ඔරලෝසුවේ එකොළහයි තිහ වැදුණි. මා ලෑස්ති කරගත් ඇඳුම් බෑගයත් සමඟ තවම ඉඳි කඩුල්ල ළඟය. යාන්තම් මාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඈතින් මා සිටින දිශාවට ඇදෙන මිනිසකුගේ දර්ශනයෙනි. ඇඳුම් බෑගය අතට ගෙන ඉඳි කඩුල්ල පැන තව වරක් මා අම්මාගේත් තාත්තාගේත් කාමරය දෙස බැලුවේ අන්තිම වතාවටය.
පල්ලියේ ඔරලෝසුවේ දොලහේ කණිසම වැදුණි. මා තවමත් මාගේ බෑගයද අතින් ගෙන කඩුල්ල ළඟ සිටගෙනය. පල්ලියේ ගීතිකා රාවය යාන්තමට මාගේ සවන වැකුණි. ඔහු දැන් ඒ දැන් ඒ යන සතුට, බිය, සැක, සංකාව පිරි හැඟීම් මිශ්‍රණයකින් යුතු බලාපොරොත්තුවකින් නැවත වරක් හිස ඔසොවා බැලුවෙමි.
නෙත් පැහැර ගන්නා නානා වර්ණ විදුලි බුබුලින් ආලෝකමත් වූ පල්ලියේ දර්ශනයද, වහලේ සවිකර තිබූ සුදු හුණු ගා මෑතකදී පිරියම් කරන ලද සුදු පාට කුරුසිය ද යාන්තමට දැක ගත හැකි විය. බොහෝ වේලාවක් බෑගයක් අතින්ගෙන සිටගෙන සිටි මා හට තවදුරටත් එසේ සිටීමට නොහැකිව බෑගය බිම තබා ඒ මතින් හිස තබා ගත්තෙමි.
……………………………………………………………………………………………………….
“චූටි දූ තාත්තයි මායි හොඳටම බයවුණා ඔයා කාමරේ නැති හින්දා. මොකද මේ…?හොඳට ඇඳගෙන බෑග් එකකුත් අරගෙන මෙතන නිදාගෙන ඉන්නෙ? උදේ හය හමාරයි වෙලාව. ඔයාට පිස්සුද යමුගෙට.”
අම්මාගේ හඬින් අවදිවූ මා දුටුවේ පුංචි තණ පතක් මත දිලිසෙමින් තිබූ දිය බිඳුවකට පතිත වූ දැඩි හිරු රැසින් එය වියැළෙන්නට ආසන්නව තිබූ අයුරුය.
……………………………………………………………………………………………………………….
වවුනියාවේ අති දුෂ්කර සිංහල ගම්මානයක කණිෂ්ඨ විද්‍යාලයයක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණු මා උසස් පෙළ සඳහා කොළඹ පාසලකට ඇතුලත් විය යුතු යැයි යෝජනා කළේ කොළඹ පදිංචි ලොකු අම්මාය. ඒ පොඩි අක්කාගේ ද විශ්ව විද්‍යාල ගමනටත්, ලොකු අක්කාගේ රැකියාවටත් එය පහසුවක් වන නිසාය. දැනට ලොකු අක්කා පෞද්ගලික ආයතනයක උසස් නිළධාරියෙකුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන අතර, පොඩි අක්කා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කළමනාකාරණ විශේෂ උපාධිය හදාරන්නීය. මාද උසස් පෙළ සඳහා වාණිජ විෂයය ධාරාව තෝරාගත්තේ කුඩා කල සිටම පොඩි අක්කා මෙන් ගණකාධිකාරීවරියක් වීමට ආශාවෙන් පසුවුණු බැවිනි. ලොකු අක්කාත් පොඩි අක්කාත් ලොකු අම්මාගේ නිවසේ කාමරයක නැවතී සිටින අතර, ලොකු අම්මා බිය වන්නට ඇත්තේ පාසැල් යෑමට මාද එහි පැමිණියහොත් ලොකු අම්මාට කරදර වන බැවින් විය යුතුය.
කොළඹ කුලී නිවසක් අපට සොයා දුන්නේ ලොකු තාත්තාය. තාත්තා වවුනියාවේම රැඳී සිටියේ තාත්තාගේ ආදායම් මාර්ගය තිබුණේ වවුනියාවේ නිසාය. තාත්තා හැර අන් සියළු දෙනා කොළඹ කුලී නිවසකට පැමිණියේ වවුනියාව නගරයෙන් බොහෝ ඈත අප ජීවත් වූ නිවෙස කඩයක් කිරීම සඳහා බද්දට දීමෙනි. නමුත්, තාත්තා සති අන්ත හා නිවාඩු දිනවල මෙන්ම තාත්තාගේ කුඩා ව්‍යාපාර කටයුතු එතරම් සරු නොවන කාලවලත් කොළඹ අපගේ කුලී නිවසට පැමිණ අප හා කාලය ගත කරන්නට අමතක නොකළේය.
මුලදී කොළඹ පරිසරය නුහුරු නුපුරුදු වූවත් කාලයක් යත්ම කොළඹ පරිසරයට හොඳින් හැඩ ගැසෙන්නට මා හට හැකි විය. මාගේ හැසිරීමද, ඇඳුම් පැළඳුම් ද ශීඝ්‍රයෙන් කොළඹ පරිසරයට අනුකූලව අනුවර්තනය විය. වවුනියාවේ සිටියදී දිග සායටත් තරමක් දිග හැට්ටයටත් පුරුදුව සිටි මා, ඇඟටම හිර වූ ඩෙනිම් කලිසමත් ඉතා කෙටි ඇඟටම සිරවූ ටී ෂර්ටයටත් හුරු වීමට ගත වූයේ මා උසස් පෙළ සඳහා ඇතුලත් වූ පාසලේ පරිසරයටත් යහළුවන් ඇති කර ගැනීමටත් ගත වූ කාලයටත් වඩා අඩු කාලයකි. ඈත වන්නියෙන් කොළඹට ආපු කෙල්ලක් දැ’යි කියා හඳුනා ගැනීමට අපහසු වන තරමට මා කොළඹකරණය වී තිබුණි.
