රින්පොචේ ජන්චුප් චෝදන්
අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. අද පොහෝ දිනයේ කුවේණි ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වූයේ ටිබෙට් භික්ෂූන් වහන්සේ නමක් වන රින්පොචේ ශර්ත්සේ කෙන්සූර් ජන්චුප් චෝදන් හිමියන්ය. ටිබෙට් බුදු දහම පිළිබඳ හසල දැනුමක් සහිත විද්වත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් වන උන්වහන්සේ සමාජ සේවා කටයුතු සඳහා ද සක්‍රීයව දායක වන්නේය. උන් වහන්සේ ගෙලුක් අන්තර්ජාතික පදනමේ විධායක අධ්යක්ෂ ධුරයද,ආසියානු බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරයද, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ උප ලේකම් ධුරයද දරන්නේය.
රින්පොචේ ජන්චුප් චෝදන් ස්වාමීන් වහන්සේ සමඟ මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වූයේ කුවේණි වෙබ් අඩවිය වෙනුවෙන් පංචමී හේවාවිසෙන්ති ය.
එම ධර්ම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විවිධ රටවල සමාජ, දේශපාලනික සහ භූගෝලීය සාධක මත යම් යම් වෙනස්කම් වලට භාජනය වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, නිර්මල බුදු දහම ථේරවාද, මහායාන සහ වජ්රයාන ලෙස වර්තමානයේ බෙදී පවතිනවා. ශ්‍රී ලංකාව ථේරවාද බෞද්ධ රටක් වන අතර ටිබෙටය වජ්රයාන බුදු දහම අදහන රටක්. ඔබ වහන්සේ ටිබෙට් ජාතික භික්ෂූන් වහන්සේ නමක් විදියට අපට ටිබෙට් බුදු දහම හෙවත් වජ්රයාන බුදු දහම පිළිබඳව හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
ටිබෙටයේ අදහන බුදු දහම වජ්රයාන කියලා කියන්න අපහසුයි. එය වජ්රයානයේ කොටසක් ලෙසයි හඳුන්වන්න පුලුවන්. ටිබෙට් බුදු දහම කියන්නේ මහායාන බුදු දහම, තාන්ත්‍රික, ශාමන්තික ඇදහිලි විශ්වාස සහ ටිබෙටයේ ඉපැරණි බොන් ආගමේද කොටස් සංකලනය වී නිර්මාණය වූ ධර්මයක්. මාධ්‍යමික සහ යෝග ආදි දර්ශන, සලකුණු මතපදනම් වූ තාන්ත්‍රික ඇදහිළි, ථේරවාදයේ සඳහන් ආරණ්‍ය සම්ප්රදාය, ඉපැරණි ටිබෙට් බොන් දහමේ පවතින ශාමන්තික ලක්ෂණවලින් සමන්විත ධර්මයක් තමයි අපි ටිබෙට් බුදු දහම කියලා හඳුන්වන්නේ. ඒ බුදු දහම ඔබ ශ්‍රී ලංකාවේ අදහන බුදු දහමට වඩා බොහෝ වෙනස්කම් සහිත ධර්මයක්.
ටිබෙට් බුදු දහමේ තිබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වෙන්නේ අපේ ආධ්‍යාත්මික නායකයා වන දලෙයි ලාමා සහ අපි අදහනු ලබන දෙවිවරුන්. දලෙයි ලාමා ටිබෙට් විශ්වාසයට අනුව බෝධිසත්වයෙකුගේ පුනරුප්පත්තියක්. අපේ වර්තමාන දලෙයි ලාමා වහන්සේත් බෝධිසත්ත්ව පුනරුප්පත්තියක් කියලායි අපි විශ්වාස කරන්නේ.
බුදු දහමේ ආරක්ෂක දේවතාවන් පිරිසක් ඉන්නවා. ඒක ටිබෙට් බුදු දහමට විශේෂ වූ දෙයක්. ඒ වගේම බුදුවරු සහ බෝධි සත්ත්වයින්ද ඉන්නවා. ආර්ය බෝධි සත්ත්වයින්ට පුළුවන් සංසාර චක්‍රය කෙළවර කරලා නැවත ඉපදෙන්නේ නැතුව නිර්වාණය දක්වා යන්නට. නමුත් ඔවුන් එසේ කරන්නේ නෑ. ඔවුන් තෝරා ගන්නවා නැවත ඉපදීම. එමඟින් ඔවුන් මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට උදව් කරනවා බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්න. ධර්ම ආරක්ෂක කියලා කොටසක් ඉන්නවා එයාලගේ ස්වරූපය මිථ්‍යා කථා මත පදනම් වූ රූපයන්. හරියට හින්දු දහමේ ඉන්න දෙවිවරු වගේ. එයට පැහැදිළිවම ඉපැරණි ටිබෙට් බොන් දහමේ බලපෑම ලැබී තියෙනවා කියලා පෙනෙන්නට තිබෙනවා. මිථ්‍යා දේව චරිත ටිබෙට් බුදු දහමේ පමණයි දක්නට ලැබෙන්නේ.
