සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
ශ්‍රී ලාංකීය කැවුම් සම්ප්රදාය ඉතා ඈත අතීතයකට දිව යන්නේය. වර්තමානයේ පවා ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙන කැවුම් ශ්‍රී ලංකාවේ විශේෂ අවස්ථාවන්ට මෙන්ම සිංහල අළුත් අවුරුද්දටත් නැතුවම බැරි කැවිලි වර්ගයකි. කැවුමේ ඉතිහාසය සලකා බැලීමේදී එය අතීත රජදරුවන්ගේ කාලය දක්වා දිව යයි. එදා හෙළ දිව රචනාකළ රොබර්ට් නොක්ස් කතුවරයා එම ග්‍රන්ථයේ කැවුම් පිළිබඳව සඳහන් කර ඇත.
කතුවරයා එදා හෙළ දිව ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට සිංහලයින් විසින් රජ ගෙදරට යැවීම සඳහා කැවුම් ලෙස හඳුන්වන විශේෂ කැවිලි වර්ගයක් සකසා ඇත. ඒවා සකසා ඇත්තේ පිටිකරගත් සහල්සහ හකුරු භාවිතාකොට මිශ්‍රණය සකසා පොල් තෙලෙන් බැද ගැනීමෙනි. මෙම සුවිශේෂී කැවිලි වර්ගය එදා සකසන ලද්දේ රජුගේ පරිභෝජයන සඳහා වන අතර නිවෙස්වල විශේෂ අවස්ථාවන් සඳහාද සකසන්නට ඇති බව නිගමනය කළ හැක.
අතීතයේ පිසින ලද කැවුම් වර්තමානයේ මෙන් නොව ඖෂධීය ගුණයකින් ද යුක්ත විය. කුසගිනි නිවීමට අමතරව සිරුරට ඖෂධීය ගුණයක් ද සැපයූ ඉපැරණි සිංහල සහල් වර්ග භාවිතයෙන් සහ සොබාවික කිතුල් හෝ පොල් පැණි භාවිතයෙන් කැවුම් සකසන ලදී. එනිසා කැවිළි වර්ගයකට වඩා වැඩි ගුණයක් අතීත ශ්‍රී ලංකාවේ තිබූ කැවුම්වල තිබී ඇත. විශේෂයෙන්ම කැවුම් සෑදීමට භාවිතා කළ සාම්ප්‍රදායික දේශීය සහල් වර්ග වල ඉහළ පෝෂණ සංඝටක ප්‍රමාණයක් තිබුණු අතර, ඒවා රෝග නැසීමේ ගුණයෙන්ද සපිරි විය.
දුටුගැමුණු රජතුමා එළාර සමඟ යුද්ධය අවසන් කිරීමෙන් පසුව එම යුද්ධයේදී තුවාල ලැබූ සෙබළුන්ගේ තුවාල සුව වීම පිණිස ඒ තුවාල මත කිතුල් පැණියෙන් සැකසූ කැවුම් තබා ගැට ගැසූ බව ජනවහරේ කියැවේ. ඒ කැවුම් සතුව තිබූ ඖෂධීය ගුණය නිසාය.
ජනවහරේ ඇති කියමනක් ලෙස ‘සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා’ දැක්විය හැකිය. මෙය යටත් විජිතවාදීන් විසින් සිංහලයා අවඥාවට ලක් කිරීමට භාවිත කරන ලද කියමනකි. ඒ සිංහලයා සතුව තිබූ කාය ශක්තියට අභියෝග කිරීමට පරදේසක්කාරයන්ට නොහැකි වූ තැන ඔවුන් සිංහලයා අධෛර්යමත් කිරීමට යොදන ලද වාචික උපක්රමයකි.
මෙම කියමනට පදනම් වී ඇත්තේ දෙවන රාජසිංහ රජුගේ සමයේ සිදුවීමකි. එකල ලන්දේසීන් සහ සිංහලයින් අතර ඇවිළුණු සටන වලදී සිංහල සෙබළුන්ගේ කාය ශක්තියත් රණ ශූරත්වයත් දුටු ලන්දේසීන් සිංහල හමුදා සමඟ සටන් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව අවබෝධ කර ගත්හ.
අතීතයේ සිට ජනප්‍රිය කැවිළි වර්ගයක්ව තිබූ පෝෂක රාශියක් අඩංගු වූ දේශීය සාම්ප්‍රදායික සහලින් සහ කිතුල් හෝ පොල් පැණි දමා පොල් තෙලේ හෝ මී තෙලේ බැදගත් කැවුම් සිරුරට ශක්තිය ලබා දෙන ආහාරයක් ලෙස ප්‍රසිද්ධව තිබිණ. තවද බත් මෙන් නොව කැවුම් කල් තබා ගැනීමටද හැකි විය.
