මෙත්මල් සුබසිංහ
ලිපියට මූලාරම්භයක් ලෙස රසවත් පැරණි හින්දු පෙම් කතාවක කොටසක් ගෙන හැර දක්වමි. එක් සමයෙක ඇත් නායකයෙකු විසින් කුහුඹුවන්ගේ තුඹසක් විනාශ කර දමනු ලබයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය කුහුඹුවන්ගේ නියෝජිතයන් සියල්ලම මෙම හස්තියා විසින් සාහසිකව මරා දමනු ලබයි. මින් කුපිතවන කුහුඹින් එක්ව එක් රාත්‍රියක දී පොළොවෙන් මතුව සියලු හස්තීන්ගේ පාද සපා කා පොළොව තුලට ගොස් සැඟවිණ. ඉන්පසුව එළඹුණු උදයේ ඒ හස්තීන්ගේ පා පතුල් ඉදිමී තිබූ අතර සෙලවීමටවත් නොහැකි තැනට පත්ව තිබිණ. මෙම තත්ත්වය හමුවේ පසුව හස්තීන් හා කූඹීන් අතර සාම සාකච්ඡා ඇතිවී හානිකල හස්තියා කූඹීන්ට බිලිදීමට තීරණය කරනු ලැබ අනතුරුව කූඹීන් විසින් විනාශ කර දමනු ලබයි. එය මෙම කතාවේ එන කුමරියගෙන් අසන පැනයකට මුල්වන කතාවයි. කතාකරු නුවණැති කුමාරියගෙන් ඉහත කතාවෙන් කියවෙන පාඩම කුමක් දැයි විමසයි. ඇය මෙසේ පිළිතුරු දෙයි. එක්සත් වුවත් දුබලයන් ප්රබලයන්ට වඩා ශක්තිමත් වන්නේ නැත. මොකද අලියා අලියා මයි, කුහුඹුවා කුහුඹුවා මයි. එහෙත් ප්රබලයාගේ ශක්තිමත් බව මිනිය හැක්කේ දුර්වලකම් වලින් ය. මේ බව කලින් දැන හස්තීන් තම පාද ආරක්ෂා කර ගත්තේ නම් කුහුඹින්ට කිසිවක් කළ නොහැකි වනවා සේම අලියෙකුට තනිව වුවද ඕනෑ තරම් විශාල කුහුඹු රංචුවකට මුහුණ දීමේ හැකියාව ඇත.
මෙම කතාවෙන් ගතහැකි පාඩම කුමක්ද යන්න පසුවට තබා මාතෘකාවට අවතීර්ණ වෙමු.
දේශපාලන බලය හා මිනිසා අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ පළමු විධිමත් විග්‍රහය ඉදිරිපත් කරනුයේ ඇරිස්ටෝටල්ය. එහිදී ඔහු මිනිසා උප්පත්තියෙන්ම රැගෙන එන්නා වූ ස්වභාවික ගුණාංග තුනක් වශයෙන් ධනය රැස්කිරීම, දේශපාලන බලය හැසිරවීමට ඇති ආශාව හා ලිංගික ජීවිතය පිළිබඳ ඇති ආශාව දක්වයි. ඒ ඔස්සේ පෙන්වා දෙන්නේ මිනිසා යනු දේශපාලන සත්ත්වයකු බවයි.
දේශපාලන විද්‍යාව පිළිබඳව බලවාදය මෙම සබඳතාවල පදනම විශ්ලේෂණය කරමින් දියුණු වුණු අතර, බල දේශපාලනයේ පියා ලෙස සැලකෙන නිකලොයී මැකියාවෙලී (Niccolò Machiavelli) තම ‘කුමාරයා’ නැතහොත් The Prince යන ග්‍රන්ථයෙන් බලවාදය පිළිබඳව වෙනස් අර්ථකථනයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව රාජ්‍යය යනු බලය පදනම්ව ගොඩනැගී ඇති බල සංවිධානයක් වන අතර දේශපාලනය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීමට පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් අතර පවතින බල අරගලය වේ. මැකියාවෙලී පෙන්වා දෙන්නේ දේශපාලනය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වුවද එහි පරමාර්ථය බලය බවයි.