ටිබෙට් බෞද්ධයිනුත් ථේරවාදී බෞද්ධයින් වගේම බුදුන් වහන්සේට මල්, පිඬු, පැන් පූජා කරනවා. වන්දනා ගමන් යනවා. ඒ වාගේම විශේෂ යාඥා ද සිදු කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම සැකසූ යාඥා චක්‍ර තිබෙනවා (Prayer Circle) පංසල්වලට ගිහින් පහන් පත්තු කරනවා. ඒ වගේම පංසල් වල ඉන්න හාමුදුරුවරුන්ට මුදල් දුන්නම උන් වහන්සේලා අපේ නමින් විශේෂයෙන් පහන් පූජා කරලා යාඥා කරනවා.
භාවනා සහ යෝග අභ්‍යාසත් ටිබෙට් බුදු දහමේ සුවිශේෂී අංගයන්. යෝග අභ්‍යාස හින්දු දහමෙන් ටිබෙට් බුදු දහමට ලැබුණු දෙයක්. මන්ත්‍ර සජ්ජායනය ථේරවාදී දහමේ දක්නට නොලැබෙන අංගයක්. අවලෝකේතීස්වර බෝධිසත්ත්වයින් සඳහා විශේෂ මන්ත්‍ර සජ්ජායනයක් සිදු කරනු ලබනවා. “ඕම් මනි පද්මේ හූම්” අවලෝකේතීස්වර මන්ත්‍රය. කොළ පැහැති තාරා දේවිය වන්දනා කිරීමටත් මන්ත්‍රයක් තිබෙනවා. “ඕම් තාරේ තුත්තාරේ තුරේ සෝහා”.
ටිබෙට් බෞද්ධයින් සතුව විශේෂ බෞද්ධ සංස්කෘතික අංග තිබෙනවා. වෙස් මුහුණු දමා, විචිත්‍ර ඇඳුම්වලින් සැරසී සිදු කරනු ලබන නැටුම්, ශුද්ධ වූ යාතිකා ගායනා, ලෙඩ රෝග සුව කිරීමට බෞද්ධ මන්ත්‍ර ගායනා කිරීම ආදිය විශේෂයි. තවද ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා සතුව සුවිශේෂී ආධ්‍යාත්මික බලයන් තිබෙනවා. ඒවා ඔවුන් ධ්‍යාන වැඩීමෙන් ලබා ගත් ඒවා. ඔවුන් සතුව රෝගීන් සුවපත් කිරීමේ හැකියාව පවතිනවා.
ටිබෙට් බුදු දහමේ ගුරුකුල හතරක් දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද ඔබ වහන්සේට?
න්යින්මාපා, කග්යූපා, සාක්යපා, ගෙලුග්පා යනුවෙන් ගුරුකුල හතරක් ටිබෙට් බුදු දහමේ දක්නට ලැබෙනවා. න්යින්මාපා ඉපැරණිම ගුරුකුලය. මෙම ගුරුකුලයේ ප්‍රධානත්වය හිමි වන්නේ දෙවන බුදු වරයා ලෙස හැඳින්වෙන පද්මස්චම්භව හටයි. මෙයට ඉපැරණි ටිබේටයේ තිබුණු ආගම වන බොන් ආගමේ බලපෑම වැඩිපුර ලැබිලා තිබෙනවා. මෙම ගුරුකුලයේ ස්වාමීන් වහන්සේලාට විවාහ වීමේ තහනමක් නෑ.
කග්යුපා ගුරුකුලය ටිබෙට් සෙන් බුදු දහම ලෙසත් හැඳින්වෙනවා. මෙයට යෝග ශාස්ත්රයේ බලපෑම වැඩිපුර ලැබිලා තියෙනවා. සාක්යපා ආරණ්‍යයෙන් සම්භවය ලැබූ ගුරුකුලය ඒ නමින් හඳුන්වනවා. වර්තමානයේ ටිබේට බෞද්ධයින් බොහෝ දෙනෙකු අයත් වන්නේ ගෙලුග්පා ගුරු කුලයට. මෙම ගුරුකුලයට අනුව බෞද්ධ භික්ෂූන්ට විවාහ වීමට ඉඩක් ලැබෙන්නේ නෑ. එමෙන්ම මත්පැන් සහ මාංශ අනුභවයට ද මෙහිදී සීමා පනවා තිබෙනවා. ටිබේටයේ දක්නට ලැබෙන අභිචාර විධි ද ඉතා සීමා සහිතව මෙම ගුරුකුලයට ඇතුලත් කරලා තියෙනවා. මෙම ගුරුකුලයේ විශ්වාසය අනුව සෑම පුද්ගලයෙක් තුලම බෝධිසත්ත්වවරයෙකු ඉන්නවා. එම බෝධිසත්ත්වවරයා අවධිකර ගැනීමට භාවනා වැඩිය යුතු බව සඳහන් වෙනවා. දලෙයි ලාමාවරු අයත් වන්නේත් මෙම ගුරු කුලයටයි.
