කර්ණාටක ප්‍රාන්තයේ මුරුදේස්වර කෝවිල වන්දනා කිරීමෙන් පසුව මෙම ලිපිය ලියන ලද්දේ පංචමී හේවාවිසෙන්ති විසිනි
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අග නගරය වන බැංගලෝරයේ සිට කිලෝමීටර් 450ක් පමණ දුරකින්, උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ පට්කල් ප්‍රදේශයේ පිහිටා ඇති මුරුදේස්වර ශිව කෝවිල ශ්‍රී ලංකාවේ ඉපැරණි ඉතිහාසය සමඟ බැඳී ඇත. මුරුදේස්වර යනු ශිව දෙවියන්ගේ එක් ස්වරූපයකි.
ලංකේෂ්වර යන විරුදාවලි ලත් ඉපැරණි ශ්‍රී ලංකාව පාලනය කළ මහා බලසම්පන්න නරපතියෙකු වන මහා රාවණා රජු හට ශිව දෙවියන් විසින් ලබා දෙන ලද ශිව ලිංගය තැන්පත් කොට ඇත්තේ මෙම කෝවිලේය. මෙම කෝවිලේ ඉතිහාසය ශ්‍රී ලංකාව හා සබැඳී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමටත් එහි වන්දනාවක යෙදීම පිණිසත් චෙන්නායි සිට රාත්‍රී දුම්රියේ බැංගලෝරය බලා පිටත් වීමු.
බැංගලෝර් දුම්රිය ස්ථානයේ සිට මුරුදේස්වර දුම්රිය ස්ථානය බලා යන දුම්රියේ නැඟී මුරුදේස්වර බලා පිටත් වීමු. මුහුද අසබඩ පිහිටි මුරුදේස්වර කෝවිල පිහිටා ඇත්තේ මුරුදේස්වර දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරකිනි. මුරුගේස්වර කෝවිල වෙත යෑමට දුම්රිය පොළේ සිට ත්‍රී රෝද රථ සහ කුලී රථ පහසුකම් ඇත. එනමුත් බස් රථයක නැඟී මුරුගේස්වර කෝවිල දක්වා ගමන් කිරීම සුවිශේෂී අත්දැකීමකි.
මෙම කෝවිලේ මහා ශිව රාත්‍රී පුද පූජා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර බැතිමතුන් විශාල පිරිසක් මෙම කෝවිලට ඇදී එන්නේද ශිව රාත්‍රී දිනයන්හි දීය. මුරුදේස්වර කෝවිල වන්දනා කිරීමට අප ගියේද මහා ශිව රාත්‍රී දිනයකය. මෙම කෝවිලේ දෛනික පූජාව උදෑසන 6.30 ට ආරම්භ වී 7.30 දක්වා පැවැත්වේ. මධ්‍යාහ්න පූජාව 12 ත් 12.15 ත් අතර ආරම්භ වී ප.ව. 1 දක්වා පැවැත්වේ. රාත්‍රී පූජාව සවස 6.30 සිට 8 දක්වා පැවැත්වේ.
මෙම කෝවිලට අප ළඟා වන විට මහා ශිවරාත්‍රී දිනයේ උච්චි කාල පූජාව හෙවත් මහා ශිව රාත්‍රී මධ්‍යාහ්න පූජාව ආරම්භ වී තිබිණ. එයටද සහභාගී වී ආශිර්වාද ලබා ගෙන කෝවිලේ අවට සිරි නරඹන්නට ගියෙමු.
මුහුදෙන් තුන් පැත්තෙන්ම වටවූ කුඩා මනරම් කඳු ගැටයක් මත තනා ඇති මෙම ශිව දේවාලය සහ ශිව ප්‍රතිමාව දුටුවන් මන බඳිනා සුළුය. ඉතා ඉපැරණි ඉතිහාසයක් මෙම කෝවිලට තිබුණද, ඉතා සුන්දර ප්‍රතිමාව සහ කෝවිල නිමවා ඇත්තේ මෑත කාලයේය. අති විශාල පිරිවැයක් දරා වර්තමාන කෝවිලේ ප්‍රතිමා සහ ගොඩනැගිලි ඉදි කරන ලද්දේ ව්‍යාපාරිකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ආර්. එන් ෂෙට්ටි විසින් බව කෝවිලේ පරිපාලකයෙකු අප හා පැවසුවේය. මෙය ආගම් භේදයකින් තොරව සංචාරකයින් පැමිණෙන ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. කෝවිලට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින් කෝවිල වන්දනා කර ගැනීමෙන් අනතුරුව මුහුදු වෙරළේ විනෝද වීමටද අමතක නොකරන්නේය.
