිජේෂ ඕම් කාරේස්වරා”
වාසුගී හෙළුෑ විෂෙන් දෙවිවරුන් හා අසුරයන් බේරා ගත් ශිව දෙවියන් නැවතත් දෙපාර්ශවයටම කිරි සයුර කලතන ලෙස අණ කළේය. දෙවිවරු හා අසුරයෝ නැවතත් පෙර පරිදි කිරි සයුර කලතන්නට වූහ. මේ කැළතීම හේතුකොටගෙන කිරි සයුරෙන් ප්‍රථමයෙන්ම ලක්ෂ්මී දේවිය මතු වූවාය. ඉන් පසු පිළිවෙලින් ඓරාවණ නම් ශ්වේත හස්ති රාජයාද, කාම ධේනුවද, කප් රුකද චින්තාමනී, කවුස්තුමනි, චූඩා මාණික්‍යය, උච්චේස්වර නම් අශ්වයා ද කිරි සයුරෙන් මතු විය. මුලින්ම කිරි සයුරෙන් පහල වූ ලක්ෂ්මී දේවිය විෂ්ණු විසින් ලබා ගෙන පසුව තම දේවිය බවට පත් කර ගන්නා ලදී. පහල වූ අනෙකුත් දෑ දෙවිවරුන් අතරේ බෙදී යන ලදී.
තවමත් අමෘතය නොලැබුණු හෙයින් දෙවි වරුන් හා අසුරයින් නැවතත් කිරි සයුර කලතන්නට විය.මෙසේ ලක්ෂ්මි දේවිය කිරිසයුරෙන් පහල වූ දිනය ඒකාදසී දිනයයි. පසු දිනය වූ දුවාදසී දිනයේ දී අමෘතය පහළ විය. අසුරයන්ට නොදී පහල වූ අමෘතය දෙවිවරුන් තමා සන්තක කර ගන්නා ලදී. නමුත් දෙවියන්ට අමතක වූ එක් දෙයක් විය. එනම් තමාට අමෘතය ලබා ගැනීමට මග පෙන්වූ ශිව දෙවියන්ට ස්තුති කිරීමයි. නමුත් මහා බ්‍රහ්මයා විසින් එය මතක් කිරීමෙන් පසුව අනෙකුත් දෙවිවරුන් ශිව දෙවියන්ට නමස්කාර කොට ස්තුතිය ප්‍රකාශ කිරීමට ශිව දෙවියන් වැඩ සිටින ‘කෛලාශ’ කන්දට ගියෝය. තමාට ස්තුති කිරීමට පැමිණි දෙවිවරුන් සඳහා ශිව දෙවියන් තම වාහනය වන නන්දීස්වර ගේ ආං දෙක මාධ්‍යයේ සිට සවස 4.30 ත් 6.00 ත් අතර නර්තනයේ යෙදුණේය. එම නර්තනය නරඹා දෙවිවරු අමන්දානන්දයට පත් වූහ.
එදින පටන් නක්ෂත්ර කැලැන්ඩරයේ ‘ත්රයෝදයි’ නම් නැකත් දිනයේ සවස් කාලය ප්රදෝෂම් කාලය ලෙස සලකා ශිව දෙවියන් සඳහා ක්ෂීරාභිෂේකය ඇතුළු විශේෂ පූජා විධි පවත්වනු ලැබේ.
මෙම ප්රදෝෂම් උත්සවය ප්‍රථමයෙන් පවත්වා ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුවාරූර්හි පිහිටි ශිව දේවාලයේ ය. මෙලෙස ප්රදෝෂම් කාලය තුල ශිව දෙවියන්ට ප්‍රථමයෙන් නමස්කාර කිරීමේ අවස්ථාව ලබා ඇත්තේ දෙවි වරුන්ගේ නායකයා වන දේවේන්ද්රය.
ඡායාරූප අන්තර්ජාලයෙනි.