පංචමී හේවාවිසෙන්ති
අපගේ අසල් වැසි භාරතයේ සමරනු ලබන අති උත්කර්ෂවත් මෙන්ම වර්ණවත් උත්සවයක් වනුයේ හෝලිය. මෙය ඉතා විනෝදාත්මක උත්සවයකි. තිරිඟු පිටි විවිධ වර්ණයන්ගෙන් වර්ණගන්වා ඒවා එකිනෙකා මත ඉසිමින් විනෝද වීම සිදු කරනු ලබයි. සැම වසරකම මාර්තු මාසයේ ආරම්භයේදී මෙම උත්සවය සමරනු ලබයි.
හෝලි උත්සවය සමරනු ලබන දිනයට පෙර දින සන්ධ්‍යාවේ හෝලිකා දහන් නමින් විශේෂ පූජාවක් සිදු කරනු ලබයි. හෝලිකා දහන් පූජාව සිදු කරනු ලබන්නේ නරක පරදවා හොඳ ජයගැනීම නිරූපණය කිරීමටය. මෙය චෝටී හෝලි එසේත් නැත්නම් කුඩා හෝලි ලෙසද හඳුන්වයි. හෝලිකා දහන් පූජාව සිදු කරනු ලබනුයේ හිරු බැස යාමත් සමඟය. එය සවස 6 න් පසුව පැමිණෙන නැකැත් වේලාවකදී සිදු කරනු ලබයි. ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙම නැකැත් වේලාවේ සුළු වෙනස්කම් පවතී. බොහෝ විට සවස 6ත් 6.45 ත් අතර කාලයකදී මෙම පූජාව ආරම්භකර රාත්‍රී 8.30 ත් 9 ත් අතර අවසන් කරනු ලබයි.
හෝලිකා දහන් පූජාවේ පුරාණ කථාව
පුරාතනයේ එක් සමයෙක මේ පෘථිවියේ හිරණ්‍ය කාශ්‍යප් නමින් රජ කෙනෙක් රාජ්‍යය කළේය. ඔහු තමා පිළිබඳ අධිමානයෙන් පෙළුණු අතර, මේ ලොව සිටින සෑම දෙනාම ඔහුට පමණක් වන්දනා කළ යුතුය යන්න නීතියක් ද පැනවූයේය. නමුත් ඔහුගේ පුතු වන ප්රහ්ලාද් මෙයට එකඟ නොවූයේය. ඔහු සිය පියා වන්දනා කරනවා වෙනුවට විෂ්ණු දෙවියන් (නාරායන) පමණක් වන්දනා කළේය.
තවද, ප්රහ්ලාද් විෂ්ණු දෙවියන්ගේ දැඩි භක්තිකයෙක් බවටද පත් වූයේය. හිරණ්‍ය කාශ්‍යප් විෂ්ණු දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් මෙන්ම වෛරයෙන් ද පසු වූයේය. ලොව අන් සියළුම දෙනා තමාට පමණක් වන්දනා කරද්දී සිය පුතණුවන් තමාට වන්දනා නොකිරීම සහ ඔහු විෂ්ණු දෙවියන්ට පමණක් වන්දනා කිරීම පිළිබඳව හිරණ්‍ය කාශ්‍යප් හට තිබුණේ දැඩි කෝපයකි. මේ හේතුවෙන් ඔහු කිහිප විටක් සිය පුත්‍රයා මරා දැමීමට උත්සාහ කළද එය සපල නොවීය. ඒ සෑම අවස්ථාවකම විෂ්ණු දෙවියන් විසින් ප්රහ්ලාද් බේරා ගන්නා ලදී.
මේ සඳහා උපායක් කල්පනා කළ රජු සිය සොයුරිය වන හෝලිකාගේ සහාය පැතුවේය. ඒ අනුව ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවීමට වරම් ලබා සිටි ඇගෙන් ප්රහ්ලාද් උකුලේ හිඳුවා ගින්නට ඇතුල්වන ලෙස හිරණ්‍ය කාශ්‍යප් ඉල්ලා සිටියේය. සිය සොයුරාගේ අණට කීකරු වූ සොයුරිය හෝලිකා, ප්රහ්ලාද් දරුවාද ඔඩොක්කුවේ තබා ගෙන ගින්නට ඇතුල් වූවාය. ප්රහ්ලාද් අඛණ්ඩව ඕම් නමෝ නාරායන මන්ත්‍රය ජප කරමින් සිටියේය. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ප්රහ්ලාද් හට කිසිදු හානියක් සිදු නොවී ගින්නෙන් පිටතට පැමිණීමට හැකි විය.