මා අළුතෙන් ඇතුළු වූ බාලිකා පාසලේ යහළුවන් ඇති කර ගැනීමට මට ටික කළක් ගත වූයේ කොළඹ කෙල්ලන්ගේ තිබූ ආඩම්බර කම නිසා මිස මගේ සමාජශීලි නොවන ගතිය නිසා නොවේ.
මා හැම විටම පංතියේ ගැහැණු ළමුන් සමග බලෙන් සිනා සීමී. බලෙන් කථා කළෙමි. සමහර අවස්ථාවල ‘මේකි නම් වන්නියේ කෙල්ලෙක්ම තමා’ යැයි කොළඹ කෙල්ලන්ට හිතෙන තරමටම මා ඔවුන් සමඟ යහළුවන්නට වෙර දරන්නට ඇත. පාසලේ පංතියේ හැරෙන්නට මට ටියුෂන් පන්ති වලදී ද යහළුවන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් බොහෝ දෙනෙක් මා මෙන්ම ගමෙන් කොළඹ පාසල් වලට උසස් පෙළ සඳහා පැමිණි අයයි. ඔවුන්ගේ කොළඹ පාසල් වලට ඇතුල්වීමේ මූලික පරමාර්ථය වූයේ ජනප්‍රිය පාසලක ඉගෙනීමට වඩා කොළඹ ජනප්‍රිය ටියුෂන් ගුරුන්ගේ ටියුෂන් කඩ වලට යාමයි.
ගැහැණු පිරිමි භේදයකින් තොරව මම යහළුවන් ආශ්‍රය කළෙමි. ගමෙන් කොළඹට පැමිණි යහළුවන්ට වඩා මා බොහෝ ළඟින් ආශ්‍රය කරන්නට කැමැත්තක් දැක්වූයේ කොළඹ යහළුවන්ය. කොළඹ ඉපැදී හැදී වැඩුණු ඔවුන්ගේ කොළඹකම උපතින්ම ඔවුන්ට හිමිවී තිබුණි. මට සහ මා වැනි තවත් අයට මෙන් ඔවුනට කොළඹකම ආයාසයෙන් ආරෝපණය කර ගැනීමට ආශාවක් හෝ වුවමනාවක් තිබුණේ නැත. ඔවුන් දෙස බැලුවෙකුට ඉතා හොඳින් ඔවුන්ගේ ‘කොළඹකම’ දිස් විය. ඔවුන්ගේ විලාසිතා කතා විලාශය යන හැම දේ ගැනම මා පරීක්ෂාවෙන් සිට ඒවා අනුකරණය කළෙමි.
ඒ සමාජයේ වැඩිපුරම ඉල්ලුමක් පවතින කොළඹකම ආරෝපණය කර ගැනීමටය.
කෙතරම් කොළඹ විලාසිතා අනුකරණය කළත් උණ බම්බුවේ දැමුවත් බලු නැට්ටේ ඇද අරින්නට බැරිවාක් මෙන් ගොඩේකම ඒ විලාසිතාවන්ගෙන් වහන්නට මට බැරි විය. කොළඹ කෙල්ලන් පළඳින උරහිස් ළඟට දිග එල්ලෙන ඉමිටේෂන් කරාබු, බොරු කකුල් බැන්දාක් මෙන් දාගෙන ඇවිදින උල් අඩි සපත්තු ආදියට ඉගෙනීමටත් වඩා මම අවධානය යොමු කළෙමි.
පසුදින ටියුෂන් පන්තියට යාමට පෙරදින සවස සිට මම ලක ලෑස්ති වූණෙමි. ඩෙනිම් කලිසමට ගැලපෙන ටී ෂර්ටයක් තේරීමට මම පැය ගාණක් ගත කළෙමි. මා සතු සියලු ඇඳුම් ඇඟලා වැඩිපුරම විලාසිතා පිරුණ ඇඳුම තෝරා ගන්නේ පැය දෙක තුනක් එක දිගට ඇඳුම් සමග පොර බැදීමෙනි. විලාසිතා පිළිබඳව එතරම් උනන්දුවකින් යුක්ත වූවද, පසුගිය සතියේ පංති ගෙන ගොස් ගෙදර ගෙනා පංතියේ සටහන් පොත සහ ටියුට් පොත් සොයන්නේ පංති යාමට සූදානම් වී හමාර වූ පසුවය. ලහි ලහියේ පංති පොත් සොයන මට සමහර විට ඒවා හම්බ වුණේ මේසයත් බිත්තියත් අතර ඉඩෙන් බිමට වැටී තිබී ය.
බස් නැවතුම් පොළේ සිට ටියුෂන් පංතියට ගියේ අඟල් දෙක හමාරක් පමණ උස්වූ සපත්තු දමා ගෙන වූවත්, මම ඇවිද්දේ අඩි කිහිපයක් උඩිනි. ටියුෂන් පංතියට යන පාර දෙපස පිරිමි ළමෝ බොහෝ පිරිසක් වූහ. තනිවම ඇඟට හිරවූ ඇඳුමක් හැඳ තාලයකට පාරේ ගිය මා බොහෝ වේලාවට ඔවුන්ගේ උසුළු විසුළු වලට ලක් විය. කෙල්ලන්ට උසුළු විසුළු කිරීම ගැටවර වයසේ කැපී පෙනෙන්නට දඟලන කොල්ලන්ගෙ හැටියක්ය. චීත්ත රෙද්දක් දුටුවත් ඔවුහු එයටත් කුමක් හෝ කියන්නට සැදී පැහැදි සිටිති. ඔවුන් අමතර පංති වලට එන්නේ ඉගෙන ගැනීමටත් වඩා කෙල්ලන්ට උසුලු විසිළු කිරීමටත් කොල්ලන් සමග රවුම් ගැසීමටත්, විනෝද වීමටත් ය. ටියුෂන් පංතියට යන පාරේ යන එන කෙල්ලකට හෝ කෙල්ලෝ රංචුවකට කොල්ලන්ගේ විසිල් පාරෙන් බේරී යා නොහැක. මෙ වැනි දේවල් කොයි ටියුෂන් පංතිය අසලත් බහුලය.
