පංචමී හේවාවිසෙන්ති
මෝහාන්ධකාරය දුරු කරනු පිණිස සිරි ලකට බුදු දහම නම් පුන්සඳ පෑයුවේ අදවන් පොසොන් පුන් පොහෝ දිනකය.
කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් මහජනතාවගේ ඒකරාශි වීම් දැඩි ලෙස පාලනයකට යටත්කොට ඇති වකවානුවක මෙවන් පොහොය දිනකදී පන්සල වෙත ගොස් සිල් සමාදන් වී වෙනදාට සිදු කරනු ලබන පිංකම් කර ගැනීමේ හැකියාවක් නොමැත. නමුත් නිවෙසට වී සිටිමින් මේ උතුම් පොසොන් පොහොය දිනයේ පිං රැස් කරගැනීමේ සහ කුසල් කිරීමේ හැකියාව සෑම බෞද්ධයෙකුම සතුය.
වර්තමානයේ බෞද්ධයින් සහ බෞද්ධ නොවන බොහෝ දෙනාට බුදු දහමේ වර්තමාන භාවිතය පිළිබඳව විවිධ මත පවතින අතර, ඒවා අතර බුදු පිළිම වන්දනාව සුදුසුද නුසුදුසුද යන්න ගැටළුවද පවතී. ඒ පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. බුදුන් වහන්සේ පවා දේශනාකොට වදාළේ බුදු දහම හෝ තමන් වහන්සේ පිළිබඳව කිසිවෙකුට හෝ යම් ගැටළුවක් පවතී නම් ඒ පිළිබඳව කරුණු සොයා බැලීමට බුදු දහමේ කිසිදු බාධාවක් නොමැති බවයි. බුදු දහම යනු නොපෙනෙන දෙවියෙකු විසින් දෙසන ලද ධර්මයක් නොවන අතර ධර්ම කරුණු පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසීමට බැතිමතුන් හට පූර්ණ නිදහස ලබා දී ඇති දහමකි.
ප්‍රතිමා වන්දනාව සමහර දේවවාදී ආගම් විසින් පාපයක් සහ වැරැද්දක් ලෙස පෙන්වා දී ඇති අතර, එම ආගම් අදහන බැතිමත්හු ද පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමත් එසේ පිළිම වන්දනා කරනු ලබන අනෙකුත් ආගම් (සමහර අවස්ථාවල තම ආගමේම යම් පිරිසක්) විවේචනයට ලක් කිරීමත් සිදු කරනු ලබන අතර පිළිම වන්දනා කරන්නන් එම පාපය හේතුකොටගෙන අපාගත වන බවත් පිළිගනු ලබති.
විද්‍යාත්මක, දාර්ශනික සහ මනෝ විද්‍යාත්මක පදනමක් සහිත බුදු දහමේ බුදු පිළිම ඇතුළු අනෙකුත් පිළිම වහන්සේලා වන්දනා කිරීම පිළිබඳව සඳහන් වන්නේ කුමක්ද යන්න බොහෝ බෞද්ධයින් මෙන්ම බෞද්ධ නොවන පුද්ගලයින් නඟන පැනයෙකි. මෙම පැනයට තවමත් ශක්තිමත් පිළිතුරක් සමාජගත වී නොමැති හෙයින් ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර ද පවතී.
කෙසේ නමුත්, සමහර දේවවාදී ආගම්වල සඳහන් වන පිළිම වන්දනාව පාපයක් ය යන්න බුදු දහම බැහැර කරනු ලබන අතර, බුදු පිළිම වන්දනාව පිළිබඳව ඇත්තේ අන්තගාමී නොවන සංකල්පයකි. බුදුන් වහන්සේ විසින් කිසි විටෙකත් කිසිවක් පිළිපැදීමට බෞද්ධයින්හට බලහත්කාරයෙන් පොළඹවා නොමැති අතර, බැතිමතුන්ගේ කැමැත්ත සහ පහන් සංවේගය උදෙසා මෙන්ම මානසික සුවතාවය සඳහා ද විවිධ ආමිස පූජාවන් සිදු කිරීම පිළිබඳව මැදුම් පිළිවෙතක් බුදු දහමේ සඳහන් වේ.
කෙසේ නමුත්, සඳහන් කළ යුතු වැදගත් කරුණ වනුයේ බුදු රජාණන් වහන්සේ කිසිදු දිනෙක තමා වන්දනා කිරීම පිණිස නීති පනවා හෝ එසේ නොකළහොත් අපා ගතවනවා යන්න හෝ උන් වහන්සේගේ දැඩි කෝපයට හේතු වනවා යන්න හෝ වදාරා නොමැති වීමයි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ පවා තමාට වැඳුම් ලබා ගැනීමට කටයුතු නොකළ සේක. යම් බැතිමතෙකු පැමිණ අත්‍යන්ත ගෞරවාදරයෙන් උන්වහන්සේට සිදු කරන ලද වැඳුම් පිදුම් සහ පුද පූජා උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ද නැති සේක.
