ව්‍යායාම යනු වයස් භේදයකින් තොරව කාහටත් නීරෝගීව සිටීමට උපකාරී වන ශාරීරික ක්‍රියාකාරකමකි. වයස්ගත වීමත් සමඟම බොහෝ වැඩිහිටියන් ඇඟපත වෙහෙසා වැඩ කිරීම හෝ ව්‍යායාම කිරීමෙන් දුරස්වන්නේ වයස්ගත වූ පසු සිරුර වෙහෙසීම සුදුසු නැත යන මිත්‍යා මතය මත පදනම්වය. මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයක් සහිත වයස්ගත පුද්ගලයෙකුට ව්‍යායාම කිරීම හෝ සිරුර වෙහෙසා වැඩ කිරීම සුදුසු ද නැතිද යන්නයි.

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන මෙත්මල් සුබසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙකු වන අතර ශරීර සුවතාව පිළිබඳ උපදේශකයෙකුද වේ. තවද ඔහු ව්‍යායාම සහ ක්‍රීඩා විද්‍යාව පිළිබඳව උසස් ඩිප්ලෝමාධාරියෙකුද වේ.
සන්ධි වේදනාව වයස්ගත වීමත් සමඟම බොහෝ දෙනෙකු අත්දකින අපහසුතාවයකි. වයස්ගත පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු දණහිස් හෝ තුනටියේ වේදනාවෙන් පෙළීම බහුලව දැක ගත හැකි දෙයකි. මෙම සන්ධි වේදනාවන් හේතුකොටගෙන ඔවුනට තම එදිනෙදා කටයුතු පවා කරගැනීම අපහසු වේ. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හීන වීමක්ද මේ නිසා සිදු වේ.
මෙසේ වයස්ගත වීමත් සමඟම සන්ධි වේදනා ඇති වීමට එක් හේතුවක් වනුයේ ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ආතරයිටිස් නමින් හඳුන්වන රෝගී තත්ත්වයයි. අස්ථි ගෙවී යාම නිසා මෙම තත්ත්වය හට ගනී.
මිනිස් සිරුරේ සන්ධියක් යනු අස්ථි දෙකක් එකට හමුවන ස්ථානයකි. මෙම අස්ථි දෙක එකට හමුවන ස්ථානයේ පිහිටා ඇති කාටිලේජ (articular cartilage), අස්ථි සඳහා ‘කුෂන් එකක්’ මෙන් ක්‍රියා කරයි. වයස්ගත වීමත් සමඟම මෙම මෘදු කාටිලේජ ගෙවී යාම හේතුවෙන් අස්ථි දෙකෙහි රළු මුහුණත් එකිනෙකට ස්පර්ශ වීම සිදු වන අතර, මේ හේතුවෙන් අස්ථි ගෙවී යාමත් වේදනාව හට ගැනීමත් සිදු වේ. විශේෂයෙන්ම ඇවිදින විට සහ සිරුරේ අවයව සොලවා විවිධ කාර්යයන් කිරීමේදී සන්ධි වේදනාව හට ගනී.
ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය සහිත වැඩිහිටියන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මේ හේතුවෙන් අවම වේ. වෙනදාට සිදු කරනු ලබන එදිනෙදා ක්‍රියාකාරකම් පවා සිදු නොකිරීමට පෙළඹීමක් මෙම තත්ත්වය යටතේ දැක ගත හැක.
එවන් තත්ත්වයක් යටතේ ව්‍යායාම් කිරීමට පෙළඹීම ඔවුන්ගෙන් කිසිසේත් අපේක්ෂා කළ නොහැක.
කෙසේ නමුත්, ව්‍යායාම් යනු වයස් භේදයකින් තොරව නීරෝගී ශරීරයක් මෙන්ම සෞඛ්‍ය තත්ත්වයක් ද පවත්වා ගැනීමට අවශ්‍ය දෙයකි. තරුණ පුද්ගලයින්ට වඩා ව්‍යායාම කිරීම වයස්ගත පුද්ගලයිනට වැදගත් වනුයේ එය ඔවුන්ගේ නීරෝගී පැවැත්මටත් ස්වාධීන ජීවන රටාවටත් ඉවහල් වන බැවිනි. එසේ හෙයින්, වයස්ගත පුද්ගලයින්ට ව්‍යායාමයේ අවශ්‍යතාවය කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැක.
