එම්. කේ. බණ්ඩාරවත්ත
සොරුන්, වංචා කාරයින් සහ දූෂිතයින්ට ප්‍රධාන පක්ෂ විසින් නාම යෝජනා ලබා දීමට එරෙහිව විශාල සමාජ විරෝධයක් හටගෙන ඇති අවස්ථාවක ජනතා මුදල් මංකොල්ල කෑමේ වරදට අධිකරණයේ නඩුවක් පවා ඇති ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඇගැයීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (8) සහභාගී වී සිටීම කාගේත් අවධානයට ලක් විය.
විනයගරුක රටක් යන තේමාව යටතේ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දූෂිතයින් රැකීමෙන් නොනැවතී සොරුන් ලෙස හංවඩු ගැසුණු, ජනතාව විසින් පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින්ගේ දූෂිත පාර්ලිමේන්තු කාලය ඇගැයීම, මෙතෙක් ගෝඨාභය ජනාධිපතිවරයාට හිමිව තිබූ ජනප්රසාදය අඩු වීමට හේතු වනබව නිසැකය.
පසුගිය කාලයේ අමාත්‍යවරුන් ලෙස නම් කිරීමට සුදුසු පුද්ගලයින් සිටියදී කඩොලාන විනාශ කොට පිට්ටනි සෑදීමට මූලිකත්වය ගත් සනත් නිශාන්ත සහ මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට සෘජුව සම්බන්ධ වී සිටින නිමල් ලංසා ඇතුළු පිරිසකට නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමද ජනතා අප්‍රසාදයට හේතු විය. තවද රාජ්‍ය සංස්ථා සහ අධිකාරීන්හි ඉහළ තනතුරුවලට ද හැඳුනුම්කම් මත නුසුදුස්සන් පත් කිරීමද ජනතා විශ්වාසය උපරිමයෙන් දිනාගත් ජනපතිවරයා විසින් සිදු කරන ලද අනුවණකම් ලෙස සඳහන් කළ හැක.
එමෙන්ම පරිසර සුරැකීම සඳහා පත්කර ඇති පරිසර ඇමති විල්පත්තුව විනාශ කරමින් කෝමාරිකා සිටුවන ව්‍යාපෘතියක් ආරම්භ කළද එය නතර කිරීමට ජනපතිවරයා කටයුතු කළේද නැත.
පසුගිය රජය සමයේ ආබාධිත රණවිරුන්ට නිසි සැලකිලි නොදැක්වූයේ යැයි ශෝක වූ පොදු ජන පෙරමුණේ සාමාජිකයින් රණ විරුවෙකු ජනපති වූ පසුව ද ඉල්ලීම් දිනා ගැනීමට සත්යග්රහ කළ ආබාධිත රණවිරුවන් එම ස්ථානයෙන් එළවා දැම්මේ සිත් පිත් නැති ආකාරයටය. එමෙන්ම සෑම රජයක්ම සිදු කළ වරදක් වන ගුරු උද්ඝෝෂණවලදී ගුරුවරුන්ට පහර දීම සහ කඳුළු ගෑස් පහර එල්ල කිරීම ජනතාවගේ විශ්වාසය දිනාගත් රජය යටතේද සිදු විය. රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදුව ද සඳහන් කළ යුතුය. ජීවන වියදම වෙන කවරදාටත් වඩා මෙම රජය යටතේ ඉහළ ගොස්ය. එළවලු මිල හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු මිලදී ගැනීම අඩු වීම නිසා අධික එළවලු ප්‍රමාණයක් වෙනදාට වඩා දෛනිකව අපතේ යෑම සිදු වේ.
රටේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ යැයි පාරම් බෑවද මෙම වසරේ මුල් කාර්තුවේ මෙරට වැඩිම ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රමාණය වාර්තා විය. මෙතරම් ශක්තිමත් බුද්ධි අංශයක් සහ ආරක්ෂක අංශයක් පවතින රජයක් යටතේ පසු ගිය දිනෙක අපචාරයට ලක් වූ බාල දැරියත් ඇයගේ දූෂකයාවත් සොයා ගැනීමට අපහසුවීම පුදුමයට කරුණකි. එයට දේශපාලනික හේතුවක් තිබීම මෙම පරීක්ෂණ යට ගැසීමට හේතු වී ඇති බවට මත පළ වේ. සමාජය නොපිළිගත් යම් කිසි මාර්ගයකින් මුදල් උපයා පොහොසත් වූ එම පුද්ගලයා පොදු ජන පෙරමුණේ සහ රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකි. තවද මැතිවරණයකට ඉදිරිපත්වීමේ අරමුණින් ඒ පුද්ගලයා වසර ගණනන් තිස්සේ සමාජයට පෙනෙන්නට සමාජ සත්කාර සිදු කරන පුද්ගලයෙකි. පසුගිය දිනෙක ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ හමුවීමට ගොස් තිබූ අතර එම ඡායාරූප සිය ෆේස් බුක් ගිණුමට දමා පෙන්නන්නට උත්සාහ කළේ “මොන ජඩ වැඩේ කළත් බේරා ගන්නට ලොක්කන් ඉන්නවා” කියාය.
බලයට පත් වීමට ප්‍රථම උතුරේ මහවිරු සැමරුම්වලට මුව හමට තලන්නාක් මෙන් තැලූ පොදු ජන පෙරමුණේ සාමාජිකයෝ මෙම රජය යටතේ උතුරේ මහවිරු දිනය සමරන අවස්ථාවේ නොදැක්කා සේ සිටියෝය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසා සිටියේ කොටි සැමරුම උතුරේ ජනතාවගේ අයිතියක් බවය. ඔහුගේ දිව දෙකේ කතාවට විශාල ජනතා අප්‍රසාදයක් හිමි විය.
ජාති වාදය අවුස්සා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාට පමණක් හිමි රටක් ය යන්න මැතිවරණ වේදිකාවල නූගත් ඡන්දදායකයා රැවටූ මෙම රජය ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් පැවසුවේ ” ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික රටක්” ය කියාය. මේ රජයේ දෙපිට කාට්ටුකම එයින්ම ඔප්පු වී හමාරය.
පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයද බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් පිරිසක් සහභාගී කරවා ගත් එම සංචාරය සිදු කරන ලද්දේ ජනතා බදු මුදල් විශාල ලෙස නාස්ති කරමිනි.
කොවිඩ් 19 ආසාදනය වූවා යැයි සැක කෙරෙන ශ්‍රී ලංකාවට විශාල ලෙස විදේශ විනිමය රැගෙන එන විදෙස් ශ්‍රමිකයින් නිරෝධායනයට එරෙහිව පූජ්‍ය පක්ෂය සහ ජනතාව උසි ගැන්වූවේ මෙම රජයේ වගකිවයුතු අමාත්‍ය ධුරයක් දරන නිමල් ලන්සාය. නිමල් ලන්සා අමාත්‍ය ධුරයට පත්කරන ලද්දේ ජනපතිවරයා විසිනි. අදටත් එම අමාත්‍යවරයාට එරෙහිව ජනපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ජනපතිවරයාත් එය අනුමත කරන නිසාදැයි නොදනිමු.
උපාධිධාරීන්ට රැකියා දීමට මෙම රජයට මතක් වුණේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියාට පසුවය. රටේ නීතියවත් හරියට නොදන්නා පිරිසක් රට කරන බව එයින්ම පැහැදිළිය. කෙසේ නමුත් පොදු ජන පෙරමුණේ සාමාජිකයින් එහි වරද විපක්ෂය මතත්, මැතිවරණ කොමසාරිස් මතත් පැටවීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවෙමින් සිටීම ජුගුප්සාජනකය.
බලයට පත් වූ පසු පැය විසිහතරෙන් රණ විරුවන් නිදහස් කරනවා යැයි මැතිවරණ වේදිකාවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු දුන්නද බලයට පත්වූ වහාම එය අමතක කර දැමීමට ජනපතිවරයා කටයුතු කළේය.
