ඉතාමත් අවිනිශ්චිත තවත් වසරක් ලෙස සැලැකිය හැකි උදාවූ 2021 වසර, අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද යම් සැලසුමක් සහිතව ඇරඹීම සුදුසු යැයි විශේෂඥයින්ගේ මතය වේ. කුවේණි පාඨකයාට නව වසර සැලසුම් කර ගැනීමට යම් තරමක හෝ සහයෝගයක් සැපයීම අරමුණු කොටගත් මෙම ලිපිය සකසන ලද්දේ තසන්දි අබේවර්ධන විසිනි. මෙම ලිපිය මනෝ චිකිත්සකවරුන් සහ පුද්ගල සංවර්ධන වැඩසටහන් මෙහෙයවන්නන් සමඟ සිදු කළ සංවාද කිහිපයක් පදනම් කරගෙන සකසන ලද අතර කතුවරියගේ අදහස් ද ඊට ඇතුළත් කොට ඇත.
පසුගිය 2020 වසර සමස්ත ලෝකයම ඉතා උත්සවාකාරයෙන් පිළිගත්තේ නව වසරට නව සැලසුම් (Resolutions) ද එක්කර ගනිමිනි. කෙසේ නමුත් හිටිවනම එම බලාපොරොත්තු සියල්ල අහිමි කරමින් සහ සාමාන්‍ය ජන ජීවිතයට දැවැන්ත බාධා එල්ල කරමින් සමස්ත ලෝකයම අඳුරේ ගිල්වීමට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට හැකි විය. සුන්වූ බලාපොරොත්තු සහිතව, නෑ හිතවතුන්ගෙන් ඈත් වී, රැකියාව සහ අධ්‍යාපන කටයුතු සැලසුම් කරගත් ආකාරයෙන් කරගත නොහැකිව ලොව සියළු දෙනාම මුහුණ දුන්නේ දැඩි අර්බුධකාරී තත්ත්වයකටය. බහුතරයකගේ ආර්ථික තත්ත්වය පෙර කවරදාටත් වඩා පහත වැටුණු අතර, ආර්ථිකයට සමගාමීව බොහෝ දෙනෙකුගේ මානසික තත්ත්වයද කොවිඩ්-19 හේතුවෙන් පහත වැටිණ. බොහෝ පිරිස් ගෙවුණු 2020 වසර පිළිබඳව මතක් කිරීමටවත් අකමැති සන්දර්භයක 2021 නව වසර උදා වී තිබේ. පෙර මෙන් නව වසර පිළි ගැනීමට ජනතාව උනන්දු නොවී ඇති බවක් පෙනෙන්නට ඇති අතර ඒ සඳහා කිසිදු අවස්ථාවක් ද නැත. නව වසරක ශ්‍රීයක් කොතැනකවත් දක්නට නොමැත. ජනයා සංචරණ සීමාවන්ට යටත් ව නිවෙස් වලට වී සිටිති. ඔවුන්ගේ සිත් තුලද 2021 නව වසර පිළිබඳව එතරම් සුභදායී හැඟීමක් නැති බවක් පෙනෙන්නට ඇත. කෙසේනමුත්, බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටියේ අවාසනාවන්ත 2020 වසර අවසන් වන තුරු බව නොරහසකි. මන්ද එය එතරම්ම ජනතාවට පීඩා සිදු කළ වසරක් වීමයි.
එළඹෙන නව වසර පිළිබඳව අනාවැකි කීමට අනාවැකිකරුවන්ට හෝ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්රඥයින්ටද නොහැකි වූ අවස්ථාවක සහ 2020 නව වසර සඳහා ඔවුන් සිදු කළ පුරෝකථනයන් මෙන්ම අනාවැකි සියල්ල ඉතා ලැජ්ජා සහගත ලෙස සාවද්‍ය වී ඇති බව ඇස් පනාපිටම ඔප්පු වී තිබෙන තත්ත්වයක් හමුවේ සාමාන්‍ය පුද්ගලයින් වන අපට 2021 වසර පිළිබඳ කෙසේ නම් අනාවැකි පළ කළ හැකිද?
