මෙත්මල් සුබසිංහ
Morbid Jealousy
Delusion යන පදය අර්ථ ගැන්වීම පහසු නොවන අතර සරල අදහසක් ලෙස එය මෙසේ අර්ථ ගන්වමු. එනම් සංස්කෘතිකමය හා අධ්‍යාපනික පදනමකට අනුරූප නොවන සාධාරණ තර්කනයෙන් නිවැරදි කළ නොහැකි ස්ථාවර වැරදි විශ්වාසයකි. එසේත් නැති නම් කිසියම් මායාකාරී සිතුවිල්ලකි.
Delusions of jealousy /morbid jealousy /pathological jealousy යන්නෙන් යම් අයෙක් ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරිය වෙනත් අයෙක් සමග (සැබැවින්ම නොපවතින ) සම්බන්ධයක් ඇති බවට වැරදි විශ්වාසයක් ගොඩ නැගීම සරලව අදහස් වෙයි .මෙහිදී සැකයට භාජනය වන පාර්ශ්වය කෙරෙහි හානිකර හැසිරීම් වුව ද ඇතිවීමට ඉඩ ඇත.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳින ලදුව රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වී, ගීතයකට කටහඩින් හැඟීම් එබ්බ විය හැකි පුණ්‍ය ශක්තියකින් හෙබි නන්දා මාලනියන්ගේ මියුරු හඩින් රස ගැන්වුණු ඉතාමත් මියුරු ගීයක් වන මෙය ඉහත කී Morbid Jealousy පිළිබඳව මොනවට පැහැදිළි කරනු ලබන ගීතයකි. මෙහිදී ආරියරත්නයන් Morbid Jealousy මානසිකත්වය කාන්තා දෘෂ්ටිකෝණයකින් බලා පද වැල් ලියන්නේය. අප මෙම ගීතය කෙතරම් වාරයක් රසවිඳ තිබුණද, මෙහි ඇති මනෝවිද්‍යාත්මක පසු බිම පිළිබඳව අවධානය යොමු නොකර ඇති බව නිසැකය.
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව
මා සඳට කැමති බව…//
එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
මා සඳට කැමති බව…//
මේ මිනිසා සාමාන්‍ය නපුරු මිනිහෙක් ද? නැතහොත් ඉන් ඔබ්බට විහිදුණු ගැටලුවක් මෙහි තිබේද?ඇය ඔහුගෙන් මිදී ඇයගේ ලෝකයකට ඇතුලු විය යැයි ඔහු සිතුවාද ? ජීවිතයේ රස බැලීමට ඈ උත්සාහ කරන බවට ඔහුට හැගුනාද? ඇය හඹා යන දේ ඇයට ඔහුගෙන් නොලැබෙන දෙයක් බව ඔහුට සිතුණා ද? ඒ ආදරය ද ?ඇය සොයනා සෞම්‍ය බව සියුමැලි බව ඇති තැනක් ඔහු දුටුවා ද?ඔහු දුටුවේ ඇය දකිනා දෙය ම ද? නැතහොත් වෙනත් යමක් ද?
ඔහුගේ සිත නැමති එක්ටැම්ගේ ඇය සිරකාරියක් වී ඇත? තොල් පෙති අතරින් නැඟුණු සිනහව උදුරා ගත්තේ ඇයි ? මේ සමනලිය වෙනත් මල් ගොමුවක තුරුලට යාවිදැයි ඔහු සිතුවාද ? බලා සැනසෙන සඳත්, නෙලාගත හැකි මලත් ඇයට අහිමි කරන්නේ ඇයි? ඒ ඊර්ෂ්‍යාව ද ?එක්ටැම්ගෙයි සිරගත කරන්නට තරම් ඔහු ඇයට එරෙහිව සාක්ෂි සොයා ගත්තාද? සුළඟ, හිරු එළිය, ඇගේ සිනහව ,ඇගේ ලස්සන මේ සියල්ල ඇයට විරුද්ධ සාක්ෂි බවට ඔහු පත් කර ගත්තාද ?ඔහු දඬුවම් කරන්නේ ඇගේ මේ වංක කමටද? ඔහු තහවුරු කරගත් ( නමුත් ඇය නොදත්) ඇගේ වංක කමට ඔහු දඬුවම් කළ යුතු විය ද? ඒ දඬුවම් ලදුව ඇයගේ සිනහව ගිලිහී කඳුලෙහි දියවී ගලා යන හැටි අපූරු බව ඔහුට පෙනෙයි .
යළිත් පෙර අර්ථකථන කියවන්න …යළිත් වරක් ගීතය රසවිඳින්න…..මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවද බලන්න ….
පසු ලිපි-
ඉහත සරල අර්ථ කථන නිර්වචන නොවන අතර අවබෝධයේ පහසුව තකා සටහන් කරන ලදී . Oxford Shorter text book of psychiatry හි සදහන් වන නිර්වචන මෙසේය .
“A delusion is a belief that is firmly held on inadequate grounds, that is not affected by rational argument or evidence to the contrary, and that is not a conventional belief that the person might be expected to hold given their educational, cultural, and religious background.”
“Delusions of jealousy -These are more common among men than women. Not all jealous ideas are delusions; less intense jealous preoccupations and obsessions are common. Jealous delusions are important because they may lead to aggressive behaviour towards the person(s) who is thought to be unfaithful. A patient with delusional jealousy is not satisfied if he fails to find evidence supporting his beliefs; his search will continue.”