එයට වඩා එකිනෙකාගේ අතේ වෙළී අතින් අල්ලා ගෙන යන පෙම්වතුන් ටියුෂන් පාරේ යන ඕනෑම කෙනෙකුට වෙලාවක් අවේලාවක් නැතිව දැකගත හැකිය.ටියුෂන් පාර දෙවනි වනුයේ පෙම්වතුන්ටම වෙන්වූ උද්‍යානයකට පමණි. ටියුෂන් ගුරුවරුන් ඒවාට අනුබල දෙන්නේ තමන්ගේ ටියුෂන් කඩවලට ළමුන් අද්දවා ගැනීමටය.
මා සාභාගි වූ ටියුෂන් පංති තුනේම එවන් පෙම් යුවලවල් බොහෝමයක් විය. සාමාන්‍යයෙන් පංති කාමරයේ ගැහැණු පිරිමි දෙපිරිස සඳහා පංතියේ දෙපස වෙන් වෙන්ව ආසන පනවා තිබුණි. මෙවන් පෙම් යුවලවල් හැමවිටම වාඩි වූයේ එකටය. ඔවුන්ගේ නිත්‍ය වාසස්ථානය වූයේ බොහෝවිට පංතියේ පසුපස බංකුවේ කෙළවරය. මයික් එකක ආධාරයෙන් උගන්වන ගුරුවරයාට පංතියේ ඈත කොනේ පෙම් කරමින් ඉගෙන ගන්නා යුවලවල් කරන දෑ පැහැදිලිව දැකීමට අපහසු නිසා ඔවුන් පාඩමට ඇහුම්කන් දෙනවාට වඩා කළේ වෙනත් දෑය.
මා ඇතුලත් වූ පාසල කොළඹ නගරයේ පිහිටි ජනප්‍රියම බෞද්ධ බාලිකා පාසලකි. අනෙත් බාලිකා පාසැල් වල කෙල්ලන් මෙන් මා ගිය පාසැලේ උසස් පෙළ හදාරන කෙල්ලන් බොහෝමයකට තිබුණේ ගැමිවහරට අනුව” කොල්ලො පිස්සුවය.” පාසැල නිමාවන වේලාව ළං වන විට පිරිමි පාසැල්වල ළමෝ අපේ බාලිකාව අසල ද නොමඳව ගැවසුණහ. පාසැල් නිල ඇඳුමෙන්ම ඔවුන් අත්වැල් බැඳගෙන තුරුළු වී පෙම් බස් දොඩමින් යාමට බියවූයේ වත් පැකිළුණේවත් නැත. දිනක් මාගේ සෙනසුරාදා පංතිය හදිසියේම අවලංගු කළ නිසා එයට හිලව් වන්නට සතියේ බ්‍රහස්පතින්දා දිනක පංතිය පැවැත් විය. පාසල් නිල ඇඳුමෙන් සැරසුණු පාසල් පෙම්වතුන් සතියේ දිනවල ද ටියුෂන් පාරේ සිටිනු මා හට දැකගත හැකි විය. ඔවුන් කුමන පාසැලේ දැයි සැක හැර බලන්නෙකුට හඳුනා ගත හැකි විය. එය ඒ පාසැල්වලට කරන අගෞරවයක් බව එම දර්ශනය දකිනා එම පාසැල්වල දීප්තිමත් ආදි ශිෂ්‍යයින් සිතනවාට සැක නැත.
සතියේ දවස්වල පාසැල් ගොස් ගෙදර ආ වේලේ පටන් මාගේ වේලාව ගත වූයේ කාල සටහනකට අනුවය. හවස තුනට පමණ ගෙදර පැමිණෙන මා තුන හමාර වනතෙක් නෑමට කාලය යොදවා දිවා ආහාරය ගන්නේ හතරට පමණය. දිවා ආහාරය ගන්නේ ටෙලිවිෂනයේ පෞද්ගලික නාලිකාවක දිනපතා විකාශය කෙරෙන හින්දි චිත්‍රපටය ද වරද්දන්නේ නැතිව නරඹන අතරතුරය. මා ආහාරගෙන අවසන් වන විට අතේත් පිඟානේත් ඉඳුල් වියැළී ලාටු සෑදී තිබේ. හවස පහයි තිහට පමණ අවසන් වන චිත්‍රපටය නරඹා නින්දට යන මා බොහෝ විට ඇහැරවනුයේ අම්මා විසිනි. සමහර දාට සවස නිදාගන්නා මා අවදිවන්නේ පසුදා පාන්දර පාසැල් යාමටය.
පාසලේ වාර විභාගය මඟ හැරීම උසස් පෙළ පංතියට ගියදා සිටම මාගේ පුරුද්දක් ව තිබුණි. උසස් පෙළින් පාසල් ගමන අවසන් වනතුරු උසස් පෙළ වාර විභාගයකට නොලිව්වෙමි. ඒ විභාගයට පෙර සූදානමක් මාගේ නොතිබූ බැවිනි.
මා පාසැල් ගමන නැවැත්වූයේ විභාගයට මාස තුනක් තිබියදීය. පාසැල් ගමන නැවැත්වූයේ යැයි මා අදහස් කළේ මා පාසැලට ගියේ මාසයකට දවසක් දෙකක් පමණක් නිසාය. ඒ, ඒ වන විටත් ටියුෂන් පංති වල පුනරීක්ෂණ ආරම්භ කර තිබූ නිසාය. පාසැල් යෑමට නොහැකි වූයේ අතිරේක පංති මඟ හැරෙන නිසා මෙන්ම අතිරේක පංතිවල පවත්වන පුනරීක්ෂණවලට සහභාගි නොවී සිටිය නොහැකි නිසාය. ඒ මන්දයත් තාත්තා දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ටියුෂන්වලට යට කරන නිසා එය අපතේ නොයවා සුළුවෙන් හෝ ප්‍රයෝජනයට ගැනීමට සිතූ නිසාය. ස්වයං පරීක්ෂක වලදී බොහෝ විට මා ලැබූයේ ලකුණු 20 කටත් වඩා අඩු ගණනකි.
ගණකාධිකාරීවරියක් වීම මා සිතා සිටින තරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බව අපේ ගෙදරින් හැම විටම කියන්නකි. එය මට හරිහැටි තේරුම් ගියේ විභාගයට මාස 3ක් පමණ තිබියදී ය. පුනරීක්ෂණ පංති වලට සාභාගි වූ මා යළිත් මුල් පාඩම් සමඟ ගැටෙන්නට වීමි. විෂය කරුණු කෙරෙහි මාගේ තිබුණු අවධානය කෙතරම්දයත් එකම විෂයකවත් විෂය නිර්දේශය හරිහැටි දැන නොසිටියෙමි. මාගේ දුර්වලතාව මා විසින්ම අවබෝධ කරගත් පසුව මා පෙරටත් වඩා දහගුණයක් මහන්සි වී පාඩම් කළෙමි.
