සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
වර්තමානයේ නාගරිකව ජීවත්වන ජනතාව පමණක් නොව, ගම්බද ජනතාවද කෙටි කෑම සඳහා පුරුදු වී ඇත. “චූන් පාන්” නමින් හඳුන්වන ලෙඩ රෝග රැසක් රැගෙන රට පුරා දිවයන කුඩා වාහනයෙන් ගෙදරටම ඩිලිවර් කරන කෑමවලට වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතී. බේකරියේ නිෂ්පාදනය කළ පිටි කෑම ගෙදරටම ගෙනැත් දෙන්නේ ලෙඩ රෝග රැසකුත් සමඟය. නමුත් ඒවාට නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවද ඇබ්බැහි වී ඇත. චූන් පාන් වාහනයේ අපේ ගෙදරටම ගෙන එන්නේ පාන් පිටි සහ සීනි දමා සකසන ලද පෝෂණ ගුණයක් නොමැති දියවැඩියාව, අධික තරබාරුව සහ කොලෙස්ටරෝල් වැනි රෝග රැසකටම හේතු වන ආහාර වර්ගය. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක් බෝ නොවන රෝග හේතුවෙන් මියයන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳන් කරයි. තවත් කොටසක් ජීවිත කාලය පුරාම බෝ නොවන රෝග හේතුවෙන් බෙහෙත් විශාල ප්‍රමාණයක් ගනිමින් සහ තම ජීවන රටාව රෝගයට අනුකූලව වෙනස් කරගනිමින් අපහසුවෙන් ජීවත් වන අයුරුද දක්නට ලැබේ.
කෙසේ නමුත්, අතීත ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර රටාව හැඩ ගැසී තිබුණේ සිරුරට ශක්තියක්, බලයක් මෙන්ම දීර්ඝායුෂද ලබා දෙන ආහාර මත පදනම්වය. ශ්‍රී ලාංකිකයින්ටම උරුම සුවිශේෂී ආහාර රටාවක් අතීතයේ තිබූ අතර එහි මස් මාංශ ඉතා අඩුවෙන් සහ එළවලු පලතුරු බොහෝ අඩංගු විය.
බත් ගස යනුවෙන් හඳුන්වන කොස් ද ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගෙන තිබිණ. කොස් ගෙඩියක් ගසෙන් නෙළා ගත් විට කෑම වර්ග කිහිපයක්ම සකසා ගැනීමට තරම් අපේ පැරැන්නෝ නිර්මාණශීලී වූහ. බිතතරයක් ගුණ තිබේ යැයි විශ්වාස කෙරෙන කොස් ඇටවලටද අපේ ශ්‍රී ලාංකීය ආහාර සම්ප්රදායේ සුවිශේෂී ස්ථායක් හිමිවේ. කොස් ඇට භාවිතයෙන් වෑංජන මෙන්ම අග්ගලාද සකසා ගත හැක. කොස් ඇට කළුපොල් වෑංජනය මෙන්ම කොස් ඇට අග්ගලාද කොස් ඇට භාවිතයෙන් සකසා ගනු ලබන ප්‍රධාන ආහාර වර්ග වේ.
කොස් ඇට සිරුරට ඉතාමත් හිතකර ආහාරයකි. කොස් ඇට සිරුර පුෂ්ටිමත් කරන අතර, විටමින් සහ ප්‍රෝටීන ඇතුළු පෝෂක රාශියකින්ද සමන්විත වේ. කොස් ඇට රුධිර ධාතුව වැඩීමට උපකාර වන බව ආයුර්වේදයේ සඳහන් වේ. තව ද ඇස් පෙනීම වර්ධනයට, සම වයසට යෑම පාලනයට මෙන්ම හිස කෙස් වර්ධනයටද කොස් ඇට ගුණ දායක බව සොයා ගෙන ඇත. කොස් මෙන්ම කොස් ඇට සතුවද සිරුරේ ශක්තිය සහ බලය වැඩීමේ හැකියාව පවතී.
සිරුරේ නීරෝගී බව ආරාක්ෂා කරන, සිරුරට ශක්තිය ලබා දෙන මෙවන් ආහාර සඳහා ඔබ යොමු වන්නේ නම් ඔබේ එදිනෙදා ජීවිතයේදී වුවද වෙනදාට වඩා ශක්තියක්, ජීවයක් මෙන්ම රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අත් විඳිය හැක. තවද, කොස් සහ කොස් ඇට සතුව සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමේ හැකියාවද පවතින බව විද්‍යාත්මකව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇති නිසා මෙවන් වසංගත කාලයක වෛරස ආසාදනයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමට කෙටි කෑම වලට වඩා මෙවන් ආහාර වර්ග වලට යොමු වීම වැදගත් වේ.
ඔබත් හැකි තරම් කෙටි කෑම වර්ග වලින් ඈත්වී ඔබේ ශරීර සෞඛ්‍යය ඉහළ නංවන ආහාර සඳහා යොමු වීම වැදගත්ය. ඔබටත් කොස් ඇට ටිකක් සොයා ගත හැකි නම් කොස් ඇට අග්ගලා සකසා බලන්න. ලෙඩ රැසක් ඔබගේ දෙපා මුලට ගෙන එන “චූන් පාන්” කෙටි කෑමවලට වඩා මෙවන් දේශීය අතුරුපස රසයෙන් මෙන්ම ගුණයෙන්ද ඉහළය. ඉන් ශරීරයට ලැබෙනණ ගුණයද මිල කළ නොහැක. මෙවන් ආහාර වර්ග සහ අතුරුපස සඳහා ජනතාව යොමු වන්නේ නම් ඔවුන් මෙන්ම අනාගත දරු පරපුරද රෝගීන් බවට පත් වීම වැළැක්විය හැක. වර්තමානයේ එය දැඩි අවශ්‍යතාවක් බවට පත්ව ඇත. නැතහොත් අකාලයේ ශ්‍රී ලංකාවට අහිමි වන ජීවිත තවත් ඉහළ යනවා ඇත.
ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර කොස් ඇට අග්ගලා, කොස් ඇට කබලේ බැද, ගම්මිරිස්, අමු මිරිස්, ළූණු සහ පොල් දමා සකසන මිරිස් රසැති (Savoury Snack) අතුරුපසකි.
කොස් ඇට අග්ගලා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
කොස් ඇට 50ක් පමණ
පොල් කෝප්ප 2ක්
ගම්මිරිස් ඇට 5ක්
අමු මිරිස් කරලක්
රතු ළූණු 5ක්
ලුණු
සාදන ක්‍රමය
කබලකට පොත්ත සහිත කොස් ඇට දමා කොස් ඇටයේ පිට පොත්ත කළු පැහැවී පුපුරා යන තෙක් හැන්දකින් කලවම් කරමින් බැද ගන්න. ඉන් පසු කොස් ඇටවල පොත්ත ඉවත්කර උණුසුම තිබියදීම වංගෙඩියකට දමා කොටා ගන්න. කොස් ඇට මඳක් කොටා ගත් පසු එයට ළූණු, ගම්මිරිස් ඇට, අමු මිරිස්, පොල් සහ ලුණු දමා කොස් ඇට පිටි වන තුරු හොඳින් කොටා ගන්න.
ඉන් පසු අතින් ගුලි සාදා ගන්න.
මෙම රවසත් අතුරුපස ඔබ සාමාන්‍යයෙන් රස විඳින වසවිස අඩංගු සහ ඔබ රෝගී කරන කෙටි කෑමවලට වඩා රසවත් බව ඔබටම අත්විඳිය හැක.