යුධ බිමට යන සෙබළුන්ට ක්ෂණික ශක්තිය ලබා දීමටත්, කුස ගින්න දුරු කර ගැනීමටත් කාලයක් ළඟ තබා ආහාරයට ගත හැකි කැවුම් පර්සලයක් සෑම සෙබළෙකු සතුවම තිබිණ. එය ඔවුනට ආහාර නොමැති අවස්ථාවක ඉමහත් ප්‍රයෝජනයක් විය. තවද, කැවුම් තුවාල සුව කිරීමටද අතීතයේ උපයෝගී කරගන්නා ලදී.
යුද්ධයේදී මිය ගිය සෙබළුන්ගේ මළු පරීක්ෂා කර බැලූ ලන්දේසීනට දක්නට ලැබුණේ කැවුම් පාර්සල්ය. ඔවුන් සිතුවේ සිංහල සෙබළුන් යුද්ධ කරන අතරතුරත් කැවුම් කෑමට පෙරේත නිසා කැවුම් පාර්සල් ළඟ තබා ගත්තාය කියායි.
කැවුමේ අගය නොදත් ඔවුන් සිංහලයා අවඥාවට ලක් කිරීමේට “සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා’ යනුවෙන් ප්‍රසිද්ධ කරන ලදී. පසු කාලීනව කටවහරේ පැමිණි මෙම කියමන සිංහලයා විසින්ම සිංහලයාට නිගරු කිරීමට භාවිත කළේ මෙහි අර්ථය නොදැනය.
නමුත් වර්තමානයේ වසවිස පිරි ආනයනිත සහල් වර්ග සහ විරංජනකාරක දමා සුදු කරනා ලද සීනිත් සිරුරට අහිතකර තෙල් වර්ගත් භාවිතයෙන් සකසන කැවුමේ පැණි රසයට වඩා එහා ගිය ගුණයක් බලාපොරොත්තු විය නොහැක. අතීතයේ සැකසූ කැවුම්වලට රෝග සුව කිරීමේ හැකියාව තිබුණද, වර්තමානයේ සකසන කැවුම් හේතුවෙන් බෝ නොවන රෝග හට ගැනීමේ අවදානමක් ද පවතී.
එහෙයින් නියම ඖෂධීය ගුණයෙන් යුක්ත කැවුම් සෑදීමට නම් පැරැන්නන් භාවිත කළ අමුද්‍රව්‍ය භාවිත කිරීම අවශ්‍යය. වර්තමානයේ බොහෝ විට කැවුම් සෑදීමට ගන්නේ පිටරටින් ආනයනය කළ වසවිස කවලම් වූ පෝෂණ ගුණය අතින් ඉතාමත් පහළ මට්ටමක ඇති හාල් වර්ගය. ගුණදායක කැවුම් සෑදීමට නම් දේශීය සහල් වර්ගයක් භාවිත කිරීම අවශ්‍ය වේ.
සුදු සහ කළු හීනටි, පච්ච පෙරුමාල්, මාවී, කුරුළුතුඩ, සුවඳැල් ආදි දේශීය සහල් වර්ග ඉහළ පෝෂණ ගුණයකින් මෙන්ම රෝග සුව කිරීමේ හැකියාවකින්ද යුක්තය. වර්තමානයේ වෙළෙඳපොළේ බහුලව ආනයනිත සහල් වර්ග දක්නට තිබුණද, තවමත් මෙම දේශීය සහල් වර්ග මිලදී ගැනීමේ හැකියාව ඇත. මෙම දේශීය සහල් වර්ග අපගේ ආහාරයට එක්කර ගන්නේ නම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘදයාබාධ ඇතුළු බෝ නොවන රෝග මෙන්ම මාරාන්තික පිළිකා වැළඳීමේ අවදානම ද අවම කර ගැනීමේ හැකියාව ඇත. තවද, ඉහළ කැල්සියම් හා යකඩ ප්‍රතිශතයක් මෙම දේශීය සහල්වල අඩංගු බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එහෙයින් රක්තහීනතාව සහ අස්ථි දුර්වලවීමේ රෝග සඳහාද මෙම සහල් ගුණ දෙන බව පැහැදිළිය.
නීරෝගී පැවැත්ම සඳහා ඉවහල්වන එවන් සහල් වර්ග කොටා ලබා ගත් පිටිවලට අද මෙන් අතීතයේ සීනි එක්කළේ නැත. ඒ වෙනුවට ඔවුන් ස්වභාවිකවම සකසා ගත් කිතුල් පැණි, කිතුල් හකුරු සහ පොල් පැණි ආදි රෝගවලට ගුණ දෙන පැණිරසකාරක භාවිත කරන ලදී. එම දේශීය ස්වභාවික පැණි වර්ගද නීරෝගී දිවිපෙවෙතකට බෙහෙවින්ම ඉවහල් වූ ඖෂධ ලෙස සැලකිය හැක.
