පංචමී හේවාවිසෙන්ති
මිනිසාගේ මසැසට පෙනෙන ලෝකය නම් මෙම පෘථිවියයි. නමුත් බුදුන් වහන්සේ තම ඥානයෙන් තවත් භූමීන් දුටුවහ. කර්ම විපාක හේතුවෙන් ඒ ඒ සත්ත්වයින් එම භූමින්හි උපත ලබන බව ද බුද්ධ ඥානයෙන් දුටු දෙයකි. සත්ත්වයින් ජීවත් වන ලෝක සතරක් පිළිබඳව බුදු දහමේ සඳහන් වේ. ඒවා නම්:
අපාය භූමි
කාම සුගති භූමි
රූපාවචර භූමි
අරූපාවචර භූමි
අපාය භූමි
අපාය යනු කිනම් ස්ථානයක් ද යන්න අප සියල්ලෝම දනිමු. එය කෙසේවත් සැප අල්පමාත්රයක් හෝ නොමැති දුක, වේදනාව සහ විඳවීම පමණක් සහිත ස්ථානයකි. අපායේ ප්රතිසන්ධිය ලැබීමට හේතු වන්නේ පාප කර්මයන්ය. පුණ්‍ය කර්ම හෝ කුසල කර්ම සිදු කරන්නන් අපායේ ප්රතිසන්ධිය ලබන්නේ නැත. බුදුන් වහන්සේ දේශනා කළේද අපා දුකින් මිදීමට කුසල් කරන ලෙසයි.
අපාය භූමිද 4ක් පිළිබඳව බුදු දහමේ සඳහන් වේ. සතර අපායන්හි අනේක සංඛ්‍යාත්මක සත්ත්වයෝ ජීවත් වෙති. සතර අපාය ලෙස ව්‍යවහාරයේ පැවතියද එම අපාය සතර පිළිබඳව බොහෝ දෙනෙකුට දැනුමක් නොමැති තරම්ය. එම සතර අපාය නම්,
- නිරය
- තිරිසන් භූමිය
- ප්‍රේත භූමිය
- අසුර භූමිය
නිරය
සතර අපායට අයත් එක් අපායක් ලෙස නිරය හැඳින්වේ. සාමාන්‍යයෙන් නිරය යන වචනය පොදුවේ අපාය යන්න හැඳින්වීමට යොදා ගනු ලැබුවද, නිරය යනු අපාය සතරෙන් එකකි.
නිරයයන් 8ක් පිළිබඳව ද බුදුන් දේශනා කොට ඇත. බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් අන්දමට ඒවා මෙසේයි;
සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය/ ප්රතාපය, අවීචි මහා නරකාදිය ඒ නිරයන් අට වේ. මෙම නිරයන්හි කාලය මනුෂ්‍ය ලෝකයේ කාලයට සමාන නැත. එම නිරයන්හි එක් දිනක් යනු මනු ලොව වසර ලක්ෂ ගණනක් වේ.
