තිසංජා සදෙව්නි සුබසිංහ
ඇඳුම් අල්මාරිය යනු සෝදා පිරිසුදු කරගත් ඇඳුම් පැලඳුම් නැවත භාවිතයට ගන්නා තෙක් තැන්පත් කර තබනා ස්ථානයක් මිස ආහාර වර්ග ගබඩා කිරීමට භාවිතා කරන ස්ථානයක් නොවන වග අප දනිමු. හාල් තැබීමට සුදුසුම ස්ථානය මුළුතැන් ගෙයයි. නමුත් අපගේ ඇඳුම් අල්මාරියේ හාල් තැබුවහොත් කුමක් සිදුවේද? ඇඳුම් අල්මාරියේ හාල් තැබුවොත් සිදුවන්නේ කුමක්දැයි මෙම ලිපියෙන් විස්තර කෙරේ.
ඔබගේ ජංගම දුරකතනය වතුරට වැටුණහොත් හෝ එයට වතුර ඉසුණහොත් ඔබ කරන්නේ එය ටිෂූ කඩදාසියකින් හෝ රෙදිකඩකින් පිස දැමීම විය හැකියි. නමුත් ඔබ එය හාල් දැමූ භාජනයකට දමන්නේ නම් ජංගම දුරකතනයේ ඇතුලට කාන්දු වූ ජලය තිබේ නම් එයද හාල් මඟින් අවශෝෂණය කර ගනී. ඒ හාල් සතුව ඇති ජලය ඉක්මනින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව නිසාය. හාල් ගෝනියක් තෙතමනය ඇති ස්ථානයක තැබුවහොත් ඉක්මනින් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වේ.
ඔබේ ඇඳුම් අල්මාරියේද සහල් පිරවූ භාජනයක් තැබීමෙන් ඔබේ ඇඳුම්වල ඇති තෙතමනය ඉවත් වී ඇඳුම් වියළිව තබා ගැනීමට උපකාර කරගත හැක. සමහර නිවෙස්වල පරිසරය ඉහළ ආර්ද්‍රතාවයකින් යුක්ත වන අතර මේ හේතුවෙන් වියළා ගත් ඇඳුම්වලට වුවද පසුව තෙත් ගතියක් ලැබිය හැක. සමහරවිට සෝදා ගත් ඇඳුම් නිසියාකාරයෙන් වියළී නොමැතිනම් එම ඇඳුම් අල්මාරියේ තැබූ විට දුර්ගන්ධයක් නිකුත් වීමට පුළුවන. තවද මෙය ඇඳුම්වල පුස් ඇති වීමටද හේතුවක් විය හැක.
පරිසරයේ ආර්ද්‍රතාවය හෙවත් පවතින ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ යන විට නිතැතින්ම දුර්ගන්ධයක් නිකුත් වීම සිදුවේ. හාල් මඟින් පරිසරයේ තෙතමනය උරා ගන්නා හෙයින් නිරතුරුවම නිවෙසේ කාමරය හෝ ඇඳුම් අල්මාරිය වියළිව තබා ගත හැක. වියළි ස්ථානයකින් පුස් ගඳ හෝ තෙතමනය නිසා ඇතිවන ගන්ධයන් නිකුත් නොවේ. එම හාල් වලටම සුවඳවත් තෙල් බිංදු කිහිපයක් එක් කළ හැකි නම් එම හාල් භාජනය එයා ෆ්රෙශ්නර් එකක් ලෙසද කිර්යා කරයි.
ලංකාවේ බොහෝ දෙනෙක් ඇඳුම් අල්මාරිය තුල ඉතා සැර සුගන්ධයක් සහිත කපුරු බෝල තබනු ලබයි. මෙනිසා ඇඳුම් ඇඳීමෙන් පසුවද එම සැර සුගන්ධය නිකුත් වීම සිදුවේ. බොහෝ දෙනෙක් මෙම සුවඳට අකැමැති විය හැක. තවද, කපුරු බෝලවල ඇති රසායන පිළිකාකාරකයක් බවද සොයා ගෙන ඇත. එයටම සුදුසුම ප්රතිකර්මය ලැවැන්ඩර් හෝ වෙනත් සුගන්ධවත් තෙල් ඉසගත් සහල් භාජනයක් ඇඳුම් අල්මාරියේ තැබීමයි. එයින් ඇඳුම් සුගන්ධවත් වී වියළිව තබයි. මෙය ඇඳුම් වලට මෙන්ම ශරීරයටද කිසිදු හානියක් නොකරන ස්වාභාවික පිළියමකි.
සහල් භාජනයක් වෙනුවට සිල්ක් සාරි කැබැල්ලකට සහල් දමා, සුවඳ තෙල් ඉස, ගැට ගසා ඇඳුම් අල්මාරියේ තැබීම වඩාත් සුදුසුය.
