රාජා කටුගම්පොළ
පුරාණ බලංගොඩ මානවයා හෙවත් දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම වාර්තා වූ නූතන මානවයා ක්‍රිස්තු පූර්ව 48,000 දීත් මහා ශිලා යුගය පසු කරමින් කොටසක් පාහියංගලින් බටදොඹලෙන, බෙලිලෙන හරහා මධ්‍යම කඳුකරයේ මහඑළිය හෙවත් නූතන හෝර්ටන් තැන්නට ළඟා වී තිබේ. අනතුරුව ක්‍රි.පූ.12,000 වන විට මුල් කෘෂි යුගයට එළඹ ධාන්‍ය වගාවෙන් දිවි ගෙවමින් සිටිය දී ක්‍රි.පූ 8,000 දී පමණ සිදු වී ඇති දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට නොහැකිව බෙරගල, හල්දුම්මුල්ල ඔස්සේ පහළ කඳුකරය වෙතටත් පසු බැස තිබේ. ඉන් අනතුරුව එක් පසෙකින් රංචමඩම හරහා වලවේ නිම්නයට ළඟා වී ක්‍රි.පූ 2,400 වන විට ආසියාවේ ප්‍රථම වරට යකඩ සොයා ගනිමින් දෙවෙනි කෘෂි යුගය නිර්මාණය කළ අයුරුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් අනාවරණය කරගෙන ඇත. ඒ සමඟ කලාඔය, කලවැල් උල්පත, මල්වතු ඔය, යාන් ඔය, කිරිඳිඔය ආශ්රිත ප්‍රදේශයන් හී ජනාවාසකරණය ඇරඹී ඇත. ඒ අතර නිරිතදිග තෙත් කළාපයේ වත්මන් මිනුවන්ගොඩ දෙවලපල මහා සුසානය මගින් හෙළි වූ ජනාවාසකරණයත් මෙහිලා කැපී පෙනේ.
මෙකී සියල්ලටම පෙර වසර එක් ලක්ෂ හැත්තෑ පන් දහසකට පෙරදී උතුරේ මාන්කුලම්, හම්බන්තොට මිනිහා ගල්කන් ද, පතිරාජවෙල හා යාල කළාපය තුළින් හමු වී ඇති ශිලා මෙවලම් තුළින් සනාථ වී ඇත්තේ ශ්‍රී ලාංකීය භූමිය තුළ මානවයාගේ ඇරඹුම හෝමෝ ඉරෙක්ටස් යුගය දක්වා දුරාතීතයට දිව යන බවය. ඉරණමඩු පාංශු නිධියට වසර ලක්ෂ 5 කි.
හෙළ ජාතියේ ඉතිහාසය ක්‍රි.පූ 6 වෙනි සියවසේ ලක්දිව ආක්‍රමණය කළ බව පැවසෙන විජය නමැති මැර නායකයාගේ ආගමනයට ලඝු කිරීමට බ්‍රිතාන්‍ය ජාතික කොඩ්රිංටන්, ගයිගර්, පෘතුගීසි ජාතික කිව්රෝස් බඳු ඉතිහාසඥයින් උත්සාහ කළේ මහාවංශය කතුවරයාගේ ඇතැම් මතවාද පාදක කර ගනිමින් ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුල මෙම පරදේසක්කාර ඉතිහාසඥයින් දේවත්වයෙන් සලකා කටයුතු කිරීමට වගකිව යුත්තන් පෙළඹී සිටීම ජාතියේම අභාග්‍යයකි.
හෙළ ශිෂ්ටාචාරය විජයාවතරණයෙන් ඇරඹී, මහින්දාගමනයෙන් පරිපූර්ණත්වයට පත් වූ බවට මහාවංශ කර්තෘ මහානාම හිමියන් ක්‍රි.ව 5 වෙනි සියවසේ දී කර ඇති සඳහන, ඉහත තොරතුරු මගින් ගොඩනැගෙන පූර්ව ඓතිහාසික හෙළයාගේ බිහිවීම, සංක්‍රමණය, ව්‍යාප්තිය මගින් ඉතාමත් ළඝු ලෙස අභියෝගයට ලක් කෙරේ.