සංජීව නිරය– සත්ත්ව ඝාතනය නැමති පාප කර්මය කරන ලද්දාවූ සත්ත්වයින් මෙම නරකයේ ප්රතිසන්ධිය ලබන බව සඳහන් වේ. මෙහි එක් දිනක් මනු ලොව අවුරුදු නව ලක්ෂයකට සමාන වේ යැයි කියනු ලැබේ. සංජීව නිරයේ නිරි සතෙකුගේ ආයු කාලය සංජීව නිරයේ අවුරුදු 500ක් හෙවත් මනු ලොව අවුරුදු ලක්ෂ 4500කි. ( මනු ලොව අවුරුදු නව ලක්ෂයx 500= මනු ලොව අවුරුදු ලක්ෂ 4500ක්)
කාල සූත්‍රය – දෙමව්පියන්, ගුරුවරුන් හට පව්කම් සිදු කරන ලද මිනිසුන්, මිත්‍යා දෘෂ්ටිකයින් කාල සූත්‍ර නිරයේ ප්රතිසන්ධිය ලබයි. මෙහි නිරි සතුන්ගේ ආයු කාලය කාල සූත්‍රයේ වසර දහසකි (මනු ලොව වසර ලක්ෂ 36,000කි ). එහි එක් දිනක් සංජීව අපායට දින 4කි. (4xලක්ෂ 9×1000= ලක්ෂ 36,000ක්)
සංඝාත– ගව ඝාතනය මෙන්ම එළු සහ කුකුල් වැනි සත්ත්වයින් ඝාතනය කළ මනු සතුන් ප්රතිසන්ධිය ලබන නිරය මෙයයි. මෙම නිරි සතුන්ගේ ආයුෂ වසර දෙදහසකි (මනු ලොව අවුරුදු 288,000කි ). සංඝාතයේ එක් දිනක් කාල සූත්‍රයේ දින සතරකි. (4x4xලක්ෂ 9 x2000= ලක්ෂ 288,000)
රෞරවය-සත්තව හිංසනය සිදු කළවුන් සහ අනුන් රවටා ජීවත් වූවන් මරණින් පසු උපදින්නේ මෙම නිරයේය. මෙහි නිරි සතුන්ගේ ආයුෂ රෞරවයේ වසර 4000කි. සංඝාත නරකයේ දින සතරක් මෙහි එක් දිනකි. (4x4x4xලක්ෂ 9 x4000= ලක්ෂ 2,304,000)
මහා රෞරවය– බුදුන්, දහම් සහ සඟුන් සතු වස්තුව සොරා ගන්නා ලද මනු සතුන් මෙම නරකයේ ප්රතිසන්ධිය ලබයි. මෙහි අනන්ත දුක් විඳිමින් දිවි ගෙවන නිරි සතෙකුගේ ආයුෂ මහා රෞරවයේ වසර 8000කි. මෙහි එක් දිනක් රෞරවයේ දින සතරකි. (4x4x4x4xලක්ෂ 9×8000= (ලක්ෂ 18, 432,000)
තාපය– ප්‍රාණඝාතය සහ දුසිරිතෙහි ඇලී ගැලී ජීවත්වූ මනු සතුන් සහ මිථ්‍යා දෘෂ්ටිකයින් ප්රතිසන්ධිය ලබන නිරය මෙයයි. මෙහි නිරිසතුන් තාපයේ වසර දහසය දහසක් ජීවත් වෙති. මෙහි එක් දිනක් මහා රෞරවයේ දින සතරෙකි. (4x4x4x4x4xලක්ෂ 9x 16,000= ලක්ෂ 147,456,000)
මහා තාපය– බුදුන්, බුදුන් දෙසූ දහම සහ සංඝයා වහන්සේලා අසත්‍ය බව පිළිගෙන, ත්‍රිවිධ රත්නයට නිග්‍රහකොට මිත්‍යා දෘෂ්ටියේ එල්බගෙන සිට මියගිය මිනිසුන් මෙම නිරයේ ප්රතිසන්ධිය ලබති. මෙම නරකයේ නිරි සතුන්ගේ ආයු කාලය කල්ප ගණනක් වේ.
අවීචිය– මෙම අපාය ව්‍යවහාරයේ අවීචි මහා නරකාදිය ලෙසද හැඳින්වේ. අවීචි මහා නරකාදිය යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කෙරෙන්නේද ඉතා කටුක සහ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ දුක් වේදනා සහ විඳවීම් සහිත නරකයයි. අවීචියේ උපත ලබන්නේ ආනත්තරීය පාප කර්ම හෙවත් මව් පියන් මැරීමෙන් හටගත් පාප කර්ම සහිත මනු සතුන්ය. එමෙන්ම, අර්හත් භාවයට පත් සංඝයා වහන්සේලා ඝාතනය නිසා ඇති වූ පාප කර්මයත් බුදු වරුන්ගේ ලේ සෙලවීමෙන් ඇතිවූ පාප කර්මයත්, සංඝ භේදය ඇති කිරීමෙන් හටගත් පාප කර්මයත් සහිත බුදුන්, දහම් සහ සඟුන් සතු දේපොළ, පංසල්, බුද්ධ ප්‍රතිමා, දාගැබ් ආදිය විනාශ කරන ලද මිථ්‍යා ලබ්ධීන්ගේ එල්බගෙන ජීවත්ව මියගොස් ප්රතිසන්ධිය ලබන්නේ අවීචි මහා නරකාදියේය. අවීචිය පහළම මට්ටමේ ඇති නරකය වන අතර, මෙහි සිටින නිරිසතුගේ විඳවීමේ, වේදනාවේ සහ දුකෙහි කෙළවරක් නොමැත. මොවුන්ගේ ආයු කාලය නිරයේ කාලයෙන් කල්පයකි. මෙය මනු ලොව කල්ප ගණනාවකි.