බලය නම් කුමක්ද? බලය හසුරුවන අයට තමන් කැමති ආකාරයකට බලයට යටත් අය පාලනය කිරීමට ඇති හැකියාව හා තමාට අවනත නොවන විට බල කිරීම මඟින් නම්මවා ගැනීම වේ. නූතන යුගයේ බලවාදය පිළිබඳ මතයන් ප්‍රකාශ කරන මැක්ස් වෙබර් පෙන්වා දෙන කාරණයක් වන්නේ බලය යනු බලය හසුරුවන පුද්ගලයන්ගේ බලපෑමට අනෙක් පුද්ගලයන් යටත්කර ගැනීම බවයි. මින් අදහස් වන සරල අරුත කුමක්ද? බලය කෙරෙහි ඇති නොනිමි ආශාව හා බලපෑමට යටත් කර ගැනීම දේශපාලනයේ මූලික අරමුණ බවයි. එසේනම් ශ්‍රී ලංකාව මුහුණපා ඇති වත්මන් තත්වය හා දේශපාලනඥයන්ගේ ක්‍රියාපටිපාටිය කිනම් පදනමක සිට ක්‍රියාත්මක වන්නේ ද යන්න පැහැදිලිය .
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය සලකා බලන කල බලය තහවුරු කරගැනීමට යොදාගත් විවිධ උපාය මාර්ග දැකියහැක. පෘතුගීසීන්ගේ මූලික අරමුණ ආගම පැතිරවීම වුන අතර ලන්දේසීන් වෙළෙඳාමට මූලිකත්වය දෙමින් යටත්විජිතකරණයට යොමු විය.
ලන්දේසීන් හෝ පෘතුගීසීන් කන්ද උඩරට බාහිර ස්ථාවරත්වය බිඳ හෙළීමට සමත් නොවීය. නමුත් ඉංග්‍රීසීන් අනුගමනය කළ ප්‍රතිපත්ති අනුව කන්ද උඩරට තම අණසකට නතු කර ගැනීමට ඔවුහුන් සමත් විය. දේශපාලනික බලය මූලික කරගෙන යටත්විජිතකරණයේ සෙසු අරමුණු ඉෂ්ට කර ගැනීමට ඉංග්‍රීසි දේශපාලනය සමත් විය. පොදු සතුරා වෙත යොමුවන ප්‍රතිරෝධය මැඬලීමට ප්‍රතිවාදියාගේ අභ්‍යන්තර සමතුලිතතාවය බිඳ දමා පොදු සතුරා කවුද යන්න අපැහැදිළි මට්ටමකට පත්කර බලය හැසිරවීම ඔවුන් උපාය ක්රමවේදයයි.
කෝල්බෘක් ආණ්ඩුක්රමය හරහා ආණ්ඩුක්‍රම හා පාලන තන්ත්ර මෙරට ස්ථාපිත කිරීමේදී යොදාගත් පදනම නම් ජන වර්ගයක නියෝජනයයි. ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික හා බහු වාර්ගික රටක් පාලනය කිරීමේදී පාලකයන් හට පාලිතයන් හැසිරවිය හැකි ප්‍රබලම අවිය මෙයයි . මෙම ක්‍රමය තුළ සරලව සිදුවන්නේ පාලනය වන්නන් හෝ පොදු ජනතාව එක්ව පාලකයන්ගෙන් තම අයිතීන් දිනා ගැනීමට සටන් කරනවා වෙනුවට වර්ග, ජාති හෝ ආගම් යනුවෙන් බෙදී තම අයිතීන් දිනා ගැනීමට පෙළඹවීමයි. මෙම කුලල් කෑම හේතුවෙන් පාලකයාගේ ස්ථාවරභාවය ආරක්ෂා වන අතර පාලිතයා වක්‍රාකාරයෙන් දුර්වල වේ.
ඉහත සඳහන් කළ කථාවේ හස්තීන් කූඹින් අභිබවා තම බලය තහවුරු කරගැනීමට නම් තම පාද ආරක්ෂාකර ගත යුතුව තිබුණි. එක්කෝ අලින් සපත්තු පැළදිය යුතුය නැතහොත් ඔවුන් කූඹින්ගේ සමගිය බිඳ හෙළිය යුතුය. ඉහත දෙකෙන් වඩා පහසු වන්නේ කුමක්ද? කුහුඹින් පහර නොදෙන තාක් හස්තීන් සිය පාද සපත්තු වලින් තොරව ආරක්ෂා කරගත හැක. කූඹින්ගේ සමගිය බිඳ හෙලිය හැකි නම් ගැටලු අවධානය පොදු සතුරා හෝ පොදු ගැටලුව වෙනුවට අභ්‍යන්තර ආරවුලක් හට ගන්නා අතර එහි විශේෂත්වය නම් එම ආරවුල්වල යහපත් අන්ත බලය අදාල පාලිත පාර්ශවය කෙරෙහි නොලැබීමයි.