ටිබෙට් බුදු දහමේ බෝධිසත්ව අවලෝකේතීස්වර දෙවියන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එම දෙවියන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද ඔබ වහන්සේට?
මහා කාරුණික බෝධිසත්ත්වයන් වහන්සේ වන අවලෝකේතීස්වර ටිබෙට්වරුන්ගේ ප්‍රධාන දෙවිවරයා ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම දෙවියන්ට විවිධාකාරයෙන් පුනරුප්පත්තිය ලැබීමේ හැකියාව තිබෙනවා. දෙව් ලොව සිට මනු ලොවට මෙම බෝධිසත්ත්වයන් වහන්සේ පැමිණෙන්නේ දලායි ලාමා ලෙසයි. එසේ පැමිණ ලොව වෙසෙන සියළුම සත්ත්වයින් සසර දුකින් මුදා ගැනීමට උපකාර කරනවා. තමා පමණක් උතුම් බුද්ධත්වයට පත්වී සසර කෙළවර කර ගැනීම වෙනුවට මෙම බෝධිසත්ත්වයන් වහන්සේ සතු පරාර්ථකාමී ගුණය තමයි සකල ලෝ වැසියන්ටම බුද්ධත්වයට පත් වීමට උපකාර කර අවසන නිවන් දැකීම. ලෝ වැසියන් සසර දුකින් ගලවා ගැනීම අවලෝකේතීස්වර බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්‍රධාන පරාර්ථකාමී සේවයයි.බෝධිසත්ත්වයෙකු මේ ලෝකයට පැමිණෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මිනිස් ආත්මයක්, ඉතා කලාතුරකින් සතෙකුගේ ආත්මයක් හෝ දේව ආත්මයක් ලෙස. ඒ කොයි ලෙසකින් පැමිණියත් බෝධිසත්ත්වයන් වහන්සේගේ වගකීම ලෝ වාසීන් සසර දුකින් මුදවා ගැනීම. ඔවුන් බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන්නේ සෑම විටම ලෝ වැසියන්ගේ යහපත උදෙසා කටයුතු කරන අතරතුර.
බෝධිසත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා යන ගමනේදී පහත සඳහන් ආධ්‍යාත්මික සුදුසුකම් සපුරාලිය යුතුයි. ඒවා ථේරවාද බුද්ධ ධර්මයේ එන පාරමිතාවලට සමානයි. දානය, ඉවසීම, වීර්යය, ධාරණය,ඥානය, කුසල් කිරීම ආදිය. ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබට අවලෝකේතීස්වර බෝධිසත්ත්වයින් වහන්සේ අළුත් දෙයක් නොවෙන්නට පුළුවන්. ඔබ දැකලා ඇති ඔටුන්නක් දමාගෙන ආභරණ පැළඳගත් උඩුකය නිරුවත් අවලෝකේතීස්වර බෝධිසත්ත්වයන් වහන්සේගේ පිංතූර සහ ප්‍රතිමා.
අවලෝකේතීස්වර කියන්නේ එක් බෝධිසත්ත්ව වරයෙකු පමණයි.
ටිබෙට් බෞද්ධයින් අදහන බෝධිසත්ත්වයින් අතර රෞද්‍ර බෝධිසත්ත්වයිනුත් දක්නට ලැබෙනවා නේද?