මෙම නිරයන් අටෙහි උප නිරයන් 136ක් ඇති බවද බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. තවද, ලෝකාන්තරික, ලොහොකුඹු, වේතරණි, කටු ඉඹුල නම් නරකයන් කිහිපයක් පිළිබඳව දැනුමක් ද බුදු දහම ලබා දේ.
තිරච්ඡාන භූමිය
තිරිසන් අපාය යන වචනයද සාමාන්‍ය ව්‍යවහාරයේ අසන්නට ලැබෙන්නකි. තිරච්ඡාන යනු තිරිසන් ය. තිරච්ඡාන භූමිය යනු යනු තිරිසන් සතුන් ජීවත්වන භූමියයි. තිරිසන් සතුන්ගේ සිරුර ඔවුන්ගේ භූමියයි. තිරිසන් සතුන් අපාය ප්රතිසන්ධිය ලැබූ සත්ත්ව කොටසකි. තිරිසන් සතුන්හට ධර්මාවබෝධය ලබා ගත නොහැකිය. ප්‍රාණඝාතය තිරච්ඡාන භූමියේ නිතැතින්ම සිදුවන්නකි. පින් කර ගැනීමේ අවස්ථා තිරිසන් සතුන් හට අල්පය. තිරිසන් යෝනියේ උපත ලද සත්ත්වයින් නිරන්තර දුකට භාජනය වෙමින් ජීවත් වන්නෝය. කුසට ආහාර ලබා ගැනීම උගහටය.කුණු කසල, අසූචි ආදියද ඔවුන්ගේ ආහාරය. අව්වට වැස්සට සෙවණක් ඔවුනට නොමැත. තිරිසන් අපාය නමින් මිනිසුන් හඳුන්වන්නේ තිරිසන් උත්පත්තියයි. තිරච්ඡාන භූමියේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන යෝනීන්හි උපත ලත් සත්ත්වයෝ වෙති.
ප්‍රේත භූමිය
ප්‍රේතයින් යනු මිනිස් වාස භූමියේද සිටින මිනිසාගේ ම්සැසට නොපෙනෙන සත්ත්ව කොටසකි. තිරිසන් සත්ත්වයින් මෙන්ම ප්රේතයින්ද මනු ලොව ජීවත් වේ. ප්‍රේතයින් ජීවත් වන නිශ්චිත ලෝකයක් නැති අතර, ඔවුන් ප්‍රේත යෝනියෙහි උපත ලබයි. මනු ලොව සිටියදී ලෝභයෙන් සහ තෘෂ්ණාවෙන් ජීවත් වූවන් බොහෝ විට මරණයෙන් පසු ප්‍රේත යෝනියේ ප්රතිසන්ධිය ලබයි. ප්‍රේත යෝනියේ උත්පත්තිය ලබන මෙම සත්ත්වයින් පෙරේත ආත්ම ලෙසද හඳුන්වයි. ඔවුනට නිසි හැඩයක් නැත. අනන්ත දුක් විඳිමින් ජීවත් වෙති. පෙරේත අපාය යනුවෙන් හඳුන්වන්නේ ද ප්‍රේත භූමියයි. ප්‍රේතයින්ගේ පංචස්කන්ධය ඔවුන්ට වාස භූමියකි.