කියවන්න
සාමාන්‍යයෙන් වයස්ගත වන විට සිරුර වෙහෙසී කරන ක්‍රියාකාරකම්වලින් ඈත් වීමක් දක්නට ලැබෙන අතර, ඔස්ටියෝ ආතරයිටිස් වැනි තත්ත්වයක් සහිත පුද්ගලයෙකු ව්‍යායාමයේ යෙදීම කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි දෙයකි. ආතරයිටිස් වැළඳුණු වයස්ගත පුද්ගලයෙක් එක් තැනක සිටීමට හෝ ශාරීරික ක්‍රියාකාරකම් අවම මට්ටමක පවත්වාගෙන යෑම සඳහා මානසිකව හැඩගැසීමක් දක්නට ලැබේ. ඔවුන් පෙරට වඩා අවම ශාරීරික ක්රියාකාරීත්වයක් ද පෙන්නුම් කරයි. එයට හේතුව සිරුර සෙලවීම නිසා හට ගන්නා සන්ධි වේදනාවයි. එය සාමාන්‍ය තත්ත්වයකි. වයස් භෙදයකින් තොරව ඕනෑම අයෙකුට සිරුරේ කිසියම් ස්ථානයක වේදනාවක් හටගත් විට එම අවයවය සෙලවීම අපහසු විය හැක. එනිසා ඔස්ටියෝ ආතරයිටිස් රෝග වැළඳුණු වැඩිහිටියන් ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඉවත්වී සිටීම සාමාන්‍ය දෙයකි.
කෙසේ නමුත්, ඔස්ටියෝ ආතරයිටිස් හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාමයෙන් ඈත්වී සිටින වයස්ගත පුද්ගලයෙකුට එම වයසේම ව්‍යායාම කරනා පුද්ගලයෙකු හා සැසසඳීමේදී හෘදය රෝග, අධි රුධිර පීඩනය, අඝාතය, දියවැඩියාව ආදි රෝග හට ගැනීමේ සම්භාවිතාව ඉහළය. තවද, එවන් බෝ නොවන රෝග දැනටමත් වැළඳී ඇත්නම් ඒවා පාලනය කිරීමද අපහසු වේ.
වයස්ගත වීමත් සමඟම අත්දැකීමට සිදුවන සන්ධි වේදනාව යනු ව්‍යායාමයෙන් වැළකී සිටීමට නිදහසට කරුණක් නොවේ. ඒ මන්දයත් තරුණයින්ටත් වඩා ව්‍යායාමයේ වැදගත්කම වයස්ගත පුද්ගලයින්ට තිබෙන බැවිනි. වයස්ගත වීමත් සමඟම අත්දැකීමට සිදුවන අමතක වීම සහ විවිධ මානසික ව්‍යාකූලතා පාලනයටත් ව්‍යායාම් වැදගත් වේ. ඒ අනුව බලන කල වයසගත වූ පසු ඇතිවන ශාරීරික මෙන්ම මානසික අපහසුතා සඳහාද ව්‍යායාම් අත්‍යවශ්‍ය අංගයකි.
දිගු කාලයක් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය පැවතීම හේතුවෙන් එම සන්ධිය ආශ්රිත මාංශ පේශි දුර්වල වේ. එය එම මාංශ පේශියේ ස්වායු ධාරිතාව අවම කිරීමටද හේතු වේ.