නමුත් එහි විශ්මයජනක කරුණ නම් පාලකයන්ගේ ස්ථාවර භාවය රඳා පවතින්නේ ද ,පාලකයාට බල ක්‍රීඩාවේ සදාතනිකව යෙදිය හැක්කේ ද ඉහත කී ක්‍රියාවලියේ පැවැත්ම මත වීමයි. රවුෆ් හකීම් ආගමික පදනමකින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමාජජාල හරහා නිකුත් කිරීම ද ඔවුන් යෙදී සිටින බල ක්‍රීඩාවේ එක් කොටසක් පමණි. රවුෆ් හකීම් සත්‍යය වශයෙන් ආගම් භක්තික ද නැතිද වග සැබැවින්ම දන්නේ දෙවියන් පමණි.
එසේම ඔහුගේ එම ප්‍රකාශය අදාළ ජන කොටස කෙරෙහි ඇති සැබෑම ආලය නිසා සිදු කළේ ද යන්න සැකයකි. නමුත් එහි ඇති දේශපාලනය කුමක්ද? ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට යෑමට නම් මූලික ක්‍රම දෙකකි. එකක් ඡන්ද පදනම වන අතර අනික ජාතික ලයිස්තුවයි. පක්ෂ වශයෙන් බලය ලබාගැනීමේ දී ජාතික ලැයිස්තුවට හිමිවන තැන එතරම් ප්‍රබල නොවේ. එසේනම් මෙහි වඩා ප්‍රබල සාධකය වන්නේ ඡන්ද පදනමයි. අතළඟ මැතිවරණයක් ද ඒමට නියමිතය. ඡන්ද පදනමක් සකසා ගැනීමට මේ වාතාවරණය තුළ එතරම් පහසු නැති ය. එසේ නම් ඒ සඳහා භාවිතා කළ හැකි අවිය කුමක්ද? එයට ජාතිවාදී වර්ගවාදී අවිය තරම් ප්‍රබල වටිනා අවියක් ශ්‍රී ලංකාව වැනි රටක සොයාගත නොහැකිය.
නමුත්, අප අවබෝධ කරගත යුතු වඩාත් වැදගත් කාරණය කුමක්ද ?මෙම අවිය ක්‍රියාත්මක වන්නේ පොදු ජනයා එසේත් නැතහොත් පාලිතයා එයට දක්වන ප්‍රතිචාරයට සමානුපාතිකව ය. පිදුරු ගොඩක් ගිනි තැබූ පසු එයට පැතිරයාමට මහ වේලාවක් ගත වන්නේ නැත. සුළඟක් හැමුවහොත්, පරිසරය වියළි වුවහොත් එය ලැව් ගින්නක් දක්වා වර්ධනය වීම පාලනයද පහසු නැත.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? එවන් ප්‍රකාශයක් නිකුත් කළ පසු දෙපසට බෙදී කා කොටා ගැනීමද ? නමුත් දේශපාලකයන්ට අවශ්‍ය යම් දෙයක් ඉටු කරගැනීමට නම් එය සිදු කළයුතු නිශ්චිත ක්‍රමවේදයක් ඇත. ( සරලව කිවහොත් වගකිව යුතු පර්ශ්වයකට ලියුමක් යැවීමට හැකිය )
එසේ තිබියදී මුහුණුපොතේ පෝස්ටුවක් පළ කරන්නේ වෙනයම් අරමුණක් නිසා නොව බෙදා වෙන්කිරීමේ අරමුණින්මය. අප විසින් ම අවිධිමත් ලෙස අභ්‍යන්තරිකව බෙදාවෙන්කර ගනිමින්, ජනකොටස් අතර දුරස්තභාවය අප විසින්ම වැඩි කර ගනිමින්, සැප පුටුවක් මත වාඩි වී සිටින දේශපාලකයන්ට රන් තැටියක තබා බලය ප්‍රධානය කිරීමට තරම් ළාමක වීම කිසිසේත් සාධාරණීකරණය කල නොහැකිය .
එනම්, පොදු ජනතාවගේ ප්‍රතිචාර මත ඉහත කී ක්‍රියාවලියේ පැවැත්ම රදාපවතින බවයි. එවන් ප්‍රකාශයක් මුහුණුපොතේ දැක, මෙම බල දේශපාලනයේ යථාර්ථය වටහා ගෙන ප්‍රතිචාර නොදක්වා සිටියේ නම් එය තවත් එක් හුදු ප්‍රකාශයක් /පෝස්ටුවක් ම වන්නෙය.
ධීවරයා මාලු බෑමට එන විට තමන් ඉන්නා දිය තමන් විසින්ම බොර කර ගතහොත් හසු වන්නේ තමන්ම බව ජනතාව අවබෝධ කරගත යුතුය. රටක් වශයෙන් එලඹ සිටින පොදු ගැටලුවට එකා වන්ව මුහුණ දිය යුතුය. එක්සත්ව නැගිට කොරෝනා මාරයා පරදවමු.