අසුර භූමි
අසුරයින් පිළිබඳව බුදු දහමේ බොහෝ තැන්වල සඳහන් නොවුවද, හින්දු ධර්මයේ අසුරයින්ට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි. ඔවුන් දෙවියන්ටත් වඩා බලවත් බව හින්දු ධර්මයේ තැනෙක සඳහන් වේ. සුර-අසුර යුද්ධය බෞද්ධයින් ද අසා ඇතුවාට සැක නැත. අසුරයින් යනුවෙන් හින්දු දහමේ සඳහන් වන්නේ සුරයින් හෙවත් දෙවියන්ට එරෙහි වූ තරමක් බලවත් අධර්මිෂ්ට කොටසකි.
බුදු දහමේ සඳහන් අසුරයින්ට නිසි වාස භූමියක් නොමැත. තිරිසන්. ප්‍රේත මෙන්ම අසුර සත්ත්වයෝද තම පංචස්කන්ධයම භූමිය කොටගත් සත්ත්ව කොටසකි.
බුදු දහමේ අසුරයින් කොටස් පහක් පිළිබඳව සඳහන් වේ. දේව අසුර, විනිපාතික අසුර, වේමානික අසුර, ප්‍රේත අසුර සහ ලෝකාන්තරික අසුර යනු ඒ අසුරයින් පස් වර්ගයයි. දේව අසුරයෝ දෙවියන්ට එරෙහි කොටසකි. මෙම අසුරයින්ගෙන් සමහරෙක් තව්තිසා දෙව්ලොව උපත ලැබුවද, දෙව්ලොව දෙවියන්ට මෙන් ඔවුනට ධ්‍යාන ලබා ගැනීමේ හැකියාව නැත. තවද, යම ලොවට අධිපති යම රජ්ජුරුවන් ද අසුරයෙකි.
කාම සුගති භූමි
කාම සුගති භූමි සතකි. ඒවා නම්
මනුෂ්‍ය භූමිය, චතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය
මනුෂ්‍ය භූමිය
බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් අන්දමට මහාද්වීප සතරක් මනුෂ්‍ය භූමියට ඇත. ඒවා පූර්ව විදේහය, උතුරුකුරු දිවයින, අපර ගොයානය සහ ශ්‍රී ලාංකිකයින් ජීවත්වන ජම්බුද්වීපයයි. දිව්‍යලෝකයටත් අපායටත් අතර මැද මනුෂ්‍ය භූමිය පිහිටා ඇත. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සත්ත්වයින් අපායේ ජීවත්වන සත්ත්වයින් තරමට පව් කොට නැතත්, දිව්‍ය ලෝක සම්පත්තිය ලැබීමට තරම් පුණ්‍යවන්තයෝ නොවෙති. නමුත් මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සත්ත්වයින්ට ධර්මාවබෝධය ලබා ගැනීමටත්, අර්හත් භාවයට පත් වීමටත් බුද්ධත්වයට පත් වීමටත් හැකියාව ඇත. මනුෂ්‍ය ලෝකයේදී සිදු කරනු ලබන කර්මපල විපාක හේතුවෙන් අපායේ සහ දිව්‍ය ලෝකයේ ප්රතිසන්ධිය ලැබීමේ හැකියාව ඇත.
චතුම්මහාරාජිකය
මෙම භූමිය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පිහිටා ඇත. මෙහි දිව්‍ය විමානයන් ඇති බව බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් වේ. මනුෂ්‍ය භූමියේ මෙන් ගංගා, ගස්වැල්, පර්වත, සමුද්‍රයන් පිහිටා ඇත. මෙය සතරවරම් රජවරුන්ගේ වාස භූමියක් වන හෙයින් චතුම්මහාරාජිකය යනුවෙන් හඳුන්වයි. චතුම්මහාරාජිකයේ ජීවත් වන දෙවියන්ට ආයුෂ මනු ලොව වසර ලක්ෂ අනූවකි.