කෝවිලට ඇතුල් වීමේදී දක්නට ලැබෙන රාජ ගෝපුර අඩි 250කට ආසන්න උසකින් යුක්තය. අඩි 120ක් පමණ උසින් යුත් ශිව ප්‍රතිමාව යටින් පිහිටා ඇති ලෙනේ කෞතුකාගාරයක් ද ස්ථාපනය කර ඇත. මෙහි ඇති ප්‍රතිමා සහ චිත්‍ර වලින් නිරූපණය වන්නේ මහා රාවණා ශිව දෙවියන්ගෙන් පාර්වතී සහ ශිව ලිංගය ලබා ගැනීමත්, ගණ දෙවියන් විසින් මහා රාවණා රවටා ශිව ලිංගය ලංකාවට ගෙන යෑම වළක්වා මෙම ස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් අදාල සිදු වීම් පෙළ ය. සුවිසල් ශිව ප්‍රතිමාව අසල සෙනසුරු ග්‍රහයා හෙවත් සනීස්වර සඳහා කැප කරන ලද කුඩා දෙවොලක් ද දක්නට ලැබේ. සියළුම හින්දු දෙවිවරුන් සඳහා මෙහි කුටි පිහිටා ඇත. මෙම කෝවිලේ ආරක්ෂකයින් ලෙස බැතිමතුන් හඳුන්වනු ලබන ඇතුන් දෙදෙනෙකුගේ ප්‍රතිමා කෝවිලට ඇතුළු වීමට ඇති ගේට්ටුවේ ස්ථාපනය කොට ඇත. මෙහි ඇති අනෙකුත් ප්‍රතිමා අතර ප්‍රධාන වන්නේ ශිව දෙවියන් අර්ජුනට භගවත් ගීතාව උගන්වන අනුරූප සහ මහා රාවණා විසින් තමාට ශිව දෙවියන්ගෙන් ලැබුණු සුවිශේෂී වරප්‍රසාදය වන ශිව ලිංගය ගණ දෙවියන් වෙත භාර දීම සංඛේතවත් කරන අනුරුවයි.

දොලොස් මහේ පහනට සමාන පහනක් මෙම කෝවිලේද දක්නට ලැබෙන අතර, මෙම කෝවිල ඉදි කළ දිනයේ සිට අද වන තුරුත් එම පහන නොකඩවා දැල්වේ. බැතිමතුන් මෙම පහනට තෙල් වත් කිරීම අනිවාර්ය අංගයක් ලෙස සිදු කරන අතර, එයින් දිස් වන තම ප්‍රතිරූපය බැලීම ද සිදු කරයි. බැතිමතුන් විශ්වාස කරන්නේ එම තෙල් තුලින් තම මුහුණ දිස් වීම සෞභාග්‍යය උදාවන බවට අනාවැකියක් බවයි.
දරුවන් නොමැති දෙමව්පියන් දරු සම්පත් ලැබීමටත්, අධ්‍යාපන ජයග්‍රහණ සහ විවාහය ඉක්මනින් සිදු කර ගැනීමටත් බැතිමත්හු මෙහි පැමිණ පුද පූජා තබා ප්‍රාර්ථනා කරති. පවුලේ සියළු දෙනාම එකට එක්ව ‘සියළුම හින්දු දෙවිවරුන්’ වෙනුවෙන් පවත්වනු ලබන පූජාව සියළුම දෝෂ සහ අපල දුරු කිරීම පිණිස සිදු කරනු ලබයි. මෙම පූජාව සිදු කිරීමේදී තල, හකුරු, මුං ඇට, කරදමුංගු ආදිය මිශ්‍රකර සකසනු ලබන ‘කජ්ජාය ප්‍රසාදම්’ ලෙසින් හඳුන්වන විශේෂ ප්‍රසාද වර්ගයක් බැතිමතුන් අතර බෙදා දෙනු ලබයි. මරණ බිය නොමැතිව ජීවත් වීමටත්, අනපේක්ෂිත රෝග පීඩා වලින් ආරක්ෂා වීමටත් ශිව සහ පාර්වතී යන දෙදෙනා වෙනුවෙන්ම රුද්‍ර අභිෂේකය නමින් හඳුන්වන විශේෂ ක්ෂීරාභිෂේකයක් ද මෙම දෙවොලේ සිදු කරනු ලබයි.

