මෙත්මල් සුබසිංහ
ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් ලොව ජනගහනයෙන් තුනෙන් එකකටත් අධික පිරිසක් නිවෙස්වල රැඳී සිටිමින් ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේය. වෙනදාට ක්‍රියාශීලීව සේවා ස්ථානයට හෝ අධ්‍යාපන ආයතනයට ගිය පිරිස් අද නිවෙස තුලම කොටුවී සිටීම හේතුවෙන් විවිධ මානසික මෙන්ම ශාරීරික වෙනස්කම්වලට බඳුන් වීමේ ඉඩකඩ වැඩිය. එහෙයින් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවෙන අතරතුර මානසික මෙන්ම ශාරීරික සුවතාවය පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය. වෙනදා මෙන් නොව ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින මේ කාලයේ අප සතුව කාලය ද බොහෝ ඇත. බොහෝ දෙනෙකුට කිරීමට එතරම් ලොකු වැඩක් නැත. ඒනිසා මෙම කාලය ඔබේ සිරුරේ හැඩය සහ නීරෝගීභාවය පවත්වාගෙන යෑමට මිඩංගු කරන්නේ නම්, නිරෝධායනය අවසන ඔබටම බලා සතුටු විය හැකි සිරුරක් ලබා ගත හැකි වේ.
එක් තැනකට වී සිරුරට සුළු හෝ ව්‍යායාමයක් නොදී සිටීම කායික මෙන්ම මානසික රෝග රැසකටම හේතු වන බව පර්යේෂකයින් සොයා ගෙන ඇත. ව්‍යායාම් කිරීම අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘදය රෝග, දියවැඩියා මෙන්ම අඝාතය වැනි රෝග හට ගැනීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ. තවද, ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි දුර්වල වීමේ රෝගී තත්ත්වය ඇතිවීමෙන් වැළකීමටද ව්‍යායාම් උපකාරී වේ. කොරෝනා වෛරස තත්ත්වය පැතිරී යන මෙම කාලයේ සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම අතිශයින්ම වැදගත් වේ. එවිට වෛරසය ආසාදනය වුවද, එයට විරුද්ධව සටන් කිරීමේ හැකියාව සිරුරට ලැබේ. ව්‍යායාම් කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.
ශාරීරික ව්‍යායාම් මානසික නීරෝගීතාවය පවත්වාගෙන යෑමටත් ඉවහල් වේ.
නිරෝධායන සමයේ මානසික නීරෝගීතාවය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව කියවන්න.
ඔබ දැනටමත් ව්‍යායාම් කිරීම ඔබේ දෛනික කටයුතු වලින් එකක් ලෙස කිරීමට පුරුදු වී සිටින්නේ නම්, ඔබ පුරුදුව ඇත්තේ ජිම් එකට ගොස් ව්‍යායාම කිරීමට හෝ උද්‍යානයක එසේත් නැත්නම් ඇවිදීමේ මංතීරුවක හෝ ඇවිදීමට යෑමට විය හැක. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ නිවසෙන් පිටවීමට නොහැකි වී තිබේ. නිවසටම වී සිටීම අත්‍යවශ්‍ය නිසාත් නිවසින් පිටතට යෑම තහනම් නිසාත්, ශාරීරික අභ්‍යාස කළ නොහැකි බව පවසමින් ඔබ ඔබටම නිදහසට කාරණා කියමින් සිටින්නේ නම් ඔබට අවශ්‍ය සුන්දර සහ නීරෝගී සිරුර ලබා ගැනීමට නොහැකි වනවා ඇත. එනිසා, ඔබ සිටින්නේ කුලී නිවෙසක හෝ මහල් නිවෙසක නම් ඔබට ව්‍යායාම කළ නොහැකි යන මතයෙන් ඔබ බැහැර විය යුතුය. ඔබට නිවසේ සිටම ව්‍යායාම් කිරීමේ හැකියාව තිබේ. එනිසා ඔබ කොතැන සිටියත් ඔබේ නීරෝගීභාවය පවත්වාගෙන යෑමට ව්‍යායාම් කළ හැක.
ඔබේ නිවසේ දැනටමත් ට්‍රෙඩ් මිල්, ස්කිපිං රෝප් ඇතුළු ව්‍යායාම් කිරීමේ උපකරණ තිබේ නම් වෙනදා මෙන්ම ඔබට ව්‍යායාම් කිරීමට මේ කාලයේදී කිසිදු බාධාවක් නැත. ඔබ සතුව කිසිදු ව්‍යායාම උපකරණයක් නැත්නම් වුවද ඔබට සිරුරට අවශ්‍ය ව්‍යායාම් ලබා දීමේ හැකියාව තිබේ.