තාවතිංසය/තව්තිසා
චතුම්මහාරාජිකයට ඉහළින් පිහිටා ඇති භූමියකි තාවතිංසය. තාවතිංසය යනුවෙන් මෙය හඳුන්වන්නේ මාඝ මානවකයා ඇතුළු තිස් තුන් දෙනෙකු මෙම භූමියේ උපත ලද හෙයිනි. තිස් තුන් දෙනෙකු යන්න තෙත්තිංස/ තාවතිංස/ තව්තිසා යනුවෙන් හඳුන්වයි. තාවතිංස දෙව්ලොව දෙවියන්ගේ ආයුෂ මනු ලොව වසර තුන් කෝටි හැට ලක්ෂයකි.
යාමය
තව්තිසා දෙව්ලොවට ඉහළින් පිහිටා ඇති මෙම දෙව්ලොව සැප සහිත දුකින් මිදුණු ස්ථානයකි.
යාම දෙව්ලොවේ දෙවියන්ට ආයුෂ මනු ලෝ වසර තුදුස් කෝටි හතලිස් ලක්ෂයකි.
තව්තිසා
තව්තිසා/තුසිත දෙව්ලොව පුණ්‍යවන්ත දෙවියන් වසන දෙව්ලෝකයයි. තුසිත දෙව්ලෝ දෙවියන්ට ආයුෂ මනු ලෝ වසර පණස් හත් කෝටි හැට ලක්ෂයකි.
නිම්මාන රතිය
තමන් විසින් නිර්මාණය කර ගනා ලද දෙව් ලෝකයේ සැප සම්පත්තියෙන් ආඪ්‍ය වූ දෙවිවරුන් මෙම දෙව්ලොවේ වාසය කරන හෙයින් එය නිම්මාන රතිය ලෙස හඳුන්වයි. නිම්මාන රතියෙහි දෙවියෙකුගේ ආයු කාලය මනු ලෝ වසර දෙසිය තිස් කෝටියක් පමණ වේ.
පරනිම්මිත වසවර්තිය
අනුන් විසින් නිර්මිත දෙව් ලොවක සියලු සැප සම්පත් සහිතව ඒ සම්පත් තමා සතුකොටගෙන ජීවත් වන හෙයින් මෙම දෙව්ලොව පරනිම්මිත වසවත්තිය ලෙස හඳුන්වයි. මෙහි වසන දෙවියන්ගේ ආයු කාලය මනු ලෝ වසර කෙළ කෝටි ගණනකි.
රූපාවචර භූමි
රූපාවචර භූමි 16ක් පිළිබඳව බුදු දහමේ සඳහන්වන අතර, ඒවා කොටස් 4කට බෙදා ඇත.
ප්‍රථමධ්‍යාන භූමි- බ්‍රහ්ම පරිශදය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය
ද්විතීය ධ්‍යාන භූමි- පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර
තෘතීය ධ්‍යාන භූමි- පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක
චතුර්ථ ධ්‍යාන භූමි- වේහප්ඵලය, අසඤ්ඤසත්වය, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ
ප්‍රථම ධ්‍යාන භූමිය – මෙය පිහිටා ඇත්තේ කාම සුගති භූමියේ ඉහළම තලයේ පිහිටා ඇති පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයට යොදුන් පණස් පන් ලක්ෂ අට දහසක් එපිටිනි. ප්‍රථම ධ්‍යානයේ ප්‍රථම භූමිය වන බ්‍රහ්ම පාරිශද්යය මෙම රූපාවචර භූමීන්හි වාසය කරනු ලබන මහා බ්‍රහ්මයන්ගේ උපස්ථායක පිරිස වාසය කරන ස්ථානය බව සඳහන් වේ. බ්‍රහ්ම පුරෝහිත භූමිය මහා බ්‍රහ්මයන්ගේ අමාත්‍ය සහ පුරෝහිත බ්‍රහ්මයන්ගේ භූමියයි. ධ්‍යාන සම්පත්ති සහිත මහා බ්‍රහ්මයින් වසන භූමිය මහා බ්‍රහ්මය ලෙස හඳුන්වයි.