රජයට ගැති මාධ්‍ය විසින් පාස්කු ප්‍රහාරයේ බියකුරු බව සෑම මාසයකම ගෙනහැර පෑවද මෙම රජය බලයට පත්වූ පසුව පාස්කු ප්‍රහාරය ඉතා පහසුවෙන් අමතක කරන ලදී. එයට සම්බන්ධ කිසිම දේශපාලකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමෙන් පැහැදිළි වන්නේ ඔවුන් ඒවාට සම්බන්ධ නැති බවද යන්න ජනතාව නඟන ප්රශ්නයකි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තැන තැන පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරනවා අසන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සමයේ අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිව සිටින කාලයේ දැවැන්ත බැඳුම්කර වංචාවක් සිදු වුවද, එය වංචාවක් නොව පාඩුවක් බව පවසමින් සුදු හුණු ගෑවෝය. පසුගිය රජයේ බැඳුම්කර වංචාකරුවන්ටද දඬුවම් දීම ජනපතිවරණ වේදිකාවේ ඉහළින්ම කතා කළ මාතෘකාවක් වුවද මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරනතුරු සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු නොකළේ නොහැකියාව නිසාය. මෙතරම් ආරක්ෂාව තිබෙන රටේ බැඳුම්කර වංචාවට සම්බන්ධ පසුගිය රජයේ ප්රබලයෙකු වූ රවී කරුණානායක සොයා ගැනීමට නොහැකි වීම හාස්‍යයට කරුණකි.
දූෂිතයින්ට සහ නළු නිළියන්ට නාම යෝජනා නොදෙන්නේ යැයි ජනතාව රවටන ජනපතිවරයා රත්තරං යන අනවරත නාමයෙන් හඳුන්වන ජනතාව ප්‍රතික්ෂේප කරන දූෂිතයා අගය කරන්නේ ජනපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්ය. මේ අවස්ථාවේ ජනපතිවරයාට අවශ්‍යව ඇත්තේද ස්ත්‍රී දූෂකයින්, සොරුන්, වංචාකරුවන්, දූෂිතයින් වුවද කම් නැත මැතිවරණයට ඉදිරිපත්කොට තුනෙන් දෙක ලබා ගැනීමටය.
මේ වනවිටත් පොදු ජන පෙරමුණෙන් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීමට නළු නිළියන් කිහිප දෙනෙකු දැවැන්ත සූදානමකින් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයද සහිතවය.
විනයගරුක රටක් නිර්මාණය කිරීමටත් දූෂිතයින් එළවා දැමීමටත් ජනතාව විසින් පත්කරගන්නා ලද ජනපතිවරයා අද හොරුන් සහ දූෂිතයින් ඇගයීමට ලක් කිරීම ජනපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු කිරීමට සමත් ක්‍රියාවකි.
ඉතා දූෂිත, ජනතාව පිළිකුල් කරන ඇමතිවරයෙකු මෙන්ම මන්ත්රීවරයෙකුව ද සිටි රෝහිත අබේගුණවර්ධනගේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රකාශයට පත්කරන ලද පාර්ලිමේන්තු චරිතාපදානය එළි දැක්වීමේ උත්සවයට ජනපතිවරයා සහභාගී වීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ මෙසේය.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට විසිතුන් වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “තුන්විසි වසක මෙහෙවර අභිනන්දන” ඇගැයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කළුතර දී පැවැත්විණ. රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ගමන් මඟ අලලා ලියැවුණු කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. නැවක කපිතාන්වරයෙකුගේ දක්ෂතාවය හඳුනා ගැනීමට හැකිවන්නේ නිහඬ මුහුදක නොව චණ්ඩ මාරුත අවස්ථාවකදී ය. එලෙස රෝහිත අබේගුණවර්ධන මහතා ද පසුගිය වසර කිහිපයේදී විපක්ෂයේ සිට සිය කාර්යභාර්යය ඉටුකිරීමට කැපවූ දේශපාලකයන් කිහිපදෙනා අතර සිය නායකත්ව හැකියාව කියා පෑමට සමත් වූ අයෙකු බව උත්සව සභාව ඇමතූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පැවිදි අනුශාසනාව පැපිලියාන සුනේත්රාදේවී මහා පිරිවෙණේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සිදු කළහ. වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු ද උත්සව සභාව ඇමතූ හ. දේශපාලන පක්ෂ නායකයෝ, මැති ඇමතිවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