මහා ශිලා යුගය නියෝජනය කරමින් වසර 48,000 කට පෙර ආසියාවේ මුල්ම නූතන මානවයා (හෝමෝ සේපියන්ස්) ගේ අස්ථි කොටස් හෙළදිව පාහියංගලින් හමු විය. නමුත් ඉන්දියාවෙන් හමු වී ඇත්තේ වසර 12,000 කට පෙර දිවි ගෙවූ නූතන මානව අස්ථි පමණක් වීමත් සුවිශේෂ කාරණයකි. වසර 12,000 කට පෙර මුල් කෘෂි සභ්‍යත්වය හෙළයා මහ එළියේ නිර්මාණය කර ඇති බවට මහාචාර්ය ප්‍රේමතිලක හා ස්විඩන් විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු කර ඇතත්, ඉන්දියාවේ මුල්ම කෘෂි සභ්‍යත්වය ලෙසින් මේ දක්වා සොයාගෙන ඇත්තේ වසර 8,000 කට පෙර පැවැති බවට තහවුරු කරගෙන තිබෙන නර්මදා සභ්‍යත්වය යැයි “ඉන්දීය ඉතිහාසය” කෘතිය රචනා කළ ආචාර්ය සිංහ සහ බෙනර්ජි නම් ඉතිහාසඥයෝ සඳහන් කරති.
ඒ අයුරින් නර්මදා සභ්‍යත්වය හෙවත් කෘෂි යුගය නිර්මාණය කළ පූර්ව ඓතිහාසික ඉන්දියානුවන් ක්‍රි. පූ. 3500-2500 අතර කාලය තුළදී මොහෙන්ජෝ දාරෝ හා හරප්පා ශිෂ්ටාචාර හෙවත් ප්‍රථම නාගරික ශිෂ්ටාචාරය ගොඩනැගීමට සමත්ව ඇත.එය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ක්‍රි. පූ. 2000 දී එහි ළඟා වූ එඬේර ගෝත්‍රික ආර්යයෝ එම ශිෂ්ටාචාරය වනසා දැමුවෝය. ඒ විජයගේ මී මුත්තන්ය. මේ අනුව හෙළයාගේ ඇරඹුම විජය නමැති ආර්ය වංශික සංක්‍රමණික මැර නායකයකුට ලඝු කිරීම ජාතියට සිදු කරන බරපතළ අපරාධයක් මෙන්ම අපහාසයක් බවත්, එය අපේ අධ්‍යාපනය තුළින්ම ජාතියේ දරු දැරියන්ට ඉගැන්වීමට සිදුවීම අභාග්‍යසම්පන්න බවත් බලධාරීන් තේරුම් ගත යුතුය.
එහෙත් ජාතියේ සැබෑ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරමින්, කැණීම් සිදු කරමින්, අධ්‍යයනය කරමින් නිවැරැදි ඉතිහාසය යළි ගොඩනැඟීමට විවිධාකාරයෙන් වෙහෙසුණු සැබෑ ලංකා පුත්‍රයින් ද බොහෝ ප්‍රමාණයක් සිටින්නේය. එසේ ගෞරවයට පාත්‍ර විය යුතු හෙළ විද්වතුන් අතර හිටපු කෞතුකාගාර අධ්යක්ෂ ජෙනරාල් පී.ඊ.පී.දැරණියගල, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ, කේ.එච්. විජයපාල, ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය පී.ඇල්.ප්‍රේමතිලක, ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය මංගල කටුගම්පොළ, ආචාර්ය සෙනරත් දිසානායක පමණක් නොව අරිසෙන් අහුබුදු පඬිවරයාණන්, රාජකීය පණ්ඩිත මානාවේ විමලරතන හිමි, පණ්ඩිත මාතලේ උපනන්ද හිමි, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, ආචාර්ය නන්දදේව විජේසේකර, කුමාරතුංග මුණිදාස, මහාචාර්ය එච්.ටී.බස්නායක, මහාචාර්ය ජී.පී.මලලසේකර බඳු වියත්හු ද වෙති.
එහෙත් මේ සියලු දෙනාගේම මත හෝ පර්යේෂණ මගින් එළඹුණු නිගමනයන් ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයට එකතු කරගනිමින්, අනාගත පරපුර ඓතිහාසික මිථ්‍යා මතයන්ගෙන් මුදවා ගැනීමට තවමත් ජාතිය අසමත් වී ඇත්තේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට ජාතියෙන් බිහි වූ පුරාවිද්යාර්ථීන්, ඉතිහාසඥයන් දායක කර ගැනීමට අදාල බලධාරීන් අසමත්වීම නිසාය.
එය වඩාත් කැපී පෙනෙන්නේ තමන්ගේම වූ ශිෂ්ටාචාරයක් මෙන්ම ඉතිහාසයක් අහිමි ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය බඳු නූතනයේ සංවර්ධිත රටවල් එම රටවලටම අනන්‍ය වූ ඉතිහාසයක් ගොඩ නඟා ගැනීමට දරන වෙහෙස හා කැපවීමත් ඒ සඳහා අධ්‍යාපනය උපයෝගී කරගැනීමට දරන ප්‍රශංසනීය උත්සාහයන් දෙසත් බැලීමේදීය.