ඔව් සෞම්‍ය සහ රෞද්‍ර බෝධිසත්ත්වවරුන් පිළිබඳව ටිබෙට් බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා. එය ප්‍රධාන වශයෙන්ම භක්තිකයාගේ ක්‍රියාකලාපය මත පදනම්ව සිදු වන දෙයක්. ආධ්‍යාත්මික සුවය සොයා යන, පරහිතකාමී අදහස් සහිත කිසිවෙකුටත් හානියක් නොකරන පුද්ගලින් හමුවට මෙම බෝධිසත්ත්වවරුන් පැමිණෙන්නේ ඉතාමත් ශාන්ත සහ කරුණාබර ස්වරූපයකින්. හිංසාකාරී දුර්ජනයින් හමුවට පැමිණෙන බෝධිසත්ත්වවරුන් ඉතා රෞද්‍ර ස්වභාවයක් ගන්නවා. එම රෞද්‍ර ස්වභාවය මඟින් අයහපත් ගතිගුණ සහිත භක්තිකයෙකු දමනය කර ඔහු ධර්ම මාර්ගයේ පිහිටුවීමට මෙම රෞද්‍ර බෝධිසත්ත්වවරු කටයුතු කරනවා. එය මෙසේත් හැඳින්විය හැකියි. බෞද්ධ භාවනා සහ ධ්‍යානයන්ගේ යෙදී සිටින භක්තිකයෙකුගේ ක්ලේශ නැසීමට මෙම බෝධිසත්ත්ව වරු රෞද්‍ර ස්වරූපයකින් පැමිණේ. ඔවුන්ගේ රෞද්‍ර ස්වභාවය පෙන්වන්නේ ක්ලේශයන්ට වන අතර රෞද්‍ර ස්වරූපයෙන් සිට විනාශකර දමන්නේ ක්ලේශයන්ය.
මෙම රෞද්‍ර බෝධිසත්ත්වවරුන් පිළිබඳ සංකල්පය ටිබෙට් බුදු දහමට පැමිණෙන්නේ හින්දු වේද ග්‍රන්ථවල ආශ්රයෙන්. අචල, ත්රෛලෝක්යවිජය, කුණ්ඩලී, යමණ්ඨක, වජ්රපානි එවන් රෞද්‍ර බෝධිසත්ත්වවරුන්. නමුත් මේ සියළුම බෝධිසත්ත්වවරුන් සිදු කරන්නේ බුදු දහම ආරක්ෂා කිරීමයි.
තාරා දේවිය වන්දනා කිරීමත් ටිබෙට් බුදු දහමට විශේෂ වූ අංගයක් නේද?
තාරා දේවීන් දෙදෙනෙකු ටිබෙට් බුදු දහමේ අදහනු ලබනවා. ඒ කොළ සහ සුදු තාරා දේවීන්ය. මෙම දේවතාවියන් හඳුන්වන්නේ කරුණාවේ සහ ඥානයේ දේවතාවියන් ලෙසයි. ටිබෙට් බෞද්ධයින් මෙම තාරා දේවීන්ගේ ප්‍රතිමා සහ පිංතූරවලට වන්දනාමාන කරනු ලබනවා. ඒ දීර්ඝායුෂ සහ ආරාක්ෂාව සඳහාත් ඥානය සහ පිං ලබා ගැනීම සඳහාත්.
මෙම තාරා දේවීන් වන්දනාවේ අභාශය ටිබේටයට ලැබුණේ නේපාලයෙන්.
දලෙයි ලාමා කියන්නේ බෝධිසත්ත්ව පුනරුප්පත්තියක්ද?
ඔව්. වර්තමානයේ ලෝක බෞද්ධයින්ට දෑසින් දැක ගන්නට පුළුවන් බෝධිසත්ත්වයන් වහන්සේ ලෙස වර්තමාන 14 වන දලෙයි ලාමා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේට ටිබෙට් බුදු දහමේ සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා.
ගෙලුග්පා ගුරුකුලයේ නායකත්වය හිමි වෙන්නේ දලෙයි ලාමාට. වර්ෂ 1642 සිට 1959 දක්වා ටිබෙටයේ වැඩ වාසය කරමින් ටිබෙටයේ නායකත්වය මෙන්ම ආධ්‍යාත්මික නායකත්වය හෙබවූවේත් දලෙයි ලාමාවරුන්. චීන රජය 1959 දී ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟම වර්තමාන දලෙයි ලාමා ටිබෙටයේ සිට ඉන්දියාවට රැකවරණ පතා පළා යනු ලැබුවා. වර්තමානයේ උන් වහන්සේ වැඩ වසන්නේ ඉන්දියාවේ ධරම්ශාලා ප්‍රදේශයේ. උන් වහන්සේ සමඟ ටිබෙටයේ සිට පළා ආ පිරිස් බොහෝ දෙනෙක්, මා ද ඇතුළුව ඉන්දියාවේ රැකවරණය ලබන ටිබෙට්වරුන් ලෙස ජීවත් වෙනවා.
වර්තමාන දලෙයි ලාමා වන ටෙන්සින් ග්යත්සෝ ටිබෙටයේ දහ හතරවන දලෙයි ලාමා වහන්සේ. උන් වහන්සේ මහා කාරුණික අවලෝකේතීස්වර බෝධිසත්ත්වයන් වහන්සේගේ පුනරුප්පත්තියක්.
