අවිනාශ් මල්හාර
අද (පෙබරවාරි 3) ලෝක වනජීවී දිනයයි.
මෙම වසරේ වනජීවී දිනයේ විශේෂත්වය වනුයේ මේ වන විට ලොව පුරා පැතිරී යන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුළු රටවල් බොහෝමයක මේ වන විට මස් පිණිස දඩයම් කරනු ලබන වනජීවීන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත බැස තිබීමයි. අප්‍රිකාවට අමතරව නීති විරෝධී වනජීවී ජාවාරම බහුලව සිදුවන රටක් වනුයේ චීනයයි.
කොරෝනා වෛරසය පැතිරීමට වනසත්ත්ව මාංශ අනුභවය හේතු වීම නිසා ලොව පුරා ජනතාව මාරාන්තික වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා වාණිජ පරමාර්ථය සඳහාම ඇති කරනු ලබන සතුන්ගේ මාංශ වර්ග පමණක් ආහාරයට ගැනීමට පෙළඹීම නිසා අවම වශයෙන් 2020 වසරේ ආරම්භක මාස 2 දී නීති විරෝධී වන සත්ත්ව දඩයම මෙන්ම ජාවාරම ද සැලකිය යුතු මට්ටමකින් පහත බැස තිබීම සතුටුදායක ආරංචියකි. නමුත් ලොව පුරා 90,000 කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, 3000 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇත. තවද, ලෝකයේ රටවල් 80කට මෙම වෛරසයේ බලපෑම ඇතිවී තිබේ. මෙය කණගාටුදායක තත්ත්වයකි.
කොරෝනා වෛරසය පැතිරීමට හේතු වී ඇත්තේ වවුලන් සහ නාගයන් බව මුලින් මත පළ කෙරුණද, නවතම පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත්තේ එය කබල්ලෑවන්ගෙන් මිනිසාට සම්ප්‍රේශණය වූ බවයි. දකුණු චීනයේ කෘෂිකර්ම විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයින් දෙදෙනෙකු විසින් මෙම සොයාගැනීම සිදු කළද, එහි නිගමන තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.
කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරී යාමත් සමඟම චීන රජය විසින් පසුගියදා එරට නීති විරෝධී වනජීවි වෙළෙඳාම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. ඒ අනුව සජීවි සතුන් කූඩුකොට පන පිටින් සිටියදීම පිසිනු ලබන අවන්හල් මෙන්ම වනසත්ත්ව මාංශ වෙළෙඳාම් කරනු ලබන වෙළෙඳසැල් ද නිරෝධායනය කොට සීල් තබන ලදී. චීන මාධ්‍ය ආයතනයක් ප්‍රකාශයට පත් කළේ චීන රජය මෙම තහනම ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රමාණයටත් අධිකව සහ ඉතා ගිජු ලෙස චීන ජනතාව වනසත්ත්ව මාංශ පරිභෝජනය කිරීම වැළැක්වීමත් එමඟින් චීන ජනතාවගේ ජීවිත බේරා ගැනීමත් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන බවය.
මින් පෙරද, චීන රජය කිහිප වරක්ම වනසත්ත්ව මාංශ වෙළෙඳාම මෙන්ම පරිභෝජනයද තහනම් කරන ලදී. චීනයේ සහ හොංකොං නගරයේ 2002-2003 වසරවල පැතිරුණ සාර්ස් වෛරසය හේතු කොට ගෙන වරක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක විය. එම වෛරසයෙන් ජීවිත සිය ගණනක් අහිමි වූවද, වෛරසයේ බලපෑම පහව යෑමෙන් පසුව නැවතත් චීන ජනතාව වන සත්ත්ව පරිභෝජනය ආරම්භ කළහ.
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟම චීන රජය විසින් නීති විරෝධී වනජීවී වෙළෙඳාමට පනවා ඇති තහනම මෙම අවදානම අවම වීමෙන් පසු යළිත් ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් තවත් වසර කිහිපයකින් මීට වඩා කිහිප ගුණයක විනාශයක් සිදු වන රෝග මෙන්ම දරුණු පාරිසරික ගැටළුද උද්ගත වීම නොවැළැක්විය හැකිය. එහෙයින් චීන රජය පැනවූ තහනම නීතිගත කිරීමට කටයුතු කිරීම නුවණට හුරුය.
ලොව අනෙකුත් රටවල් හා සැසඳීමේදී තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂ අධික ලෙස පරිභෝජනය කරනු ලබන්නේ චීනයේය. යම් හෙයකින් කොරෝනා වෛරසය මෙතරම් දරුණු ලෙස චීනයට බල නොපෑවේ නම්, ඔවුන්ගේ අධික සහ තෝරා බේරා ගැනීමකින් තොරව සිදුවන මාංශ පරිභෝජනය තවත් ඉහළ යනු ඇත. තවත් කාලයක් චීන ජනතාව මෙසේ වනසතුන් ආහාරයට ගැනීමේ පුරුද්ද පැවතියහොත්, එරට වන සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පෑම නොවැළැක්විය හැක. මෙය චීනයේ ජෛව විවිධත්වයට අහිතකර අන්දමින් බලපාන බැව් පැහැදිළිය. චීනයේ ක්‍රියාත්මකවන දේශීය සහ අන්තර්ජාතික වනජීවී සංරක්ෂණ ආයතන මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් කාලෝචිතය.