වයස්ගත වීමත් සමඟම සන්ධි වේදනාවක් ඇති වුවහොත් මුලින්ම ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය වනුයේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමයි. එම රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර, වෛද්‍යවරයාගේ අනුදැනුම සහ මඟ පෙන්වීම යටතේ ව්‍යායාම් කිරීම ආරම්භ කළ හැක. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය සහිත වයස්ගත පුද්ගලයෙකු සඳහා සුදුසු සරල ව්‍යායාම කවරේද යන්න වෛද්‍යවරයාගෙන් අසා දැනගෙන සුදුසුකම්ලත් කායවර්ධන උපදේශකයෙකුගේ මඟ පෙන්වීම යටතේ ව්‍යායාම් කිරීමට යොමු වීම යහපත් ප්‍රතිපල ලබා ගැනීමට ඉවහල් වේ. කිසි විටෙකත් අධික වෙහෙසක් ගෙනදෙන ව්‍යායාම් මෙන්ම බොහෝ වේලා අධික ලෙස ව්‍යායාම් නොකිරීමටද ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් වගබලා ගත යුතුය.
ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර වෛද්‍යවරයා විසින් ව්‍යායාම් නිර්දේශ කරනු ලබයි. ව්‍යායාම නිර්දේශ කිරීමේදී මාංශ පේශීන්ගේ ශක්තිමත්භාවය, දරාගැනීමේ හැකියාව, නම්‍යශීලීභාවය, ස්නායු සහ මාංශ පේශීන් අතර සහ සම්බන්ධතාවය සහ එම පුද්ගලයා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී කෙතරම් ක්රියාශීලීද යන්න සැලකිල්ලට භාජනය කරනු ලබයි. ආතරයිටිස් රෝගයෙන් පෙළෙන වයස්ගත පුද්ගලයෙකුට ව්‍යායාම නිර්දේශ කිරීමේ දී පියවරෙන් පියවර ඔහුගේ හෝ ඇයගේ සිරුරට ව්‍යායාම හඳුන්වා දිය යුතුය. මුලින්ම ඔවුනට එදිනෙදා ජීවිතයේ කළ යුතු ශාරීරික ක්‍රියාකාරකම් තනිව කරගැනීමට උපදෙස් දීමෙන් අනතුරුව, පසුව සරල ව්‍යායාම් සඳහා යොමු කළ හැක. ව්‍යායාමයේ ස්වභාවය මෙන්ම ව්‍යායම් කළයුතු වාර ගණන ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
ව්‍යායාම් කිරීමේදී සිරුර විජලනයෙන් වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා ව්‍යායාම කිරීමට පෙර, ව්‍යායාම් කරන අතරතුර මෙන්ම ව්‍යායාම කිරීමෙන් පසුවද ජලය හෝ වෙනත් ද්‍රවයක් පානයට ගත හැක. පලතුරු යුෂ හෝ තැඹිලි වැනි පානයකින් අමතර පෝෂණයක් ලැබේ.
සිරුරට සහ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන ආකාරයේ සරල ව්‍යායාම්වල යෙදීමෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් සුවයක් ලබා ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. එනිසා, ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ගේ ඉක්මන් සුවය සඳහා ව්‍යායාම් කිරීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි.
නිවැරැදි සහ නිරන්තර ව්‍යායාම් මෙන්ම සමබල මෙන්ම නිවැරැදි ආහාර රටාවද ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් ඉක්මන් සුවය ලැබීමට ඉවහල් වන අනෙකුත් අවශ්‍යතාවන්ය. ප්‍රෝටීන්, කැල්සියම් මෙන්ම අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක සහිත ආහාර මෙම රෝගය සඳහා ගුණදායකය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන වයස්ගත පුද්ගලයින්හට අපහසුවකින් තොරව ව්‍යායාම කිරීමේ ක්‍රමවේදයක් ලෙස ජලයේ බැස ව්‍යායාම කිරීම හැඳින්විය හැක (Water Aerobics). සිරුරේ බර ජලය විසින් දරා ගැනීම හේතුවෙන් ව්‍යායාම් කරන පුද්ගලයාට ඉන් වෙහෙසක් ඇති නොවේ. පහසුවෙන් ව්‍යායාම කිරීමටද හැක.
ඡායාරූප අන්තර්ජාලයෙනි