සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
ඉන්දියාවේ සිද්ධ වෛද්‍ය විද්‍යාවට අනුව ආහාරය යනු ඖෂධයක් වන අතර ඖෂධයක් යනු ආහාරයක් වේ. නමුත් වර්තමානයේ ආහාරය ඖෂධයක් වන අවස්ථා හෝ ඖෂධයක් ආහාරයක් වන අවස්ථා දක්නට නොමැත. තරගකාරී ජීවන රටාව හේතුවෙන් බොහෝ දෙනෙකුට ගුණදායක ආහාරයක් නිවෙසේ සකසා රස බලන්නට වේලාව සහ දැනුම ද නොමැති අතර, ඒ ඒ අවස්ථාවට අනුව කුස ගින්න නිවා ගැනීමේ අරමුණින් පමණක් කුමක් හෝ දෙයක් ආහාරයට ගැනීමට බොහෝ දෙනා පෙළඹී සිටින්නේ ශරීර සෞඛ්‍යය පිළිබඳ අල්ප හෝ තැකීමක් නොමැතිවය.
මෙසේ වෙළෙඳ පොළෙන් ගන්නා නිෂ්පාදිත ආහාර බොහෝ විට ඖෂධයක් වීම වෙනුවට ඒවා මිනිසාගේ නීරෝගීභාවය නැති කරන, මිනිසා ඉක්මනින් රෝගී බවට පත් කරන, එමෙන්ම ජීවිත කාලය පුරාම බෙහෙත් අහුරු පිටින් ගැනීමට මඟ පාදන ආහාර බවට පත් වී ඇත.
නීරෝගීව ජීවත් වන්නට නම් සොබා දහමට ළං විය යුතුය. නිරන්තරයෙන්ම වස විස නොදැමූ ස්වභාවික ආහාර ආහාරයට ගැනීමට පුරුදු විය යුතුය.
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ආහාර අතර තවමත් නොනැසී පවතින ආහාර වර්ග (වෑංජන වර්ග ) වලින් එකක් ලෙස පොළොස් ඇඹුල සැලකිය හැක. පොළොස් වෑංජනයක රස බලන්නට අකැමැති කිසිවෙකුත් මේ රටේ සොයා ගත නොහැකි තරම් මෙම දේශීය ආහාරයට වයස් භේදයකින් තොරව කවුරුත් ප්‍රිය කරන්නේය. පොළොස් ග්‍රාමීය වශයෙන් මෙන්ම නාගරිකවද ඉතා ජනප්‍රිය වෑංජනයක් වන අතර නාගරික ප්‍රදේශවල පොළොස් වෑංජනයක් යනු තරමක සුඛෝපභෝගී කෑමක් බවටද පත්ව ඇත. ඒ නාගරික ප්රේදේශවල පොළොස් සොයා ගැනීමේ අපහසුතාවය මෙන්ම එවායේ අධික මිලද හේතු කොට ගෙනය.

නමුත්, ගම්බද ප්‍රදේශවල ජනතාවට පොළොස් ඉතා පහසුවෙන් මෙන්ම නොමිලයේම ලබා ගැනීමට හැකි වීම හේතුවෙන් ඖෂධීය ගුණ සහිත ආහාරයක් වන පොළොස් ආහාරයට ගැනීමට ඔවුනට හැකිවී තිබේ. පොළොස් සතුව පිළිකා නැසීමේ ගුණය පවතින බව ආයුර්වේදයේ සඳහන් වේ. එමෙන්ම පොළොස් යනු ශක්තිජනක ආහාරයකි. අපේ පැරැන්නන් ශක්තිමත්ව සහ දීර්ඝායු සහිතව ජීවත් වීමේ රහස ඔවුන් නිරන්තරයෙන් ආහාරයට ගත් කොස්, පොළොස් වැනි ආහාර වර්ගයි.
එවන් ගුණ රැසක් සහිත පොළොස් ඇඹුලක් සාදා ගැනීම බොහෝ දෙනෙකුට අපහසු කාර්යයක් සේ දැනුණද ටිකක් මහන්සි වී පොළොස් ඇඹුලක් පිළියෙළ කරගත හොත් නිවසේ සියළු දෙනාම ඉතා ආශාවෙන් එය රස බලන බව නම් නිසැකය.