ඒ මන්ද යත් වන සතුන් ආහාරයට ගැනීම නිසා ඇති වී තිබෙන අහිතකර බලපෑම මේ වන විට චීන ජනතාවට මෙන්ම රජයට ද අවබෝධ වී ඇති නිසාය. පසුගිය කාලය පුරා ඉවක් බවක් නොමැතිව පරිසර පද්ධතියේ සමතුලිත බවට හානි කරමින්, ජෛව විවිධත්වය වනසමින් චීනයේ නීත්‍යානුකූලව මෙන්ම නීති විරෝධීවද ආහාරය පිණිස මෙන්ම ඖෂධ සඳහාද සිදු වූ වනසත්ත්ව විනාශය හේතුවෙන් අද වන විට මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි වී ඇත. එපමණක් නොව, ජනතාව රෝගී වීම, ආර්ථිකය කඩා වැටීම, ජන ජීවිතය අඩාලවීම, පරිපාලන යාන්ත්‍රණය බිඳ වැටීම ආදියද මෙහි ප්‍රතිපලය. පර්යේෂණ මඟින් සොයා ගෙන ඇති ආකාරයට සර්පයින්, වවුලන්, කබල්ලෑවන් ඇතුළු වනජීවීන්ගෙන් මිනිසාට මාරාන්තික වෛරස සම්ප්‍රේෂණය වේ.
එම සතුන්ට අමතරව, ගෘහාශ්‍රිතව මෙන්ම වනයේ ද ජීවත්වන පන ඇති ඕනෑම සතෙක් ආහාරයට ගැනීමට චීන ජාතිකයෝ පුරුදුව සිටියහ. වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලාවත් චීන රජය වනජීවී වෙළෙඳාමට පනවා ඇති තහනම නීතිගත කරන්නේ නම් එය චීනයේ පමණක් නොව සමස්ත ලෝකයේම යහපත පිණිස ගන්නා ක්‍රියාමර්ගයක් වේ. චීන ජනතාවගේ අපරික්ෂාකාරී සහ අවිධිමත් ජීවන රටාව හේතුවෙන් ඔවුණට වැළඳුණු කොරෝනා වෛරසය අද වන විට රටවල් ගණනාවකට පැතිරී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාවද විශාලය. එහෙයින් ලෝක ජනතාවටද චීන රජය වෙත බලපෑම කිරීමේ අයිතියක් ඇත්තේ ඔවුන්ගේ අපරික්ෂාකාරී ජීවන රටාව හේතුවෙන් ලෝක වාසීනටද අර්බුදයකට මුහුණ දීමට සිදු වී ඇති නිසාය.

චීන ජාතිකයින් මෙන්ම සකල ලෝක වාසීන්ම වර්තමානයේ පැතිරී යන කොරෝනා වෛරසයෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. එනම් වනසතුන් ආහාරයට ගැනීම මෙන්ම වනසත්ත්ව කොටස් භාවිතයෙන් නිපදවනු ලබන ඖෂධ හාවිතය මගින්ද මිනිසාට රෝග බෝවිය හැකි බවයි. එහෙයින් වනසතුන් දඩයම්කර සකසන ආහාර, ඖෂධ මෙන්ම බඩු භාණ්ඩ ද වර්ජනය කිරීමට කාලය එළඹ ඇත. මෙය පරිසරයට මිනිසා විසින් සිදු කරනු ලබන මිලකළ නොහැකි උපකාරයක් වන අතර, මිනිසාගේ පැවැත්මට එමඟින් ඇතිවන්නේ ද සාධනීය බලපෑමකි. පරිසර පද්ධතියේ සමතුලිත භාවය බිඳෙන අයුරින් සිදු කරන ලද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් අහිතකර ප්‍රතිපල හේතුවෙන් වර්තමානයේ සමස්ථ ලෝකයම සිටින්නේ දැඩි අවදානමකය. වනජීවී ජාවාරමට තිත තැබීමට කාලය පැමිණ ඇත. මේ සඳහා සියළු දෙනාම පෙළ ගැසිය යුතුය. නො එසේ නම් වර්තමානයේ සමස්ත ලෝකයේම ඇතිවී තිබෙන මෙවන් හදිසි තත්තව යළියළිත ඇති වීමට ඉඩකඩ බොහෝ ඇත. ඉවක්බවක් නැති වනජීවී විනාශයට සොබා දහම ලබා දුන් දඬුවම් කොරෝනා වෛරසයයි. සොබා දහමේ භාෂාව ඉගෙන ගැනීම අපහසු නැත. එම භාෂාව නොදැන කටයුතු කළහොත් සොබා දහම විසින් දෙනු ලබන දඬුවම් ද ලිහිල් නැත.