එමෙන්ම තමන්ගේම වූ රටක් හා ශිෂ්ටාචාරයක් හෝ ඉතිහාසයක් අහිමි දෙමළ ජනයා මෙන්ම කුර්දිවරුන් ද තමන්ගේම වූ ඉතිහාසයක්, රටක්, ගොඩ නඟා ගැනීමට මිථ්‍යා මතවාද පවා දායක කර ගනිමින් සිටින ආකාරයෙනුත් පසක් වන්නේ ජාතියකට එය කෙතරම් වැදගත් ද වටින්නේ ද යන්න ය.
චාල්ස් ඩාර්වින්ගේ මානව පරිණාමවාදය මෙන්ම කාල් මාක්ස් නම් වූ මහා දාර්ශනිකයාගේ සමාජ පරිණාම සිද්ධාන්තයන්ට අනුව හෝමෝ ඉරෙක්ටස් හෙවත් සෘජු මානවයා අප්‍රිකාවෙන් නික්මී ආසියාව ඔස්සේ ඕස්ට්‍රේලියාව දක්වා සංක්‍රමණය වී ඇත. එය තහවුරු කිරීමට එම මාර්ගයේ අතිශයින්ම වැදගත් ස්ථානයක පිහිටා තිබෙන හෙළදිව හෙවත් ශ්‍රී ලංකාව වැඩිම සාක්ෂි-සාධක ප්‍රමාණයක් සහිත රටක් යන්න මානව විද්‍යාඥයින්ගේද මතය වී තිබේ.
එබඳු වූ සුවිශේෂී භූමියක, හෝමෝ ඉරෙක්ටස් මානවයා තෙක් දුරාතීතයට දිව යන පුරා විද්‍යාත්මක ඉතිහාසයකට උරුමකම් කියන මේ හෙළයාගේ ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවසට ලඝු කිරීමට බටහිර ගැති ඉතිහාසඥයින් දැරූ කුමන්ත්රණකාරී සහ අකාරුණික වූත් උත්සාහය බිඳ දැමීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට හෙළයේ ප්‍රෞඪ ජනයා එකාවන්ව පෙළ ගැසිය යුතුය. දේශයට, ජාතියට මෙන්ම සියළුම ආගම්වලට සැබෑ ලෙසම ආදරය සහ ගෞරවය දක්වන නායකයකු පත් වී තිබෙන මේ මොහොතේ රජයේ අවධානය සැබෑ ලෙසම පොදු මහජනතාවගේත් විද්‍යාර්ථීන්ගේත් හඬට යොමු කරන්නේ නම් ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයට ජාතියේ ඉතිහාසය පිළිබඳව දැනුම්ක් සහිත විද්‍යාර්ථීන් දායක කරවා ගැනීමටත් අවධානය යොමු කළ යුතුය. තවද, වර්තමාන ඉතිහාස විෂයය නිර්දේශයේ පැහැදිලි වෙනස්කම් ද සිදු විය යුතුය.
අපේ ප්‍රෞඪ ජාතියේ ඉතිහාසය එළිපෙහෙළි කරන පුරාවිද්‍යා ක්ෂේත්රයේ නව මානයන් කරා එළඹුණු ජීව-පුරා විද්‍යා විශේෂඥයින් අපගේ මාතෘභූමියේ කිහිප දෙනෙකු සිටියද, ඔවුන් කිහිප දෙනා ද විදේශයන්හිම සේවය කිරීම මෙරට නවීන විද්‍යා පහසුකම් නොමැති වීම නිසා සිදු වූවකි. නවීන උපකරණ ඇතුළත් විද්‍යාගාර අප රට තුල නොතිබීමත්, ඉහළ වැටුප් හා වරප්‍රසාද නොතිබීමත් කරණ කොටගෙන එය එසේ වී ඇත.
මහාචාර්ය සූරතිස්ස දිසානායක පශ්චාත් උපාධි අධ්‍යයනය නිමා කොට වැටුප් හා වරප්‍රසාද නොතකමින්, උපන් මාතෘ භූමියේ දිළිඳු ජනයාගේ බදු මුදලෙන් ලබා දුන් නිදහස් අධ්‍යාපනයෙන් නෙළාගත් උපරිම පලයෙන් ජාතියේ ණය පියවීමටත් අපේක්ෂාවෙන් මෙරටට පැමිණ ඇත. එබඳු වූ සැබෑ හෙළයින්ගේ දැනුම හා අවබෝධය මාතෘභූමියේ උන්නතියට යොදවා ගැනීමට නුදුරේදීම එළඹෙන මහා මැතිවරණය යොදා ගැනීම දේශාභිමානය සහ ජාත්‍යාලය සහිත සැබෑ හෙළයින්ගේ වගකීමකි.
ඡායාරූපය අන්තර්ජාලයෙනි