නවතම පර්යේෂණ මඟින් කිතුල් පැණි සහ කිතුල් හකුරු දියවැඩියාව සඳහා සුදුසු බව පෙන්වා දුන්නද, පැරැන්නන් කිතුල් පැණි භාවිතය සිදු කළේ අතීත රජ දවස සිටය. ඒ කිතුල් පැණි සහ කිතුල් හකුරුවල ගුණ ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ අත් දැක තිබූ නිසාත් දේශීය වෛද්‍ය ක්රමයේ එහි ගුණ පිළිබඳව සඳහන්ව තිබූ නිසාත්ය. කිතුල් පැණි යොදා සකසන කැවුම් දියවැඩියා රෝගීන් සඳහාත් ගුණදායකය. හීනැටි වැනි සහල් පිටි වර්ගයක් සහ කිතුල් පැණි ආදි ඖෂධ භාවිතයෙන් සකසන කැවුම් සිරුරට ශක්තිය සහ අවශ්‍ය පෝෂණය සපයන අතර, දියවැඩියාව ඇතුළු රෝග පිළිබඳව බිය නොවී පැණිරස කැවිල්ලක රස විඳීමටත් අවස්ථාව ලබා දේ.
සිරුරට ගුණ දෙන ලෙස පැරැන්නන් කැවුම් සෑදුවේ කෙසේද?
ඒ සඳහා ඔවුන් භාවිත කළ ප්‍රධාන අමුද්‍රව්‍ය වූයේ විශ්මිත ගුණ සහිත සාම්ප්‍රදායික දේශීය සහල්, කිතුල් පැණි සහ නිවසේදී සිඳගත් පිරිසුදු පොල් තෙල් ය. මෙහි දැන්වෙන්නේ නිවසේදීම පහසුවෙන් ගුණදායී හැඳි කැවුම් සාදා ගන්නා ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය
දේශීය සහල් ග්‍රෑම් 500
කිතුල් පැණි මි.ලී. 300
ලුණු
නිවසේ සිඳගත් පිරිසුදු පොල්තෙල්
සාදාගන්නා ක්‍රමය
සහල් දියේ දමා පැයක් පමණ පෙඟෙන්නට තබන්න. ඉන්පසු වතුර හොඳින් පෙරාගන්න. වතුර හොඳින් ඉවත් වූ සහල් වංගෙඩියකට දමා කොටා පෙනේරයකින් හලා ගන්න. භාජනයක් ලිප තබා එයට කිතුල් පැණි දමා මඳක් රත් කරගන්න.හලා ගත් පිටි භාජනයකට දමා එයට රත්කරගත් කිතුල් පැණි ස්වල්පය බැගින් ගෙන පිටි කැටි නොගැසෙන සේ හැන්දකින් හොඳින් මිශ්‍ර කරගන්න. ලුණු ස්වල්පයක්ද එක්කකර ගන්න. පැණිරස කැවිළිවලට ලුණු එක්කළ යුත්තේ ඉතාමත් ස්වල්ප වශයෙනි.
මිශ්‍රණයට තරමක ඝන සහ දියාරු පදමක් ලැබෙන සේ අවශ්‍ය නම් වතුර එක්කර ගන්න. මිශ්‍රණය වැඩිපුර දියාරු නොවීමටත් ඝන නොවීමටත් වග බලා ගත යුතුය. මිශ්‍රණය තවත් විනාඩි 3-5ක් පමණ හැන්දකින් රවුමට සහ ඉහළට පහළට හැන්ද කරකවමින් මිශ්‍ර කරන්න. ඉන් පසු මිශ්‍රණය වසා පැයක් පමණ තබන්න. පැයකට පසු නැවතත් මිශ්‍රණය හැන්දෙන් හොඳින් හැඳි ගාන්න.
තාච්චියකට පිරිසුදු පොල් තෙල් දමා රත් වන්නට තබන්න. තෙල් හොඳින් රත් වූ පසු ලිපේ ගින්දර අඩු කරන්න. ඉන් පසු කැවුම් මිශ්‍රණයෙන් මේස හැන්දක් පමණ ප්‍රමාණයක් ගෙන තෙල් තාච්චියට වත් කරන්න. මෙය දෙපස පෙරළමින් රන්වන් පැහැ වනතුරු බැදගන්න. කැවුම් මිශ්‍රණයෙන් වැඩි ප්‍රමාණයක් ගතහොත් මැද අමු වීමට ඉඩ තිබේ. එනිසා සෑම විටම කුඩා ප්‍රමාණවලින් මිශ්‍රණය තෙලට වත් කරන්න.
කැවුම් වැඩි වේලාවක් තෙලේ තිබෙන්නට ඉඩ හැරියහොත් කර වී කළු පැහැයට හැරීමට ඉඩ ඇත. එමෙන්ම ලිපේ ගින්දර වැඩි වුවහොත්, කැවුම වටේ පමණක් ඉදී ඇතුළත අමු වීමට ඉඩ ඇත. එනිසා ලිපේ ගින්දර වැඩි නොවීමට වග බලා ගත යුතුය.
කිතුල් පැණි සහ දේශීය සහලින් සකසා ගත් හැඳි කැවුම් සතියක් පමණ කල් තබා ගෙන රස බැලිය හැක.