දිනක් මා ගිණුම්කරණය පුනරීක්ෂණ පංතියේදී සටහනක් ලියමින් සිටියදී පිටුපස පේළියකින් තුනට හතරට නැවූ කොළ කැබැල්ලක් ලැබුණි. සටහන ලියන අතරතුරම එය දිග හැර කියවූ මා කිසිවෙකුටත් නොපෙනෙන ලෙස එය මගේ කවකටු පෙට්ටිය තුලට දමා ගත්තෙමි. ගෙදර ගොස් යළිත් වරක් එය කියවූයෙමි.
නීල නෙතු යුගල
රණ මයුර පිළක් සේ වැනෙන කෙස් වැටිය
නාදල්ලකටත් සම කළ නොහැකි
ඔය රෝස දෙතොල්
මුතු වැලක ඇමිණූ මුතු ඇට මෙන්
දිලිසෙන දන්ත කළ්‍යාණය
කිරි කොක් සුදටත් වඩා සුදින්
බැබලෙන ඡවි කල්‍යාණය
වීණාවක තත්හඬටත් සම කළ නොහැකි
සුමිහිරි මනෝහර හඬ
මගේ පුංචි කුමාරිකාව
නුඹ පංච කළ්‍යාණයක් මැයි
නුඹ මගෙම වෙන්න
නුඹ මගෙම වෙන්න
නුඹ මගෙම වෙන්න
රැවැත්තියේ…
මගෙම වෙන්න…
මේ රැක්ෂාන්….
ඒ කවියට යටින් එය ලියූ තැනැත්තාගේ නමත් දුරකතන අංකයත් සඳහන් කර තිබුණි. මාද නිකමට මෙන් දුරකතනය ගෙන එහි සඳහන් අංක එකින් එක ඔබන්නට වීමි.
“හලෝ….හලෝ…කවුද කතා කරන්නෙ?”
“හලෝ…”එහා පැත්තෙන් පිළිතුරු දුන් පුද්ගලයා තුන් හතර වතාවක්ම කතා කරන්නේ කවුදැ’යි ඇසූ නමුත් මා හට පිළිතුරක් දී ගත නොහැකි විය. එනිසාම ඒ පුද්ගලයා තම ජංගම දුරකතනය විසංධි කළේ ය. යළිත් එම අංකය එබූ මා එහා පැත්තෙන් ඇසෙනා රළු වූත් මිහිරි වූත් ඒ හඬට සවන් දුන්නෙමි.
“ඉස්සර වෙලාත් ඔයා කත කළා. ඔය කවුද කියන්න කතා කරන්නෙ.?”
“මේ…මම…”
“මම කියන්නෙ කවුද…?ඔයාගෙ නම කියන්න පුළුවන්ද?”
“ඔයා මගේ නම දන්නවා.”
“නම දන්නෑ නංගී. ඒ නිසානෙ අහන්නෙ.”
“මේ, පුංචි කුමාරිකාවක්…..”
“ආ……නේ….ඔයා ද…..මං ඒත් හිතුවෙ නෑ ඔයා මට කතා කරයි කියලා. ඉතිං කොහොමද නංගි? මං ඔයාව දැකලා තිබුණට නමවත් දන්නෙ නෑනෙ. ඉතිං කොහොමද පුංචි කුමාරිකාව?”
“ඔයාගෙ නම රුක්ෂාන්, හරිද?”
“හ්ම්, එතකොට ඔයාගෙ?”
“දැනට පුංචි කුමාරිකාව”
“එතකොට පස්සෙ?”
“ම්, බලමු.මේ කුමාරිකාව තව ටික කාලයකින් රැජිණක් වෙයි.”
අපි දෙදෙනාම මහ හඬින් සිනාසුණෙමු.
“මං හරියටම දන්නෙ නෑ ඔයා කවුද කියලා. මං ඔයාව දැකලා නෑනෙ රුක්ෂාන්.”
“හැමදාම පිටිපස්සෙ පේළියෙ කොනේම ඉන්නෙ මං තමයි.”
“මං කොල්ලො දිහා බලන්නෙ නෑනෙ.ඒක නිසා මම දන්නෙ නෑ ඔයා කොයි එක්කෙනා ද කියලා.”
“හරි කෙල්ල, ඔයා මාව දන්නෙ නැත්තං ලබන සතියෙ පංතියෙ අන්තිම පේළියෙ කොනේ ඉන්න කෙනා කවුද බලන්නකො.”
“බලලා?”
“බලලා….ම්…ම්…ම්….ළඟට ගිහිල්ලා එයාගෙ මූණ ඉඹින්න.”
“පිස්සුද ඔයාට?බැරි වෙලාවත් ඔයාට ලබන සතියෙ එන්න බැරි වුණොත්….?”
“ආ ඒකත් එහෙමයි නෙ.කමක් නෑ.මගෙ යාළුවා ඉඳියිනෙ.”
“ඔයා හරි නරකයි රුක්ෂාන්.”
“ම්…ම්…මං දන්න තරමට නම් මං තරම් නරක කොල්ලෙක් ඔය පංතියටම නැතුව ඇති.”
“ඇති ඇති නවත්ත ගන්න.”
එලෙස ඇරඹූ දුරකතන සංවාදය හැම සවසකම නොකඩවා සිදු විය. සෙනසුරාදා මම පංතියට ගියේ රුක්ෂාන් දැක ගැනීමේ ආසාවෙනි. මම තනියෙන්ම ටියුෂන් පාර දිගේ පංතියට ඇවිද ගියෙමි. ඒ හැම විටම මට සිතුණේ රුක්ෂාන් කොහේ හෝ සිට මදෙස බලාගෙන ඇති’යි යන්නයි. රුක්ෂාන් මා හැඳිනුවාට, මා රුක්ෂාන් හඳුනන්නේ නැත. රුක්ෂාන් මා සමඟ මෙතෙක් දවසක් කළේ විහිළුවක් දැයි මා දන්නේ ද නැත.
