ඡායාරූප සහ සටහන පංචමී හේවාවිසෙන්ති
මෙම රාමසාන් මාසයේ ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමත්හු උපවාසයේ යෙදී ආධ්‍යාත්මික, ආගමික, සාමාජීය, මානසික සහ සෞඛ්‍යමය ප්‍රයෝජන රැසක් ලබා ගනිති. උදෑසන හිරු උදාවට පෙර සරල ආහාරයකින් සප්පායම් වී හිරු බැස යන තෙක් කුසගින්නේ සිටිමින් සවස් යාමයේ උපවාසය අත් හැරීම සිදු කරයි.
දවසේ දිගු වේලාවක් කුසගින්නේ සිට උපවාසය අත හැරීමේදී මුලින්ම දියර සහිත සරල ආහාරයක් ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් දෙනු ලබන්නේ එය ශරීර සෞඛ්‍යය පවත්වා ගෙන යෑමට උපකාරී වන නිසාය. එසේ ලබා ගන්නා ආහාර වේල ඉතා සරල මෙන්ම පෝෂණ ගුණයෙන් ද ඉහළ විය යුතුය. එය සිරුරේ නැතිවූ ශක්තිය ලබා දීමට උපකාරී වේ.
ඉස්ලාම් ග්‍රන්ථවල සඳහන් පරිදි නබී (සල් ) තුමා රාමසාන් මාසයේ උපවාසය අත් හැර ඇත්තේ රට ඉඳි සහ ජලය භාවිතයෙනි. වර්තමානයේද ඉස්ලාම් බැතිමතුන් උපවාසය අත් හරින්නට භාවිතා කරන්නේ රට ඉඳි සහ ජලයයි. රට ඉඳි සතුව පවතින සුවිශේෂී ගුණ නිසා රට ඉඳි රාමසාන් උපවාස කාලයේ විශේෂ ස්ථානයක් ගනී. තවද, රාමසාන් මාසයේ උපවාසය අත් හැරීමේ සමය හෙවත් ඉෆ්තාර් සමය සඳහා සකසන ආහාර වර්ග සඳහා ද රටඉඳි එකතු කර ගනු දක්නට ලැබේ.
මෙහි සඳහන් වන්නේ රාමසාන් ඉෆ්තාර් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද රට ඉඳි සහ ඔටු කිරි භාවිතයෙන් සකසන මිල්ක් ෂේක් එකක් සකසා ගන්නා ආකාරයයි.
ඉස්ලාමයේ උපත සිදු වූ මැදපෙරදිග රටවල ඔටු කිරි රට ඉඳි බහුලව දක්නට ලැබේ. රට ඉඳි මෙන්ම ඔටු කිරිද මැද පෙරදිග රටවල ඉෆ්තාර් හෙවත් උපවාසය අවසන් කිරීම සඳහා භාවිතා කරන ඉතා ජනප්‍රිය ආහාර වර්ග දෙකකි. සාමාන්‍ය එළකිරි හා සැසඳීමේදී ඔටු කිරි ඉහළ පෝෂණ ගුණයක් සහිත බව සඳහන් වේ. ඔටු කිරි, රට ඉඳි සහ පලතුරු භාවිතයෙන් සකසන මෙම පෝෂණීය ආහාරමය පානය උපවාසයේ යෙදීම නිසා සිරුරට නොලැබුණු පෝෂණය මෙන්ම ශක්තියද නැවත ලබා දී කුසගිනි නිවීමට ද උපකාරී වේ. තවද, සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය ද මෙමඟින් ලබා දේ. කෙසේ නමුත්, බොහෝ වේලා කුසගින්නේ සිටීමෙන් අනතුරුව එක් වරම ආමාශයට ආහාර විශාල ප්‍රමාණයක් එක්කිරීම හිතකර නොවන නිසා මෙවන් ආහාරමය පානයකින් ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝය.
ගුණය මෙන්ම ඉහළ රසයකින් ද යුක්ත ඔටු කිරි, රට ඉඳි සහ පලතුරු මිල්ක් ෂේක් රාත්‍රී කාලයේ කළ යුතු ආගමික වතාවත්වල ක්‍රියාශීලීව සහ ශක්තිමත්ව යෙදීමට අවශ්‍ය ශක්තිය ලබා දේ.