බ්‍රහ්ම පාරිශද්යයේ ආයු කාලය අසංඛ්‍ය කල්ප තුනෙන් එකකි. බ්‍රහ්ම පුරෝහිතයේ ආයු කාලය අසංඛ්‍ය කල්ප භාගයකි. මහා බ්රහ්මයට අසංඛ්‍ය කල්පයක ආයුෂ පවතී.
ද්විතිය ධ්‍යාන භූමිය– මෙය ප්‍රථම ධ්‍යාන භූමියට ඉහළින්, යොදුන් පණස්පන් ලක්ෂ අට දහසක් එපිටින් පිහිටා ඇත. මෙම බ්‍රහ්ම ලෝකයන්ට ලැබෙන ආලෝකය මත පදනම්ව ඒවා පරිත්තාභ, අප්පමාණාභ සහ ආභස්සර ලෙස හඳුන්වනු ලබයි. ආලෝකය ස්වල්පයක් ලැබෙන බ්‍රහ්ම ලෝකය පරිත්තාභ ලෙසත්, ආලෝකය අප්‍රමාණව ලැබෙන බ්‍රහ්ම ලෝකය අප්පමාණාභ බ්‍රහ්ම ලෝකය ලෙසත් හඳුන්වනු ලබයි. සිරුරෙන් නික්මෙන ආලෝකය සහිත බ්‍රහ්ම ලෝක වාසීන් ජීවත්වන්නේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේය. මෙම බ්‍රහ්ම ලෝක ත්‍රිත්වයම එකම තලයක පිහිටා ඇති අතර ඉතා ආලෝකමත්ය. පරිත්තාභ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 2කි. අප්පමාණාභ බඹ ලොවේ ආයු කාලය මහා කල්ප 4කි. ආභස්සර බඹ ලොවට මහා කල්ප 63ක් සහ අසංඛ්‍ය කල්ප 1ක් ආයුෂ පවතී.
තෘතිය ධ්‍යාන භූමිය- මෙය ද්විතිය ධ්‍යාන භූමියෙන් යොදුන් පණස් පන් ලක්ෂ අට දහසකට එපිටින් පිහිටා ඇත. පරිත්තසුභ, අප්පමාණසුභ සහ සුභකිණ්හ නැමැති බ්‍රහ්මයින්ගේ වාසස්ථානය තෘතිය ධ්‍යාන භූමියයි. මෙම භූමියේ වසන බ්‍රහ්මයින්ගේ ශරීර ඉතා ප්රභාමත්ය. පරිත්ත සුභයේ ආයු කාලය මහා කල්ප 16ක් ද, අප්පමාණ සුභයේ ආයු කාලය මහා කල්ප 32ක් ද, සුභ කිණ්හයේ ආයු කාලය මහා කල්ප 63ක් සහ අසංඛ්‍ය කල්ප 1කි.
චතුර්ථ ධ්‍යාන භූමිය- තෘතිය ධ්‍යාන භූමි ත්‍රිත්වයට යොදුන් පණස් පන් ලක්ෂ අට දහසක් එපිටින් පිහිටා ඇත්තේ චතුර්ථ ධ්‍යාන භූමියයි. ප්‍රථම, ද්විතිය, තෘතිය සහ චතුර්ථ ධ්‍යාන භූමි එකිනෙකට යොදුන් පණස් පන් ලක්ෂ අට දහසකට එපිටින් පිහිටියද එකම තලයක පිහිටා ඇත.
වේහප්පල සහ අසඥ්ඥසත්තයද සුද්ධාවාස නමින් භූමි 5ක් ද මෙම චතුර්ථ ධ්‍යාන භූමි තලයේ වේ. සුද්ධාවාස භූමි පහේ ප්‍රථම භූමිය මඳ කලකින් අත් නොහරින භූමියක්ය යන අරුත ඇති අවිහයයි. කිසිදු හේතුවක් නිසාවත් නොතැවෙන යන අර්ථයෙන් අතප්ප යන නම ඊළඟ භූමියට ලැබී ඇත. ඉතා සුන්දර රූපයකට උරුමකම් කියන බ්‍රහ්මයින්ගේ වාස භූමිය සුදස්ස නමින් හඳුන්වයි. ඉතා පිවිතුරු සහ රුවින් උතුම් බ්‍රහ්මයින් වාසය කරන්නේ සුදස්සි භූමියේය. උතුම් සම්පත්තින්ගෙන් අනූන සහ අනෙකුත් බ්‍රහ්මයින් හා සැසඳීමේදී බාල (කණිෂ්ඨ ) නොවන හෙයින් අකණිට්ඨ යනුවෙන් හඳුන්වනු ලබන භූමිය පස්වන සුද්ධාවාස භූමියයි.