කොල්ලෝ රංචුවක් එකට එකතු වෙලා කෙල්ලන් අපහසුතාවයට පත් කරන සිදුවීම් ටියුෂන් පංති අසල සහ ඇතුලත බහුලව සිදුවන්නකි. මෙයත් එවැන්නක් දෝ’යි මගේ සිතේ චකිතයක් විය. බිම බලාගත්වනම පඩිපෙල නැග මා පන්තියට ඇතුළු වූයේ දෙගිඩියාවෙනි. සතියක් පුරා කතා කළ රුක්ෂාන් මොන වගේ කෙනෙක්ද?එයා ඇත්තටම ලස්සනයිද?එයා කැත කෙනෙක් නම්….මං මොනවා කරන්නද? සිතුවිලි ජාලාවක මා පැටලී ඇති සෙයකි.
“ගුඩ් මෝනිං පුංචි කුමාරිකාව”පන්තියට ඇතුළුවන දොරකඩම සිටගෙන සිටි අඩි හයක් පමණ උස සද්දන්ත ශරීරයකින් යුත්, පැහැපත්,කැරලි ගැසුණු කොණ්ඩය උඩට පීරා සිටි පිරිමි ළමයෙකු මට සුභ පැතුවේ ය.
“ඔයා රුක්ෂාන්ද?”මා ඇසුවේ මගේ දබරැගිල්ල ඔහු දෙසට දික් කරමිනි.
“ඔව්.”
“ආ….බොහොම සන්තෝසයි අඳුනගන්න ලැබීම ගැන.”
“ඔයාගෙ නම මම තාම දන්නෙ නෑ.”
“පියුමි.”
“ආ…එහෙනං ඔයා මලක්”
“ඔව්…. ඔයා ගහක්.”
“ඇයි පියුමි එහෙම කිව්වේ?”
“ඇයි අනේ රුක්ෂය කියන්නෙ ගහටනෙ.”
“ආ ඒ රුක්ෂය,මේ රුක්ෂාන්.”
මා බිම බලාගත්වනම සිටියෙමි. අප දෙදෙනා දෙපස සිටගෙන සිටියදී ඒ අතරින් බොහෝ ළමයි පන්තියට ඇතුළු වුණහ. මම තවමත් පොත් ටිකද සමග එතැනම සිටගෙන සිටියෙමි.අප අතර පැවති නිහැඬියාව පළමුවෙන්ම බින්දේ රුක්ෂාන්ය.
“කොහොමද පියුමි විභාගයට ලෑස්තිද?වැඩ ටික හොඳට කරගෙන යනවද?”
“ඔව්…… ඔයා ?”
“කරගෙන යනවා. මේ පාර නම් කොහොම හරි විභාගෙ ගොඩ දාගන්න ඕන. මේ පාර විතරයිනෙ මට විභාගෙ ලියන්න පුළුවන්.”
එසේ ඇතිවූ හාදකම ප්‍රේමයකට පෙරලෙන්නට වැඩිකල් ගත වූයේ නැත. විභාගයට සූදානම් වන අතරතුරම අප දෙදෙනා එකිනෙකාට ප්‍රේම කරන්නට විමු. තවමත් විභාගයට තිබුණේ මාස තුනක් වුවද, අප දෙදෙනාගේ පාඩම් වැඩ අතපසුවනු අප දෙදෙනාටම දැනුණේ නැත. මා විභාගය ගනණකටවත් ගත්තේ නැත. රුක්ෂාන් මාගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව විය.විභාගය අසමත් වූවත් මට රුක්ෂාන්ව නැති කර ගැනීමට බැරිය යන හැඟීම මා සිත තුල විය. එම නිසා මාගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය දුන්නේ රුක්ෂාන්ටය. ප්‍රථම ප්‍රේමයේ මිහිර මාගේ ජීවිතයට එක් කළේ රුක්ෂාන්ය.
පංති යනවා යැයි ගෙදරට කියා එළියට බසිනා මා රුක්ෂාන් සමඟ යන්නේ මුහුදු වෙරළටය. එසේත් නැත්නම් චිත්‍රපටයක් බැලීමටය. රුක්ෂාන් සමඟ ගත කරන කාලය මට දැනුණේ මා පාරාදීසයක ගත කරන්නාක් වැනිය.
රුක්ෂාන්ගේ ආදරය මගේ සිතත් ගතත් කුල්මත් කරන්නට විය. පාඩම් කිරීමට පොතක් අතට ගත් සෑම විටම සිහිවන්නේ අප දෙදෙනා තනිව ගත කළ කාලය පිළිබඳව ය. පොතට මූණ ඔබා ඒ මිහිර මම සිතින් විඳගත්තෙමි.
මා ටියුෂන් පන්ති වලට ගාස්තු ගෙව්වේ ඉගෙන ගැනීමට නොව රුක්ෂාන්ව බැලීමටය. පන්තියේ ඉගෙන ගන්නා අතරතුරත් මම රුක්ෂාන් ගැන සිතමින් කාලය ගත කළෙමි. රුක්ෂාන් ව බැලීමට හා හමුවීමට පමණක් මසකට සැලකිය යුතු ගණනක් ටියුෂන් පංති වලට ගෙවන්නට මට සිදුවිය. ටියුෂන් පංති යන නාමයෙන් මා ගියේ රුක්ෂාන් හමුවී ඔහුගේ ආදරය විඳීමටය. මුහුදු වෙරළක් හෝ චිත්‍රපට ශාලාවක් ඇරෙන්නට ඔහුගේ ආදරය විඳීමටත්, ඔහුව බැලීමටත් ටියුෂන් පංතියට වඩා සුදුසු තැනක් කොහේවත් තිබුණේ නැත.
අ.පො.ස උසස් පෙළ විභාගයට මා ලීවත් ප්‍රතිපල පිළිබඳව කිසිදු විශ්වාසයක් මා හට තිබුණේ නැත. විභාගය අසමත් නොවි යාන්තම් සමත් වීමට අම්මා පවත්වන බෝධි පූජා වලින් වත් පුළුවන් වුණොත්….? විභාගය සමත් වීමට නම් එවන් අද්භූත බලයකට හැරෙන්නට මා ලියූ පිළිතුරු වලට නම් කවදාවත් හැකි වන්නේ නැත.
