ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නේ ගෝදම්බ රොටී භාවිතයෙන් සකසන කොත්තු වර්ගයයි. මෙය අප රටටම ආවේණික වූ විශේෂ කෑම වර්ගයක් ලෙස සැලකිය හැකි පමණටම එය ලොකු කුඩා කා අතරත් ජනප්‍රියය. නගරබද වෙසෙන, නිතරම ආපනශාලා වලින් ආහාර ගන්නා බොහෝ දෙනෙකුට කොත්තු යනු ජාතික ආහාරයක් තරමටම සමීප වූ කෑම වර්ගයකි. ගෝදම්බ රොටී හැරුණුකොට ඉඳි ආප්ප භාවිතයෙන් සකසන කොත්තුද ජනප්‍රියය. ඊට අමතරව, පිට්ටු භාවිතයෙන්ද කොත්තු සාදා ගත හැකි නමුත් ආපන ශාලාවල පිට්ටු කොත්තු මිලදී ගැනීමට තිබේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. පිට්ටු මෙන්ම පිට්ටු කොත්තු සඳහාද ප්‍රියතාවයක් දක්වන්නේ නම් ඔබට ඉතා පහසුවෙන් අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතයෙන් නිවසේදීම පිට්ටු කොත්තු සකසා ගැනීම හැකියාව තිබේ.
මේ සඳහා පෙර දින ආහාරයට ගෙන ඉතිරි වූ පිට්ටු භාවිතා කළ හැක. ආහාර අපතේ නොයවා ඉතිරිවන ආහාර වෙනස්ම ආකාරයකින් සකසා නැවත පරිභෝජනයට ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ. සිරුරේ බර අඩු කර ගැනීමට වෙහෙසෙන බොහෝ දෙනෙක් එළවලු තම්බා ආහාරයට ගැනීමට පුරුදුව සිටියි. එසේ තම්බා ගනු ලබන එළවලු සියල්ලම ආහාරයට ගැනීමට එක් වරකට නොහැකි වුවහොත් ඒවා ද ශීතකරණයක තබා මෙම පිට්ටු කොත්තු සඳහා භාවිත කළ හැක. සිරුරේ බර පිළිබඳව සැලකිලිමත් වන්නේ නම් මෙම පිට්ටු සඳහා වැඩි එළවලු ප්‍රමාණයක් එක්කර ගත හැක. තම්බා ගත් එළවලු හැර මේ සඳහා නැවුම් එළවලු ද භාවිත කළ හැක.
මේ සඳහා ඔබ කැමති නම් මාමයිට් එක්කර ගත හැක. මාමයිට් එක්කර ගත් විට මෙම පිට්ටු කොත්තුව තවත් රසවත් වේ. නමුත් මාමයිට් රසයට අකැමැති පිරිසක්ද සිටියි. මාමයිට් එක් නොකොට සාමාන්‍ය කොත්තු සකසන ආකාරයටද පිට්ටු කොත්තු සකසා ගත හැක.
පෙර දින ආහාරයට ගෙන ඉතිරි වූ පිට්ටු මේ සඳහා භාවිත කරන්නේ නම්, එය ශීතකරණයෙන් පිටතට ගෙන ස්ටීමරයක් ආධාරයෙන් නැවත තම්බා ගත යුතුය. එවිට නැවුම් පිට්ටු මෙන් පිට්ටු කොත්තුවට රසයක් ලබා දේ. මෙම පිට්ටු කොත්තුව එළවලු පමණක් භාවිතාකොට සකසා ඇති අතර අව්ශ්ය නම් මේ සඳහා බැදගත් කුකුල්මස් ද එක්කර ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
පිට්ටු කෝප්පයක්
ලොකු නිවිති කොළ කිහිපයක්
කැරට් අලයක්
බැදගත් අර්තාපල්
බෝංචි
ඉදුණු තක්කාලි ගෙඩියක්
රතු ළූණු ගෙඩි 3ක්
ඉඟුරු කුඩා කැබැල්ලක්
සුදු ළූණු බිකක්
පොල් තෙල් තේ හැඳි 2ක්
මාමයිට් තේ හැන්දක්
අමු මිරිස් කරලක්
ලුණු

සාදාගන්නා ක්‍රමය
ඉඟුරු සහ සුදු ළූණු සිහින්ව තලා ගන්න. ළූණු සහ අමු මිරිස් ඇතුළුව එළවලු තරමක ප්‍රමාණයට කපා ගන්න. භාජනයක් ලිප තබා එයට පොල්තෙල් දමා මඳ ගින්නේ රත්වන්නට ඉඩ හරින්න. තෙල් රත් වීගෙන එන විට එයට සිහින්ව තලාගත් ඉඟුරු සහ සුදු ළූණු එක්කරන්න. ඉන්පසු අමු මිරිස් සහ ළූණු ද එක් කර හොඳින් හැඳිගාන්න. මෙයටම තක්කාලි ද දමා විනාඩි කිහිපයක් බැදෙන්නට ඉඩ හරින්න.

දැන් මෙයට කැරට්, බෝංචි සහ නිවිති ද එක්කර හොඳින් කලවම් කරන්න. විනාඩි 2-3ක් බැදෙන්නට ඉඩ හරින්න. මෙයට ලුණු සවල්පයක් එක් කරන්න. ඉන් පසු මාමයිට් දමා හැන්දකින් හොඳින් කලවම් කරන්න. විනාඩියක් පමණ තිබෙන්නට හැර පිට්ටු එක් කර ගන්න. එයද විනාඩියක් හෝ දෙකක් හැන්දකින් හැඳිගාමින් බැදෙන්නට හරින්න. බැදගත් අර්තාපල් කැබලි එක්කර ගන්න. අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කර ගන්න.
උණුසුම්ව මේසයට පිළිගන්වන්න. පෙරදින ඉතිරි වූ පිට්ටු ඉවත නොදමා රසවත් කොත්තුවක් ලෙස ආහාරයට ගත හැක.