පොළොස් ඇඹුලක් සඳහා තෝරා ගත යුත්තේ හොඳින් පැසුණු පොළොස් ගෙඩියකි. පොළොස් ගෙඩිය ඉතා ළපටි නම් එය වෑංජනයකට සුදුසු නොවේ. එවන් පොළොස් වඩාත් සුදුසු වන්නේ මැල්ලුම් සඳහාය.
අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු පැසුණු පොළොස් ගෙඩියක්
පොල් ගෙඩියක්
රතු ළූණු ගෙඩි 10ක්
සුදු ළූණු බික් 7-8ක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
කුරුඳු පොතු 2ක්
එනසාල් කරල් 2ක්
කරාබු නැටි 3ක්
ගොරකා කැබලි 2ක්
තක්කාලි කුඩා ගෙඩියක්
අමු මිරිස් කරල් 3ක්
කැකුළු හාල් කෝප්ප කාලක්
තුනපහ තේ හැඳි 4ක්
මිරිස් තේ හැඳි 2-3ක්
කහ කුඩු තේ හැඳු 1\2ක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
උම්බලකඩ තේ හැඳි 2ක්
ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
පොළොස් කැපීමේදී එහි ඇති කොහොල්ලෑ අතේ ඇලිය හැකි බැවින් පොළොස් කැපීමට පෙර අත් දෙකෙහිම හොඳින් පොල් තෙල් ගා ගන්න. පොළොස් කැපීමට භාවිතා කරන පිහිය, ලෑල්ල ආදි උපකරණ වලද තෙල් ගා ගැනීමෙන් පහසුවෙන් කොහොල්ලෑ ඉවත් කර ගැනීමට හැකිවේ. පොලොස් ගෙඩිය ලොකු පිහියක් භාවිතයෙන් දෙකට පළා ගන්න ඉපසු කොහොල්ලෑ වෑස්සීමට විනාඩි 2ක් හෝ 3ක් තබන්න. ඉන්පසු කඩදාසියක් භාවිතයෙන් පොළොස් පළු දෙකෙහි ඇති කිරි (කොහොල්ලෑ ) හොඳින් පිස දා ඉවත් කරගන්න.
දැන් මුවහත් පිහියක් ගෙන පිට පොත්ත කපා ඉවත් කර ගන්න. පොත්ත කැපීමේදී මතුපිට ඇති කොළ පාට කටුව පමණක් ඉවත් කරන්නට වග බලා ගන්න. නැතහොත් ඇතුලේ ඇති පොළොස් මදුළු සහ ඇට ද ඉවත් වී යා හැක. ඉන්පසු දෙකට පළා සුද්ද කරගත් පොළොස් පළු දෙක නැවතත් එක පළුවක් හතරට පළා වහල්ල ද කපා ඉවත්කොට තරමක ප්‍රමාණයට පොළොස් කැබලි කපා ගන්න.

දැන් මෙම පොළොස් හොඳින් සෝදා ලොකු මැටි වළඳකට දමන්න. මැටි වළඳ ඉතා හොඳින් ඉඩ තිබෙන වළඳක් විය යුතුය. නැතහොත් වෑංජනය ඉතිරීමේදී හොදි ඉවතට ගලා යා හැක. තවද පොළොස් ඇඹුල පිස ගැනීමේදී කිසි විටෙකත් ඇලුමිනියම් භාජනයක් භාවිත නොකළ යුතුය. ඒ මන්ද යත් ඇලුමිනියම් ගොරකා සහ තක්කාලි වැනි ආම්ලික අමුද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියාකොට සිරුරට අහිතකර සංයෝග සෑදීමට ඉඩ ඇති හෙයිනි. එමෙන්ම මැටි වළඳක පොළොස් ඇඹුල පිස ගැනීමෙන් එහි රසයද වැඩි වන බව අතීතයේ සිටම ගැමියන් අතර විශ්වාසයක් පැවතිණ.