රාවණාට ලංකාවට ගෙන ඒමට නොහැකි වූ ශිව ලිංගයේ ඉතිහාස කතාව
පුරාණ හින්දු සාහිත්‍යයේ සඳන් පරිදි, ශිව දෙවියන්ගේ නාමයෙන් දැඩි ව්‍රත සමාදන් වූ දෙවිවරුන්ට ශිව දෙවියන් විසින් අමරණීය තත්ත්වය ප්රදානය කරන ලදී. මේ පිළිබඳව ඇසූ දැඩි ශිව භක්තිකයෙකු වූ ලංකේෂ්වර මහා රාවණාටද අමරණීය වීමට අවැසි විය. ඒ අනුව රාවණාද ලංකාවේ සිට ශිව දෙවියන් විසූ කෛලාශයට ගොස් ශිව දෙවියන් වෙනුවෙන් දැඩි ව්රතයක් සමාදන් විය. එම ව්‍රතයේ සහ දැඩි ශිව භක්තියේ ප්‍රතිපලයක් ලෙස ශිව දෙවියන් මහා රාවණාට කැමති වරයක් ලබා දීමට එකඟ විය. ඒ අනුව රාවණා ශිව දෙවියන්ගෙන් පාර්වතී දේවිය තමාට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. රාවණාට දුන් පොරොන්දුව ඉටු කරනු වස් ශිව දෙවියන්ද පාර්වතී දේවිය රැගෙන යෑමට රාවණාට අවසර දෙන ලදී.
මෙය දුටු නාරද මුණි වරයා ශිව දෙවියන්ගේ ශුද්ධ වූ භාර්යාව තවත් අයෙකු විසින් රැගෙන යෑම නුසුදුසු හෙයින් මහා රාවණාගෙන් පාර්වතී දේවිය බේරා ගැනීමට රාවණා රැවටීමට බොරුවක් ගොතන්නේය. ඒ අනුව නාරද මුණිවරයා මහා රාවණාට පවසන්නේ ඔහු රැගෙන යන දේවිය සැබෑ පාර්වතී නොවන බවයි. සැබෑ පාර්වතී සිටින්නේ ඇගේ පියා වන පාතාලයේ රජුන් සමඟ බවද පවසන්නේ ය. එයට රැවටුණු රාවණා පාතාලයට ගොස් ව්‍යාජ පාර්වතියක් සමඟ විවාහ වන්නේය. කෙසේ නමුත් නාරද විසින් තමා රැවටූ බව තේරුම් ගත් රාවණා නැවත වරක් ශිව දෙවියන් වෙනුවෙන් දැඩි ව්‍රත සමාද වන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස යළිත් වරක් ශිව දෙවියන් පැමිණ කැමති වරයක් ඉල්ලා සිටින මෙන් රාවණාට දන්වන්නේය.
මේ අවස්ථාවේ මහා රාවණා ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මහා බල සම්පන්න ප්‍රාණ ශිව ලිංගය තමාට ලබාදෙන ලෙසයි. ඒ අනුව ශිව දෙවියන් විසින් සිතූ පැතූ දේ කිරීමේ වරම් මෙන්ම අමරණීයත්වය ද ලබා දෙන ප්‍රාණ ශිව ලිංගය මහා රාවණාට ලබා දෙන්නේය. මෙය ලංකාවට රැගෙන යෑමට සූදානම් වූ මහා රාවණා හට ශිව දෙවියන් උපදෙසක් දෙන්නේය. එනම්, කිසිදු හේතුවක් මත මෙම ශිව ලිංගය බිම නොතබන ලෙසයි. මෙම ශිව ලිංගය කිසියම් අවස්ථාවක බිම තැබුවහොත් එය අයත් වන්නේ එම ස්ථානයට බවත් එය එම ස්ථානයෙන් ඉවත් නොකළ යුතු බවත් ශිව දෙවියන් තව දුරටත් පවසා සිටින්නේය. ඒ අනුව, ප්‍රාණ ශිව ලිංගය දෝතින් භාර ගන්නා මහා රාවණා ශිව දෙවියන් හමුවේ පවසා සිටින්නේ මෙම ලිංගය ලංකාවට රැගෙන ගොස් ප්‍රතිෂ්ඨාපනය කරන තුරු බිම නොතබන බවයි.