ඔබට නිවසේ ව්‍යායාම උපකරණ නැත්නම් යෝග අභ්‍යාසයන්හි යෙදිය හැක. යෝග අභ්‍යාස කිරීමට හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් තිබීම ප්‍රමාණවත් වේ. සිරුරට අපහසුවක් නොවන සැහැල්ලු ඇඳුමකින් සැරසී යෝග අභ්‍යාසයන්හි යෙදිය හැක. මෙහිදී ප්‍රාණායාම වැනි අභ්‍යාසයන් කිරීමේදී පෙනහළුවලට හොඳින් වාතය ලැබේ. කොවිඩ්-19 යනු ශ්වසන පද්ධතිය ආසාදනය කරනු ලබන වෛරසයකි. මෙහිදී පෙනහළුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් රෝගියාගේ තත්ත්වය බරපතල විය හැක. එනිසා ප්‍රාණායාම සමඟ යෝගාභ්‍යාස මෙම කාලයදී ඉතා වැදගත් විය හැක.
මේ දිනවල ඔබේ මානසික සෞඛ්‍යයත් යහපත් මට්ටමින් තබා ගැනීමට අවශ්‍ය නිසා ඔබ කැමැති චිත්‍රපට පමණක් නොව ගීත ද රස වින්දනය කළ හැක. වේග රිද්ම ගීත සඳහා නර්තනයේ යෙදිය හැකි නම් එය ඉතාමත් හොඳ ව්‍යායාමයකි. සිරුරේ අනවශ්‍ය මේද දහනයට නර්තනය හොඳ ව්‍යායාමයකි. තවද නර්තනය මෙන් සිරුරේ මේද දහනය කරනු ලබන ඇරොබික් ව්‍යායාමයක් ලෙස ස්කිපින් රෝප් පැනීමද සඳහන් කළ හැක. මෙහිදී හොඳින් දහදිය පිටවන අතර සිරුරේ කැලරි ප්‍රමාණයද ඉවත් වේ. හොඳින් දහදිය පිටවීමේදී සිරුරේ ඇති විෂ සහ අපද්‍රව්‍ය ඉවත් වේ.
සිරුර ඇදීමේ සහ සමබරව තබා ගැනීමේ ව්‍යායාමද ඔබට ව්‍යායාම් උපකරණ නොමැතිව වුවද කළ හැක. සිරුර සමබරව තබා ගැනීමේ අභ්‍යාසයක් ලෙස ඔබට තනි කකුලෙන් සිට ගෙන සිටීමේ අභ්‍යාසය කළ හැක. එහිදී එක් කකුලක් ඔසොවා අනෙක්පස කලවා මත තබා දෑත් ඉහළට ඔසොවා හොඳින් ඇදෙන සේ තබා විනාඩියක් පමණ තබා ගන්න. එක තැන උඩ පැනීම, සිරුර ඉදිරිපසට, පිටුපසට සහ දෙපසට නැවීමද නිවසේ සිටම කළ හැකි අභ්‍යාසයන්ය.
ඔබට ගෙවත්තක් තිබේ නම් ගෙවත්තේ ඇවිදීමත්, සෙමෙන් දිවීමත් කළ හැක.
ඔබ ශාරීරික අභ්‍යාසයන්ට එතරම් ප්‍රිය කරන අයෙක් නොවේ නම්, ඔබ සිරුර වෙහෙසා සිදු කරනු ලබන ඕනෑම කාර්යයක් ඔබේ සිරුරට අභ්‍යාසයක් වනු ඇත. නිවෙස අස් පස් කිරීමේදී සිරුර නැවීමට සහ ඇදීමට ලක් වේ. තවද නිවෙස පිරිසිදු කිරීමේ කාර්යයන්ද මෙලෙසින්ම සිරුරට හිතකරවන අභ්‍යාසයන්ය.
කොරෝනා වෛරස ආසාදනයත් සමඟම ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට දැන් සිටම සූදානම් වීම නුවණට හුරුය. ඒ සඳහා ගෙවතු වගාව ඉතාමත් වටිනා ක්‍රියාකාරකමකි. ගෙවතු වගාව සිදු කිරීමේදී ඔබට අවශ්‍ය ආහාර නැවුම්ව, පිරිසිදුව මෙන්ම වස විසෙන් ද තොරව ලබා ගත හැකි අතර, ඔබේ සිරුරට ඉන් ව්‍යායාමයක් ලැබී ඔබ නීරෝගී බවටද පත් කරයි. අතීතයේ පැරැන්නන් කුඹුරු කෙටීම සහ හේන් ගොවිතැන ආදී සිරුර වෙහෙසා කළ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ සිරුරේ අනවශ්‍ය මේද තැන්පත් වූයේ නැත. ඔවුන් වස විසෙන් තොර, සමබල ආහාර වේලක් ගත් අතර ඔවුන්ගේ ජීවනෝපාය හේතුවෙන් ශක්තිමත්ව සහ නීරෝගීව සිටීමටද හැකි විය. නමුත් වර්තමානයේ තරගකාරී ජීවන රටාව මෙන්ම අහිතකර ආහාර රටාව හේතුවෙන් ලෝක ජනතාව රෝගීන් බවට පත් වෙමින් සිටී.