“රුක්ෂාන්, දැන් විභාගේ ඉවරයිනෙ. අපි කොහෙ හරි යමුද?”
“හා. එහෙනම් හෙට උදේ හතට හන්දියට එන්න. මම ඔයාව එක්කගෙන යන්න එන්නම්.”
විභාගය අවසන් වීම හිතේ තිබූ මහා බරක් බිමින් තැබුවා වැනි විය. අපි නිදහසේ අපේ ලෝකයේ කාලය ගත කළෙමු.
සතියකට දෙතුන් වරක් අපි මුණ ගැසුණෙමු. මට ඔහුව නොදැක, ඔහුගේ උණුසුම නොවිඳ ඉන්න බැරි තරම් මගේ ආත්මය ඔහුගේ ආත්මය හා බැඳී තිබුණි. මා ගන්නා හුස්මකට පවා, හද ගැස්මකට පවා, ශරීරයේ සංසරණය වන රුධිර බිංදුවකට පවා, රුක්ෂාන්ගේ ආත්මය රිංගා තිබුණි. රුක්ෂාන්ව නොදැක මොහොතක්වත් මට සිටින්නට නොහැකි විය.
“කොහෙද චූටි දුව යන්නෙ? දැන් විභාගෙත් ඉවරයිනෙ. එක දවසක්වත් ආසාවට ගෙදර ඉන්න බැරිද?”
“අනෙ අම්මෙ මැරෙනකං විභාගෙට පාඩම් කළා. සැනසීමක් ඇත්තෙම නැද්ද? මං යනවා දුආශාලගෙ ගෙදර.”
“හා හා යන්නකො. රෑවෙන්න කළිං එන්න එහෙනම්.”
උදේ ගෙදරින් පිටත්වන මා නැවත ගෙදර එන්නේ සවස පහත් පසුවීය. දහවල් කාලය මා ගත කළේ රුක්ෂාන්ගේ තුරුල්ලේ ඔහුගේ උණුසුම විඳිමිනි. ඒ උණුසුමට මා කෙතරම් ආදරය කළාද, කෙතරම් ආසා කළාද කීවොත් වේලාව පිළිබඳව හෝ නිවෙසට පිළිබඳව හෝ මට සිතක් නොවීය.
“දැන් යමු ද කෙල්ලේ?හොඳටම හවස් වෙලා. ඔයාට ගෙදරින් බනීවි.”
“අනේ රුක්ෂාන් තව ටිකක් වෙලා ඉඳිමුකෝ. මං ආසයි ඔයාට තුරුල් වෙලා ඉන්න.”
“අනේ කෙල්ලෙ, මමත් ආසයි. ඒත් දැන් හවස් වෙලා. අපි යමු. හෙටත් අපි හම්බ වෙනවනෙ.”
මා ඔහුගේ තුරුල්ලෙන් මුදා ගන්නට රුක්ෂාන් මහත් වෑයමක් දරන්නට විය. සමහර දිනවල ඔහු මාගේ ඔරලෝසුවේ කටු පැයක් ඉදිරියෙන් සිටින සේ සකසයි. මාගේ දෑත පිරිමදින මුවාවෙන් මාගේ අතේ බැඳි ඔරලෝසුවේ ද කටු කරකවයි. මට ඒ කිසිත් නොදැනෙන්නේ මා සිටින්නේ පියවි ලෝකයෙන් එහා නිසාය.
“චූටි නංගි, ඔයාගෙ ඔරලෝසුවේ වෙලාව වැරදියිනෙ.මම මේ ඔයාගෙ ඔරලෝසුව බැඳගෙන වැඩට යන්න හැදුවේ.මේක කැඩිලද?දැන් වෙලාව 8 යි. ඒ වුණාට මේකෙ වෙලාව 9.25 යි.
“කෝ බලන්න.එහෙම වෙන්න විදියක් නෑනෙ. ඕක ඊයෙත් හොඳට වැඩ කළානෙ.” ඔරලෝසුව අතට ගෙන බැලූ විට මා දුටුවේ එහි වේලාව දුවන්නේ පැයකටත් වඩා වැඩියෙන් බවය.
………………………………………………………………………………………….
“හොරා. හැමදාම හවසට ඔරලෝසුවේ කටු කරකවනවා නේද?ඒක තමයි මාත් බැලුවේ මේ දවස් ටිකේ කොච්චර හවස් වුණත් ඉර බහින්න පරක්කු ඇයි කියලා.”
“එහෙම නැතුව ඔයාව ගේන්න වෙන විදියක් නෑනෙ. යමු කියලා කිව්වම තව ඉඳිමු, තව ඉඳිමු කියනවා. මටත් ඔයාටත් දෙන්නටම යන්න පරක්කු වෙන හින්දා මං ඉතින් ඒ වගේ උපක්‍රමයක් හොයා ගත්තා.”
“මං තරහයි ඔයත් එක්ක. ඔයා මාව රවට්ටනවා.”
“අනේ නෑ. මේ. ඒක නෙවෙයි,හෙටත් එනවද?”
“නෑ, මං ආයෙ එන්නෙම නෑ.”
“බලමුකො ..බලමුකො කෙල්ලට කොල්ලව දකින්නෙ නැතිව ඉන්න පුළුවන්ද කියලා.”
මට ඔහුව නොදැක සිටීමට බැරි බව ඔහු හොඳින් දැන සිටියේ ය. එය ඔහුටත් එසේ වූවා දැයි මම හොඳාකාරව නොදනිමි. නමුත් දිනපතා ඔහු මාව හමුවන්නට පැමිණියේ මා කෑමට රුචි චොක්ලට් ද රැගෙනය.
“රුක්ෂාන්, මට අද ගෙදර යන්න බෑ.”
“එ මොකද, ඔයා එහෙනම් මේ බීච් එකේම ඉන්න.මං ගෙදර යන්නම්.”
“අනේ රුක්ෂාන්….ඔයා හැමදේම විහිළුවකට ගන්නෙ. මට ඔයා නැතුව ඉන්න බෑ.”
“ඔයාට විතරක් නෙවෙයි පුංචි කුමාරි, මටත් එහෙම තමයි.”