ජීවමාන බුදුන් වහන්සේ නමකට බැති සිතින් වන්දනා කිරීම සැබවින්ම දිව්‍යලෝක සම්පත්තීන් ගෙන දෙන පුණ්‍ය කර්මයක් බව අප අසා ඇත්තෙමු. ඒ අනුව තමා කරා එන බැතිමතුනට එම උතුම් භාග්‍යය උරුම කර දීම පිණිස තමන් වහන්සේට වන්දනාමාන කිරීමට බැතිමතුන් හට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලද සේක. බැතිමතුන්ගේ සිත් තුලට බිය කාවද්දා තමාගේ ධර්මයම පමණක් පිළිගත යුතුය යන්න හෝ තමාට පුද පූජා කළ යුතුය යන ආශාවක් හෝ හැඟීමක් බුදුන් වහන්සේ කෙනෙකුන් තුල නොමැත. ක්ලේශ ප්රහාණය කළ ආර්ය වහන්සේ නමක්වන බුදුන් වහන්සේ සතුව එවන් අදහස් නැති බව අප දන්නෙමු. ජීවමාන බුදුන් වහන්සේට කුසල් සිතින් වන්දනා කිරීම දෙව්ලෝ සැප සලසා දෙන පුණ්‍ය කර්මයක් ලෙස හැඳින්විය හැකි වුවද, බුදු පිළිම වහන්සේ නමකට වන්දනා කිරීමෙන් එවන්ම පිනක් නොලැබෙන බව කිව යුතුය. එය එසේ වන්නේ නම් වර්තමානයේ බුදු පිළිම වහන්සේලාට වන්දනා කරන බැතිමතුන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී බෞද්ධයින් සියළු දෙනාම මරණින් මතු දෙව් ලොව යා යුතුය.
තමන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව තමන් වහන්සේගේ ප්රතිමාවන් නෙළා ඒවාට මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස, දැහැත්, කිරිපිඬු පූජා කරන මෙන් කිසි දිනෙක නොවදාළ සේක. බුදුන්ගේ පිරිනිවීමෙන් අනතුරුව, උන් වහන්සේගේ අනුරුවක් සකසා වන්දනාමාන කිරීමට බැතිමතුන් පෙළඹී ඇත්තේ බුදුන් කෙරෙහි ඔවුන්ගේ ඇති අත්‍යන්ත ගෞරවාදරය සහ භක්තිය නිසාය. බුදු පිළිරුවකට වන්දනා කිරීම ජීවමාන බුදුන්ට වන්දනා කරනවා වැනි හැඟීමක් ලබා දෙන බව බුද්ධ වන්දනාවේ යෙදෙන ඕනෑම බැතිමතෙකු අත් දැකීමෙන් දන්නා දෙයකි. එය මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියෙකි. එයින් ලැබෙනා මානසික සුවයක්, සැනසීමක් නැතැයි කිසිවෙකුටත් වාද විවාද කළ නොහැක. එනිසා බුදු පිළිම වන්දනාව පාපයක් හෝ අකුසලයක් නොවේ. එහි විද්‍යාත්මක පදනමක් නැතැයි කිසිසේත් බැහැර කළ නොහැක.
වර්තමානයේ වෙළෙඳ පොළේ දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙන්ම දිගු ඉතිහාසයක් සහිත ප්‍රතිමා වහන්සේල ද ලොව විවිධ ප්‍රදේශවල දක්නට ලැබේ. ඒ අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවලත් මියෙන්මාරය, චීනය, ජපානය, තායිලන්තය යන රටවලත් දක්නට ලැබෙන බුදු පිළිම වහන්සේලාගේ ස්වරූපයේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. ඉන්දියාව සහ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත මූර්ති ශිල්පීන් විසින් නෙළන ලද සහ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද බුදු රුව එම භූගෝලීය ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ස්වරූපයට සමානව නිර්මාණයකොට ඇති අතර ජපානය, කාම්බෝජය, චීනය වැනි රටවල නෙළා ඇති බුදු රුව එම භූ ගෝලීය පරිසරයේ වසන ජනතාවගේ රූපකායට සමානව නෙළා තිබීම දක්නට ලැබේ.
බුදු රුවක් මෙසේ විවිධාකාර රූප ස්වාභාවයන්ගෙන් යුක්ත වන්නේ ඇයි? එයට හේතුව ජීවමාන බුදුන් දෑසින් දැකගත් අයෙකුන් විසින් ප්‍රතිමාවක් නෙළා හෝ චිත්‍රයක් ඇඳ නොතිබීමයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර බොහෝ ගණනකට පසු බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ කර ඇති බව නිගමනය කළ හැක. බුදුන්ගේ ස්වරූපය පිළිබඳවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවත් ධර්ම ග්රන්ථයන්හි සඳහන් වුවද, බුදුන් වහන්සේගේ මුහුණේ හැඩය හෝ ස්වරූපය පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් වන්නේ නැත. බුදුන් වහන්සේ ඉතා සුන්දර, දැකීමට ප්‍රිය උපදවන සහ පහන් සිතිවිලි ඇතිකරනවන සුළු රූප සොබාවකින් යුක්ත බවත් ධර්ම ග්රන්ථ පරිශීලනයේදී දැනගන්නට ලැබේ.