තුනපහ කුඩු කබලට දමා සුවඳ විහිදෙන්නට පටන් ගන්නා තෙක් බැද ගන්න. මිරිස් කුඩු ද එසේම බැද ගන්න. දැන් බැදගත් මිරිස් කුඩු සහ තුනපහ කුඩු පොළොස් කැබලි දැමූ වළඳට දමන්න. එයටම කහ කුඩු ද එක්කරන්න. ලුණු, ගම්මිරිස් කුඩු, තලාගත් එනසාල්, කුරුඳු පොතු, රම්පෙ, කරපිංචා, කරාබු නැටිද එක්කරන්න. සුදු ළූණු පොතු හැර මඳ වශයෙන් තලා ගන්න. රතු ළූණුද ලියා ගන්න. ඒවාද වළඳට දමන්න. ඉන්පසු කුඩා තක්කාලි ගෙඩිය සහ අමු මිරිස් කපා වළඳට දමන්න. ගොරකාද සහ උම්බලකඩද එක්කර ගන්න.
දැන් මෙම අමුද්‍රව්‍ය සියල්ල කපා ගත් පොළොස් සමඟ මිශ්‍ර කර හොඳින් අතගා වළඳ වසා පසෙකින් තබන්න.
පොළොස් වෑංජනයක් වඩාත් රසවත් වීමට නම් එයට තරමක් වැඩිපුර පොල් කිරි දැමිය යුතුය. එහෙයින් තරමක ලොකු පොළොස් ගෙඩියකට පොල් ගෙඩියක් පමණ අවශ්‍ය වේ. ගාගත් පොල් මිරිකා ගැනීමට පෙර පොල් කෝප්ප භාගයක් පමණ රැගෙන කබලේ බැදගන්න. පොල් වලින් සුවඳ විහිදෙන තෙක් බැද ගැනීම ප්‍රමාණවත් වේ. ඉන්පසු කැකුළු හාල්ද කබලේ බැදගත යුතුයි. දැන් බැදගත් පොල් සහ කැකුළු හාල්ද හොඳින් අඹරා ගන්න. එසේත් නැත්නම් බ්ලෙන්ඩර් කරගන්න. දන් එම පේස්ට් එකත් පොළොස් වළඳට දමා අතගා ගන්න.
පොල් මිරිකීමේදී පළමුව වතුර ස්වල්පයක් දමා මිරිකාගත් මිටිකිරි වෙනම භාජනයකට දමා තබා ගන්න. දෙවන වතාවේදී පොල් වලට පෙරට වඩා වැඩිපුර වතුර දමා මිරිකා ගන්න. එයද වෙනම භාජනයකට දමා ගන්න. පොළොස් ඇඹුල සැකසීමේදී පොළොස් හොඳින් තම්බා ගැනීම අවශ්‍ය වේ. එහෙයින් තුන්වන වතාවේ මිරිකා ගන්නා කිරි සඳහා වැඩි පුර වතුර එක්කර ගත්තාට ගැටළුවක් නැත.
මිරිස්, තුනපහ ආදි අමුද්‍රව්‍ය අතගා තැබූ වළඳට තුන් වෙනි වතාවට මිරිකා ගත් පොල් කිරි එක්කර දර ලිපේ තබන්න. වළඳ වසා ගින්දර වැඩිකර පොළොස් වෑංජනය විනාඩි 15ක් පමණ උතුරුවා ගන්න.
වෑංජනය ඉතිරූ පසු දෙවන කිරි ද එක්කර නැවතත් විනාඩි 15ක් පමණ හොඳින් පොළොස් වෑංජනය උතුරුවා ගන්න. ඉන්පසු මිටිකිරි එක්කර අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් කුඩු ද එක්කර තෙල් පෑදෙන තුරු මඳ ගින්නේ පිස ගන්න.

ග්‍රාමීය ප්‍රදේශවල පොළොස් ඇඹුල නරක් නොවී දින දෙකක් පමණ තබා ගැනීමට අඟුරු සහිත ලිපේම වළඳ තිබෙන්නට හරිනු ලබයි. නාගරික ප්‍රදේශවල නම් ශීතකරණයක තබා පොළොස් ඇඹුල කල් තබා ගත හැක. අවශ්‍ය විටෙක රත්කර පරිභෝජනයට ගත හැක.