සීතල උඳුවප් මාසයේ නත්තල උදා වනුයේ ආදරයේත් බෙදාහදා ගැනීමේත් වටිනාකම අපට කියා දෙමිනි. අපගේ ආදරණීයයන් වෙනුවෙන් පමණක් නොව, සකල මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්ම ඒ ආදරය ලබා දීම නත්තලේ සැබෑ අරුතයි. එපමණක් නොව, ගහකොළ සහ සතා සීපාවටද ඒ ආදරය එලෙසින්ම ලබා දීමේ වටිනාකම අපට කියා දෙන උත්සවයක් ලෙසත් නත්තල හැඳින්විය හැක.
කුවේණිගේ සෙනෙහසේ දෑත නත්තල් දිනයේ දිගු වූයේ ඒ උතුම් උත්සවයට සැබෑ අරුතක් එක් කරමිනි. ඒ අසරණ වූ කුඩා බලු පැටවෙකුට අලුත් ජීවිතයක් ලබා දෙමිනි.

නිවෙස් ඉදිරිපිට, මාර්ගයක් අසල හෝ කැළෑබද පෙදෙසකට වන්නට ඉපදුණු විගස දෑස්වත් හැර නොමැති කුඩා බලු පැටවුන් හෝ පූස් පැටවුන් සහිත පෙට්ටියක් දමා ගොස් තිබෙනු කෙදිනක හෝ ඔබ දැක ඇතිවාට සැක නැත. වැස්සේ තෙමෙමින් අව් රශ්මියෙන් පීඩා විඳිමින් මවගේ සෙනෙහසත් උණුසුමත් නොමැතිව කුසට අහරක් ද නොමැතිව දුක් විඳිනා එවන් අසරණයින් හට ජීවිතයක් දීමට ඉදිරිපත් වන්නේ ළතෙත් මිනිසුන් පමණකි. බොහෝ දෙනා එවන් අසරණ සතුන් දුටුවද ඔවුනට උපකාරයක් කිරීමට හෝ ආහාර පානයක් ලබා දීමට හෝ ඉදිරිපත් නොවන්නේ එය මහා කරදරයක් යැයි සිතමිනි. එම සතුන් උපන් විගස මහමඟ දමා යෑම කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවේ. එමෙන්ම එවන් අසරණයින් දැක නොදැක්කා සේ යෑමට අප පුරුදුව සිටියත් එය මිනිස්කමට එතරම් සුදුසු දෙයක් නොවේ.
එවන් අසරණ බලු පැටවෙකු අපට හමු වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය ප්‍රදේශයෙනි. නත්තල උදා වීමට තිබුණේ පැය කිහිපයක් පමණි.

අප නවාතැනේ සිටි බල්ලා සමඟ අප කිහිප දෙනෙකු පිටතට පැමිණි අවස්ථාවේ වාහනය යටට බල්ලා දිවයනු අප දුටුවෙමු. ඒ සමඟම කුඩා බලු පැටවෙකුගේ හැඬීම් හඬක්ද ඇසී අප ද ඒ දෙසට දිව ගියෙමු. නවාතැනේ බල්ලා දැක ඌ කුඩා පැටවාට කරදරයක් කරනු ඇතැයි බියවී කුඩා පැටවා දිගින් දිගටම කෑගසන්නට වූයේය. ඒ අවස්ථාවේ ලොකු බල්ලා එම ස්ථානයෙන් ඉවත්කොට කුඩා බලු පැටවා පිටතට ගැනීමට ඉමහත් වෑයමක් දරන්නට අපට සිදු විය. ඌ බියට පත් වී සිටි අතර කුසගින්නෙන් මෙන්ම සීතලෙන් ද දැඩි ලෙස පීඩා විඳ ඇති බවක් පෙනෙන්නට තිබිණ.
බලු පැටවා ඉතා අසීරුවෙන් පිටතට ගෙන ඌට උණුසුම් කිරි කෝප්පයක් සාදා දුන්නෙමු. ඉතා ගිජු ලෙස එය බී හමාර කළ බලු පැටවා කෑමට යමක් ඇත්ද යන්න අසන්නාක් මෙන් අප දෙස බලන්නට වූයේය. උගේ කුස පිරෙන්නට ආහාර ද ඌට ලබා දුන්නෙමු. ඒ සියල්ලම ඉතා ආශාවෙන් සහ වේගයෙන් ගිල දැමූ බලු පැටවාට නිදා ගැනීමට ස්ථානයක් ද අප සකසා දුන්නෙමු. සීතල නොදැනෙන පරිදි කුඩා මෙට්ටයක් මත රෙදි කැබලි කිහිපයක් තබා උණුසුම් සහ ආරක්ෂිත ස්ථානයකින් එම කුඩා බලු පැටවා තබා අප නින්දට යන විට නත්තල උදා වී හමාරය. උතුම් නත්තල් දිනයේ අසරණ සතෙකුට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව සතුට පිරි සිතින් අප නින්දට ගියෙමු.

පසු දින උදයේද බලු පැටවාට සුපුරුදු සත්කාර සියල්ලම සිදු කිරීමට අප අමතක නොකළෙමු. දහවල් වන විට ඌ ලොකු බල්ලා සමඟද යහළු වී සෙල්ලම් කරමින් සිටියේය.

එදිනම අප පිටත් වීමට සූදානම් වී සිටි හෙයින් අප සියළු දෙනාගේම ගැටළුව වූයේ එම බලු පැටවාට කුමක් කරන්නේද යන්නයි. ඒ අනුව එම ප්‍රදේශයේම එම බලු පැටවා තබා යෑමට අප තීරණය කළ අතර, එම බලු පැටවා බලා ගැනීමට කරුණාවන්ත පවුලකට භාර දීමට ද තීරණය කළෙමු.


නමුත් ඒ බලු පැටවාට අවශ්‍ය කිරි, ආහාර, බෙහෙත් ආදිය සඳහා වියදම් දැරීම එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තරමක් දුෂ්කර කාර්යයක් වන හෙයින් බලු පැටවා රැකබලා ගැනීමට මාසිකව යම් මුදලක් බලු පැටවා බලාගන්නා පවුලට ලබා දීමට ද තීරණය කළෙමු. බලු පැටවා ජීවත්වන තුරු ඒ සඳහා වන සියළු වියදම් දැරීමට කුවේණි ‘සෙනෙහසේ දෑත’ එකඟ වූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල ද සම්පාදනය කරන ලදී.
ඒ අනුව තවත් අසරණ බලු පැටවෙකුට යහපත් ජීවිතයක් හිමි විය. මනුෂ්‍යයෙකුගේ හෝ වේවා සතා සීපාවෙකුගේ හෝ වේවා අසරණ තත්ත්වයකදී උදව් උපකාර කිරීම උතුම් මනුෂ්‍ය ගුණාංගයකි.