මෙම වාස භූමි සුද්ධාවාස ලෙස හඳුන්වන්නේ කෙලෙස් රහිත අනාගාමි ආර්යයන් ජීවත් වන නිසාය. මෙම බ්‍රහ්මයින්ට කිසි කලෙක මෙම සුද්ධාවාස භූමින්ගෙන් පිටත පැවැත්මක් නොමැති නිසා එම බ්‍රහ්ම ලෝකයේම ඉපිද, අර්හත් හාවය ලබා පිරිනිවන් පාති. නැවත ඉපදීමක් ද නැත.
වේහප්පලයට මහා කල්ප 500ක ආයුෂ ද, අසඤ්ඤසත්තයට මහා කල්ප 500ක් ද ආයුෂ ඇත. පස් වැදෑරුම් සුද්ධාවාස භූමින්හි ප්‍රථමය වන අවිහයට මහා කල්ප 1000ක් ද, අතප්පයට මහා කල්ප 2000ක් ද, සුදස්සයට මහා කල්ප 4000ක් ද, සුදස්සියට මහා කල්ප 8000ක් ද, අකණිට්ඨයට මහා කල්ප 16,000 ක් ද ආයුෂ පවතී.
අරූපාවචර භූමි
අරූපාවචර භූමි 4ක් පිළිබඳව බුදු දහමේ සඳහන් වේ. ඒවා නම් ආකාශානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි. රූපාවචර භූමින්හි එපිටින්ම පිහිටන අකණිට්ඨ භූමියට යොදුන් පනස් පන් ලක්ෂ අසූදහසක් ඉහළින් අරූපාවචර භූමියේ ප්‍රථමය වන ආකාශානඤ්චායතනය පිහිටා ඇත. අනෙකුත් භූමින් ත්‍රිත්වයද එකිනෙකට එපමණ දුර අන්තරයකින් පිහිටා ඇත.
අරූපාවචර භූමින්හි හටගන්නේ නාමස්කන්ධයන් පමණි.
ආකාශානඤ්චායතනයේ ආයු කාලය මහා කල්ප 20,000ක් වන අතර, විඤ්ඤාණඤ්චායතනයේ ආයු කාලය මහා කල්ප 40,000කි. ආකිඤ්ඤායතනයට මහා කල්ප 60,000ක් ද නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ආයුෂ මහා කල්ප 84,000ක් ද පවතී.
කල්පයක් යනු කෙතරම් කාලයක් ද?
අහසින් ගමන් ගන්නා යමෙක් ඉතා දුහුල් සළුවක් හැඳ, වසර සියයකට එක් වරක් පමණක් මහා මේරු පර්වතය වැනි මහා පර්වතයක් අසලින් යන විට එම දුහුල් සළුව පර්වතයේ ගෑවීම හේතුවෙන් යම් කලෙක එම පර්වතය ගෙවී අබැටක් තරම් වන්නේ වී නමුත් අවුරුදු ගණන නොගෙවෙන්නේද එම කල්පය අසංඛ්‍ය කල්පයකි. එවන් අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයකි. මෙවන් කාලයක් මනුෂ්‍යයාට සිතා ගැනීමටවත් අපහසු තරම් වන කාලයකි. එසේ හෙයින් මහා කල්ප ගණන් ආයුෂ සහිත ලෝක වල වසන සත්ත්වයින් සදා කාලික යැයි මිනිසුන් හට කිව හැක.