හෝලිකාගේ වරයට අනුව ඇය ගින්නෙන් ආරක්ෂා වනුයේ තනිවම ගින්නකට ඇතුලු වූ විටකදී පමණය. වෙනත් කිසිවෙකු හෝ සමඟ ඇතුල් වුවහොත් ඈ එම ගින්නෙන් දැවී මිය යෑම සිදු වේ. ඒ අනුව ප්රහ්ලාද් සමඟ ගින්නට ඇතුළු වීම හේතුවෙන් හෝලිකා ගින්නෙන් පිළිස්සී මිය ගිය අතර, ප්රහ්ලාද් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරුපද්‍රිතව පිටතට පැමිණියේය.
හෝලි උත්සවය සමරනු ලබන්නේ දේව භක්තිකයාගේ ජයග්‍රහණය සැමරීමටය. මෙම පුරාණ කතාවේ සඳහන් පරිදි දෙවියන් කෙරෙහි විශ්වාසය තබන කිසිවෙකු වුවද දෙවිය විසින් ආරක්ෂා කරන බව පෙන්වා දේ. එමෙන්ම දේව භතිකයෙකු විනාශ කිරීමට උත්සාහ දරනා පුද්ගලයා විනාශයට පත් වන බවත් මෙයින් කියැවේ.
හෝලිකා දහන් පූජාවෙන් නිරූපණය වන්නේ දේව භක්තිකයෙකු විනාශ කිරීමට තැත්කළ හෝලිකා ගින්නෙන් පිළිස්සී අළු වී යෑමයි. හෝලිකා දහන් යනු දුෂ්ට රජු හිරණ්‍ය කාශ්‍යප් ගේ සොයුරිය හෝලිකා හින්දු භක්තිකයින් අතින්ද දහනය කර දැමීමයි.
හෝලිකා දහන් දිනයට සූදානම් වීම සඳහා බැතිමතුන් දින කිහිපයක සිට ඒ සඳහා අවශ්‍ය දර අසබඩ කැලෑවලින් ගෙන එනු ලබයි. දර සහ අනෙකුත් දහනය වන අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි. නිවෙස් ඉදිරිපිට, කෝවිල්, මං සන්ධි සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලද හෝලිකා දහන් පූජාව සිදු කරනු ලබයි. මන්ත්‍ර සහ ගීත ගායනා කරමින් බැතිමතුන් ගිනි මැලය වටා නර්තනයේ යෙදීමද සිදු කරයි. පසු දින වර්ණවත් හෝලි උත්සවය සමරන්නේ නරක පරාජය කොට හොඳ ජය ගැනීමේ සතුට බෙදාහදා ගැනීමටය.

හෝලිකා දහන් පූජාවට පසු දිනය හෝලි දිනය වන අතර එය ඉන්දියාවේ සහ නේපාලයේ නිවාඩු දිනයකි. මෙය වසන්ත සෘතුවේ ආරම්භයද සනිටුහන් කරන උත්සවයකි. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම හෝලි දිනයේදී හින්දූහු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වීදිවලට බැස වර්ණවත් කුඩු සහ වර්ණවත් ජලය එකිනෙකා මත ඉස ගනිමින් ප්‍රීති වෙති. හෝලි යනු සමස්ත ඉන්දියාවම වර්ණවත් දිස්වන දිනයකි.
මෙහිදී කෘත්‍රීම වර්ණ භාවිතා නොකොට හැකිතාක් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත් වර්ණ භාවිතා කිරීමද පරිසර හිතකාමී තරුණ පිරිස් විසින් සිදු කරනු ලබයි. එය සෞඛ්‍යයටද හිතකර ය.