“රුක්ෂාන්”
“ම්ම්” ඔහු මාගේ කෙස් වැටිය අතරින් ඔහුගේ දිගු ඇඟිලි තුඩු යැව්වේය. මා තවත් ඔහුට සමීපව ඔහුගේ උකුලේ හිස හොවා ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. ඔහු දෙතොල් මත ඇඳුණු සිනාවකින් යුතුව මදෙස බලා සිටියේ ය. මාව නැගිට්ටවා ඔහු මොහොතකින් මා ඔහුගේ ඔඩොක්කුවේ හිඳුවා ඔහුගේ දෑත් වලට මා තදින් හසුවන සේ තදකර ගත්තේ ය.
“රිදෙනවාද?”
“නෑ.”
“මොනවා හරි කියන්නකො පුංචි කුමාරිකාව.”
“රුක්ෂාන්”
“ම්ම්”
“රුක්ෂාන් අපි බඳිමුද?”
“මෙච්චර ඉක්මනට? ඔයා තාම පොඩිනෙ. අවුරුදු දහ අටක් කියන්න් පොඩි වයසක් පියුමි. අපි තව ටිකක් ඉවසමු. මටත් තාම අවුරුදු විස්ස ලැබුවා විතරයි.රස්සාවක් හොයාගන්නත් ඕන.මට රස්සාවක් නැතුව කොහොමද මං මගේ කෙල්ලව බලා ගන්නෙ.”
“අනේ රුක්ෂාන්, දැන් මට ඔයා නැතුව ඉන්න බෑ. ඔයාට තේරෙන්නෙ නැද්ද?”
“තේරෙනවා කෙල්ලෙ.හොඳට තේරෙනවා. මටත් එහෙම තමයි.”
දවසෙන් වැඩි ප්‍රමාණයක් රුක්ෂාන් සමඟ ගත කළත් එය මට ප්‍රමාණවත් නොවීය. මට මුළු දවසම ඔහු සමඟ සිටින්නට වුවමනා විය. දිනෙන් දින මා ඔහුට බළ කළේ අප දෙදෙනාට එක වහලක් යටට වී සිටින්නට හැකි වන සේ අපගේ විවාහය ඉක්මන් කරන ලෙසයි. රැකියාවක් හෝ හරිහැටි නොතිබුණු රුක්ෂාන් එයට එතරම් උනන්දුවක් නොදැක්වූවේ මා විවාහ කරගෙන පවුලක් ගෙන යාමට අපහසු බව ඔහුට තේරුම් ගිය නිසා වන්නට ඇත.
“මට ඔයාලගෙ ගෙදර අය කැමති වෙන එකක් නෑ පියුමි.”
“ඇයි.”
“මං කතෝලික. ඔයා බුද්ධාගමේ. අපි දෙන්නා අතර ආගම් ප්‍රශ්නයක් තියෙන හින්දා ඔයාලගෙ ගෙදර අය මේකට කැමති වෙන එකක් නෑ. අනිත් එක මොන අම්මා තාත්ත ද රස්සාවක් නැති මිනිහෙකුට තමන්ගේ දුව දෙන්නෙ? අපේ අම්මලා තාත්තලාත් අපේ ආගමෙන් පිට මට කසාදයක් කර ගන්න දෙන එකක් නෑ. අපේ අයියා පාස්ටර් කෙනෙක්. අපේ සිරිතක් තියෙනවා අපි කසාද බඳින්නේ අපේ පල්ලියත් එක්ක සම්බන්ධ අය විතරයි. කතෝලික වුණාට ජේසුස් වහන්සේ අදහන ඕන කෙනෙක් කසාද බඳින්න බෑ අපිට. අපේ කල්ට් එකේ අය විතරයි පුලුවන්. පල්ලියෙන් අපිට කියන්නෙත් ඒකමයි. මම ඔයාව බැන්දොත් පල්ලියෙන් මම විතරක් නෙවෙයි, එපේ පවුලම අයින් කරයි. අපේ ගෙදර අයට ආගම කියන්නේ ජීවිතේ වගේ”
“අනේ රුක්ෂන් ඒවා ප්‍රශ්න නෙවෙයි. ඔයාග් ආගම මට ප්‍රශ්නයක් නෙවෙයි.”
“මේ එකක්වත් ඔයාට ප්‍රශ්න නොවුණට ඔයාගෙ පවුලෙ අයටයි අපේ පවුලේ අයටයි මේවා ප්‍රශ්න තමයි. ඔයා තාම පොඩි නිසා ඔයාට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.”
“ඔයාට බැරිද රුක්ෂාන් අපේ ගෙදර එන්න.”
“මොකටද?”
“ඇවිල්ලා කෙළින්ම අපේ ගෙදරට අපේ සම්බන්දෙ ගැන කියන්න.”
…………………………………………………………………………………….
මාගේ පෙරැත්තය නිසාම රුක්ෂාන් දිනක් අපේ ගෙදර ආවේය. අප දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව අපේ ගෙදරට කීමට ඔහුට චකිතයක් විය. මුලින්ම ඔහු අපේ තාත්තාට තමාව හඳුන්වා දුන්නේ මාගේ හොඳම යහළුවකු ලෙසටයි.
“ඔය ළමයට රස්සාවක් තියෙනවාද?”
“ඔව්, මම පොඩි රස්සාවක් කරනවා.”
“කොච්චර කාලයක් ඉඳලද?”
“වැඩි කල් නෑ දැන් සතියකට විතර උඩදි තමයි මට රස්සාව හම්බ වුණේ.”
“එතකොට ඔය ළමයගෙ දෙමව්පියො එහෙම.”
“ඉන්නවා. පදිංචිය වෙන්නප්පුවේ. මට අයියා කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා.”
අපේ තාත්තා උසාවියක ප්‍රශ්න අසන්නාක් මෙන් රුක්ෂාන්ගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වූයේය. ඒ තාත්තාගේ හැටිය. තාත්තා අප සමග කතා කරන්නේත් උසාවියක ප්‍රශ්න අසන්නාක් මෙනි.
“ඔය ළමයා බුද්ධාගමේද?”
ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට රුක්ෂාන් මා දෙසත් තාත්තා දෙසත් වරින් වර බලන්නට වූයේය. තාත්තා මෙවන් ප්‍රශ්නයක් අසාවි යැයි ඔහු බලාපොරොත්තු නොවූවා විය හැක.