මෙම මිල්ක් ෂේක් එක සකසා ගැනීමට ඔබට අවශ්‍ය ඔටු කිරි ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. විවිධ රස වර්ග එකතු කළ ඔටු කිරි මෙන්ම එසේ එක් නොකළ ඔටු කිරිද වෙළෙඳපොළේ තිබේ. මෙම මිල්ක් ෂේක් එක සඳහා රස වර්ග එකතු නොකළ ඔටු කිරි භාවිත කිරීම සුදුසුය.
අවශ්‍ය ද්‍රව්‍ය
ඔටු කිරි මි.ලී. 250
රට ඉඳි 20ක්
කෙසෙල් ගෙඩි 1ක්
ඇපල් ගෙඩියක්
ස්ට්‍රෝබෙරි ගෙඩි 5ක්
ස්වාභවික මී පැණි මේස හැඳි 1යි
කුරුඳු කුඩු ස්වල්පයක්
කරදමුංගු කුඩු ස්වල්පයක්
සාදන ක්‍රමය
මැටි භාජනයක් ගෙන එයට ඔටු කිරි දමා මඳ ගින්නේ විනාඩි 10ක් පමණ රත් කර ගන්න. වරින් වර හැඳි ගාන්න. ඔටු කිරි විනාඩි 10ක් රත් වූ පසු එය ලිපෙන් බාගෙන නිවෙන්නට හරින්න. ඔබ ජීවත් වන්නේ මැද පෙරදිග රටක නම් නැවුම් කිරි මේ සඳහා ලබා ගැනීම අසීරු නොවේ. නමුත් ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක දී නැවුම් ඔටු කිරි ලබා ගැනීම අපහසු නිසා පැශ්චරීකෘත ඔටු කිරි මේ සඳහා භාවිත කළ හැක.
ඔටු කිරි නිවෙන්නට තබන අතරතුර රට ඉඳි හොඳින් සෝදා ඇට ඉවත්කර ගන්න. හේසල් නට් බටර් ස්වල්පයක් භාජනයකට දමා ලිප තබා රත් කර ගන්න. එයට රට ඉඳි දමා විනාඩි 3-4ක් හැඳි ගාමින් බැද ගන්න. රට ඉඳි පදමට තෙම්පරාදු කර ගැනීම ප්‍රමාණවත් වේ. රට ඉඳි ප්‍රමාණයට අධික ලෙස බැද ගැනීමෙන් තිත්ත රස විය හැක.
තෙම්පරාදු කරගත් රට ඉඳි ලිපෙන් බාගෙන රෙදි කැබැල්ලක් හෝ ටිෂූ කඩදාසියක් මත සිසිල් වන්නට තබන්න. මෙමඟින් රට ඉඳිවල අධික ලෙස ඇති තෙල් ඉවත් වේ. ඇපල් ගෙඩියක් ගෙන පිට පොත්ත ඉවත් කොට කුඩා කැබලි වලට කපා ගන්න. කෙසෙල් ගෙඩියද කැබලි වලට කපා ගන්න. ස්ට්‍රෝබෙරි ද සෝදා ගන්න.
බ්ලෙන්ඩරයකට තෙම්පරාදු කරගත් රට ඉඳි, කපා ගත් ඇපල්, කෙසෙල් සහ ස්ටොර්බෙරි ද ඔටු කිරි ද එක්කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන් පසු ස්වභාවික මී පැණි, කුරුඳු කුඩු සහ කරදමුංගු කුඩු ද එක්කර හැන් දකින් කලවම් කර ගන්න. මෙසේ සාදා ගත් මිල්ක් ෂේක් එක ශීතකරණයක තබන්න.
නෝම්බි උපවාසය අවසන් වීමට මගරිබ් යාඥා අසාන් හඬ ඇසුණු විගස සාම්ප්‍රදායික ලෙස වතුර සහ රට ඉඳි ගෙඩියකින් උපවාසය අවසන් කර මෙම ශීත කළ ඔටු කිරි, රට ඉඳි සහ පලතුරු මිල්ක් ෂේක් එක පානයට ගත හැක. රාත්‍රී ආහාරය ලබා ගන්නා තෙක් ඔබට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය මෙයින් ලබා දේ.