කෙසේ නමුත්, බුදු පිළිම වන්දනාව පිළිබඳව ඇති විවිධ මතවාදයන්ට දිය හැකි කෙටි පිළිතුර වන්නේ බුදු පිළිම වන්දනාව පාපයක් හෝ බුදුන් වහන්සේ විසින් නොකළ යුතු යැයි දේශනා කරන ලද්දක් නොවන බවය. බුදු පිළිම වන්දනාව හුදෙක් බැතිමතුන්ගේ මානසික සුවය උදෙසා සිදු කරන්නක් හෙයින් එයින් කිසිවෙකුටත් ඇති වන හානියක්, අකුසලයක් හෝ පාපයක් නොමැත. එය යහපත් ක්‍රියාවකි. බුදුන් වහන්සේගේ රුව සිතින් මවාගෙන උන්වහන්සේට වන්දනා කිරීමට උපකාර වීමට බුදු පිළිම වහන්සේලාට වන්දනා කිරීම සිදු කරනු ලබයි. බුදු පිළිම වහන්සේ නමකට වන්දනාමාන කිරීමේදී බැතිමතෙකුට ඇතිවන හැඟීම නම් තමා ජීවමාන බුදුන් වන්දනා කරනවා වැනි දෙයකි. එම සිතුවිලි හේතුවෙන් සිතේ භක්තිය, ආදරය, කරුණාව යන යහපත් සහ ධනාත්මක සිතුවිලි ධාරාවක් ඇතිවේ.
විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයකින් බැලුවහොත් එවන් අවස්ථාවක ඇතිවන ධනාත්මක සිතුවිලි හේතුවෙන් රුධිරය පිරිසිදු වීමත් මොළයේ යහපත් හෝමෝන ස්‍රාවයකුත් සිදු වේ. එය මානසික මෙන්ම ශාරීරික නීරෝගීභාවයටද ඉවහල් වේ.
වයස්ගත වන විට බොහෝ දෙනෙකුට ඇතිවන මානසික සංකූලතා අවම කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වන්දනාව ඇතුළු ආගමික වතාවත්වල යෙදීමේ අවශ්‍යතාවය පැන නඟින්නේ එමඟින් ඔවුනට ලැබෙනා මානසික සුවයත් ශාරීරික නීරෝගීතාවයත් නිසාය. අයෙක් බුදු පිළිම වන්දනාව කිසිදු විද්‍යාත්මක පදනමක් රහිත හුදෙක් අන්ධ භක්තියෙන් සිදු කරනා කාර්යයක් ලෙස නිග්‍රහ කළ හැක. නමුත් එම විවේචනය සාවද්‍යය. බුදු පිළිම වන්දනාවේ මනෝ විද්‍යාත්මක පදනමක් තිබේ. එය බැහැර කළ නොහැක. මා ඉහත කී පරිදි බුදු පිළිම වන්දනාව හේතුවෙන් ඇතිවන පහන් සිතුවිලි සහ ධනාත්මක චිත්ත ධාරා මොළයට ධනාත්මක බලපෑමක් ඇති කරමින් පුද්ගලයෙකුගේ මානසික මෙන්ම ශාරීරික සුවතාවයද තහවුරු කරන බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. එහෙයින් බුදු පිළිම ඇතුළු අනෙකුත් ආමිස පූජාවන්ගෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිපලය.
‘චේතනාහං භික්කවේ කම්මං වදාමි’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළ සේක. චේතනාවම කර්මය/ කුසලය වන බව උන්වහන්සේ වදාළහ. බුද්ධ වන්දනාවෙන් බැතිමතෙකු තුල හට ගන්නේ කුසල හා පිං චේතනාවකි. කුසල චේතනාවේ බොහෝ ආනිසංස ඇත්තේය. එහෙයින් බුද්ධ ප්‍රතිමා වන්දනාව මහත් ආනිසංස තිබෙන කුසල කර්මයකි. යහපත් කුසල චේතනාවෙන් සිදු කරනු ලබන බුද්ධ ප්‍රතිමා වන්දනාවෙන් මානසික, ශාරීරික සුවතාවත් බොහෝ කුසලානිසංසයනුත් ලැබෙන්නේය.
“ධම්ම දානං සබ්බ දානං ජිනාති” (ධර්ම දානය අන් සියළු දානයන්ට වඩා උතුම්ය) යන බුද්ධ වචනයට අනුකූලව මෙම ලිපිය ධර්ම දානය පිණිස පල කොට ඇත.