“අංකල් මම බුද්ධාගමේ නෙවෙයි.”තාත්තාගේ මුහුණු අඳුරු වී යන අයුරු අප සියල්ලෝම දුටුවෙමු.
“මම කතෝලිකයෙක්.”
“මට ඔය ළමයට දැන්මම උත්තරයක් දෙන්න අමාරුයි පස්සෙ බලමු”යි කී තාත්තා එතැනින් නැඟිට කාමරයට ගියේය. රුක්ෂාන් ද වාඩිවී හුන් තැනින් නැඟිට්ටේ සාදා තිබූ තේ කෝප්පයවත් බොන්නේ නැතිවය. රුක්ෂාන් අපේ ගෙදරට ආ දිනට පසු තව දින තුනක් යනතුරු මට ඔහු හමුවූයේ නැත. ඔහුට අළුත් රැකියාවක් ලැබුණු නිසා පෙර පරිදි දිනපතා හමුවන්නට අපට නොහැකි විය. ඔහුට නිවාඩු තිබුණු ඉරිදා දිනයේ මම ඔහු මුණ ගැසෙන්නට ගියෙමි.
“රුක්ෂාන් අපි තීරණයක් ගමු.”
“මේක ඔයා හිතන තරම් ලේසි ප්‍රශ්නයක් නෙවෙයි පියුමි. ඔයාට මාව බඳින්න ඕන නම් ඔයාට අපේ ආගමට එන්න වෙනවා. ඔයාට ඒක කරන්න බෑනෙ.අනිත් එක එහෙම ආවත් අපේ පවුල්වල අය ඔයා පිළිගනියිද කියන ප්‍රශනෙ තියෙනවා පියුමි”
“මං කැමතියි ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න.”
“ඒ වුණාට ඔයාගෙ ගෙදර අය කැමති වෙන එකක් නෑ ඒකට. තමන්ගෙ දුව කතෝලිකයෙක් බඳිනවට අකමැති මිනිස්සු තමන්ගේ දුව ඒ ආගමට බැඳෙනවට කවදාවත් කැමති වෙයිද?”
“කමක් නෑ රුක්ෂාන්, මට ඔයාවයි ඕන. මට අපේ ගෙදර අයව ඕන නෑ. අපි ඉක්මනට බඳිමු. අපි කුලියට ගෙයක් අරගෙන යමු. මම ඔයා කියන ඕනම දෙයක් කරන්න ලෑස්තියි.”
“තව ටිකක් ඉවසමු පියුමි. නත්තල ලබන්න තව ටික දවසයි තියෙන්නෙ.”
“අනේ රුක්ෂාන් අපි නත්තලට කලින් බඳිමු.”
රුක්ෂාන් සමග තිබූ සම්බන්ධයට අපේ ගෙදර කිසිවෙක් කැමැත්තක් දැක්වූයේ නැත. එකම හේතුව වූයේ ඔහු අන්‍යාගමිකයකු වීමය.මට රුක්ෂාන් නැති ජීවිතයක් ගැන හිතන්නවත් අපහසු විය. ඔහුත් සමග ගත කරන්නට යන ජීවිතයක් ගැන දවස තිස්සේම සිහින මවමින් සිටින මට රෑට හීනෙන් පෙනෙන්නේ රුක්ෂාන් සමග ගත කරන්නට යන වර්ණවත් ලෝකයමය.
“අර අන්යාගම්කාරයා එක්ක තියෙන සම්බන්ධය වහාම නතර කරන්න ඕන.”
මට ගෙදරින් ලැබුණේ එවැනි අණකි. අපේ සම්බන්ධය නතර කිරීමේ සේයාවක්වත් නොදුටු ගෙදර අය මට තනිවම එළියට යාමට තහනම් කළෝය. මට රුක්ෂාන් හමුවීමට කිසිදු මඟක් නොවීය. සියල්ලෝම නිදාගත් මැදියම් රැයේ දුරකතනය ගෙන මම රුක්ෂාන් ඇමතුවෙමි.
“මට තවත් ඔයා නොදැක ඉන්න බෑ රුක්ෂාන්. මට ඔයාව ඕන. අනේ මාව අරගෙන කොහෙ හරි යන්න.”
“මොනවද ඔයා මේ කියන්නෙ. නත්තල ලබන්නෙ හෙට රෑ. මේ වෙලාවෙ මට මොනවත්ම කරන්න බෑ.පොඩ්ඩක් හිතන්න පියුමි,පොඩි බබෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.”
“අනේ රුක්ෂාන් මට තවනම් මේ ගෙදර ඉන්න කියන්න එපා. මං මගේ ඇඳුම් බෑග් එකත් ලෑස්ති කරගෙන ඉන්නෙ.මම හෙටම ඔයත් එක්ක යන්න එනවා.”
“පියුමි….”
“අනේ රුක්ෂාන් ඔයාට පුළුවන්ද මං නැතුව ඉන්න? ඔයා කියනවද ඔයා මට ආදරේ ද නැද්ද කියලා?
“ඔයාට මේවා කොහොම තේරුම් කරන්න ද කියලා මට තේරෙන්නෙ නෑ පියුමි”.
“මට තවත් බලාගෙන ඉන්න බෑ. ඔයා මාව අරගෙන යනවද නැත්තං අපේ ගෙදර ඉස්සරහ වහලා තියෙන ගෙයි උඩ තට්ටුවෙ ඉඳලා පහලට පැනලා මැරෙන්නද?”
“පියුමි. මාව තේරුම් ගන්නකො. මට හෙට රෑ 12ට පල්ලි යන්න ඕන. මං කොහොමද වෙන්නප්පුවේ ඉඳලා කොළඹ එන්නෙ මහ රෑ.”
“නෑ.නෑ. ඔයා කොහොම හරි රෑ 12 ට පල්ලි ගිහින් එනගමන් මාව අරගෙන යන්න එන්න ඕන. මම ලෑස්ති වෙලා ගේට්ටුව ළඟ ඉන්නම්.”
රුක්ෂාන් මුනිවත රැක්කේය. මා බලහත්කාරයෙන්ම ඔහු මත වගකීමක් පටවා දුරකතනය විසංධි කළෙමි…….