ඉතා බලවත් මහා රාවණා හට අමරණීයත්වය ලබා දෙන ප්‍රාණ ශිව ලිංගය ලැබුණහොත් එය මහා විනාශයකට මුල බව දැනගත් නාරද මුණි වරයා ඒ පිළිබඳව ගණ දෙවියන්ට සැල කර සිටියේය. ගණ දෙවියන්ගේ ගණ දෙවි නුවණට මේ සඳහා හොඳ සැලැස්මක් පහළ වන්නේය. ඒ අනුව ගණ දෙවියන්ද බ්‍රාහ්මණ දරුවකුගේ වේශයක් ගෙන මහා රාවණා හමුවට පැමිණෙන්නට තීරණය කරන්නේය.
මහා රාවණා ද ශිව දෙවියන්ගෙන් ප්‍රාණ ලිංගය ලබා ගෙන ලංකාවට ඒම පිණිස දකුණු දෙසට ගමන් කළේය. රාවණා ලංකාව බලා යන ගමනේදී මහා විෂ්ණු විසින් උපක්‍රමයකින් හිරුගේ ආලෝකය අඩු කර වේලාවට කලින්ම සන්ධ්‍යාවක් ඇති කළේය. සන්ධ්‍යා කාලයේදී මහා රාවණා විසින් දිනපතා ශිව දෙවියන්ට සන්ධ්‍යා කාල පූජාව තබන්නේය. හිරු බැස යෑම දුටු මහා රාවණාද සන්ධ්‍යා කාල පූජාව සිදු කරන්නේ කෙසේදැයි කල්පනා කරන අතරතුර දුටුවේ බ්‍රාහ්මණ දරුවෙකු ඒ අසලින් ගමන් කරන අයුරුයි. එම දරුවාට කතා කළ මහා රාවණා තමා මුහුදු වෙරළට ගොස් පිරිසිදුවී පූජාව තබා අවසන් වනතුරු ශිව ලිංගය අතේ තබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. තවද කිසිදු හේතුවක් නොමැතිව එම ශිව ලිංගය බිම නොතබන ලෙසත් මහා රාවණා බ්‍රාහ්මණ දරුවාට තරයේ අවවාද කොට පූජා කටයුතු සඳහා පිටත්ව ගියේය.
බ්‍රාහ්මණ දරුවාගේ වේශයෙන් සිටි ගණ දෙවියන් මහා රාවණා පූජාව සඳහා පිටත්ව ගිය පසු ශිව ලිංගය බිම තබා අතුරුදහන් වූයේය. මහා රාවණා පැමිණ බලන විට ශිව ලිංගය බිම ස්ථාපනය කොට තිබෙනු දැකීමෙන් දැඩි ලෙස කෝපයට පත් වූයේය. ඒ අනුව තම දැත් 20 ම භාවිතාකොට ශිව ලිංගය ගලවා ගැනීමට කරන ලද උත්සාහයේදී ශිව ලිංගය කැබලි හතරකට කැඩී යන ලදී. ඉන් එක් කැබැල්ලක් මෙම කෝවිලේ ප්‍රධාන ශිව ලිංගය බවට පත්ව පුද පූජා සඳහා ස්ථාපනය කර ඇත. තවද මෙම ප්‍රාණ ශිව ලිංගය වසා තිබුණු රෙදි කඩ ද මෙම කෝවිලේ තිබේ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සබැඳි මෙම කෝවිල රාවණා ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙක් යා යුතුම ස්ථානයක් ලෙස හැඳින්විය හැක. තවද මෙම කෝවිලේ අපූර්ව සෞන්දර්යයද නෙත් සිත් පිනවන්නකි.