වසරක් ආරම්භයේදී පෞද්ගලික සංවර්ධනය, රැකියාවේ දියුණුව, අධ්‍යාපනයේ ප්‍රගතිය, සබඳතා ශක්තිමත් කිරීම, නීරෝගී ජීවිතයක් ගත කිරීම ආදිය සඳහා එම නව වසරේ බොහෝ දෙනෙකු සැලසුම් සකස් කිරීම සාමාන්‍ය සිරිත වේ. එහිදී, තම අධ්‍යාපන කටයුතුවල යෙදීමට කාල වේලාව වෙන් කිරීම, අලුත් භාෂාවක් ඉගෙනීම, ව්‍යායාම් කිරීම, සිරුරේ බර අඩු කර ගැනීම, සිය පවුල සමඟ වැඩි වේලාවක් ගත කිරීම, සුරතලෙක් ඇති කිරීම, භාවනා කිරීම, වන්දනා ගමනක් යෑම, පිරටකට සංචාරයකට යෑම උදාහරණ වේ. නමුත් මේ අතුරින් බොහෝමයක් ඇතිවී තිබෙන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත. එනමුත් මෙම වසංගතය විසින් මිනිසාට තම පවුල සමඟ ගත කිරීමට, විනෝදාස්වාදයට, කියවීමට, පෞද්ගලික සංවර්ධනයට, දැනුම ලබා ගැනීමට, නව හැකියාවන් ඔප් නංවා ගැනීමට පෙරට වඩා වැඩි කාලයක් ලබා දී ඇත. කොවිඩ් 19 වසංගතයේ සෘණාත්මක බලපෑම හමුවේ එහි සාධනීය ලක්ෂණ ලෙස පුද්ගල සංවර්ධනය සහ පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීමට වැඩි කාලයක් ලැබීම හැඳින්විය හැක. කොවිඩ්-19 වසංගතය හමුවේ අපට මුහුණ දීමට සිදු වී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව මානසික වශයෙන් පසු නොබැස එහි සාධනීය තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට මෙම නව වසරේ අප සැලසුම් කළ යුතුය. පසුගිය වසරවල මෙන් නොමැති වූවත් මෙම වසරේ යම්තාක් දුරට හෝ අපගේ සැලසුම් ඉටු කර ගැනීමට යුහුසුළු වීම නුවණට හුරුය.උදා වී ඇති අවිනිශ්චිත තත්ත්වය හමුවේ දීර්ඝ කාලීන සැලසුම් සැකසීම ප්‍රායෝගික නොවන හෙයින් කෙටි කාලීන සැලසුම් සැකසීම සුදුසුය. මනෝවිද්‍යා විශේෂඥයින් පවසන්නේ නව වසර ආරම්භයේදීම එම වසර තුල අප විසින් සිදු කළ යුතු දෑ සැලසුම් කිරීම අපගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට සමත්වන බවයි. මෙම සැලසුම් සකස් කිරීමේදී පවතින තත්ත්වයට ගැලපෙන පරිදි ඉටු කරගත හැකි දේවල් පළමුව සැලසුම් කිරීමෙන් ඒවා ඉටුකරගත් පසු සිතට දැනෙන තෘප්තිය සහ අභිමානය අනෙකුත් සැලසුම් ඉටු කර ගැනීමට අභිප්‍රේරණයක් ද වන්නේය.
කෙසේ නමුත් විශේෂඥයින් පවසන ආකාරයට තම සැලසුම් ‘නිශ්චිත කාල සීමාවක් තුළ ඉටු කළ යුතු මැන බැලිය හැකි ඒවා’ වීමෙන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ලෙහෙසි බව පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස ‘මෙම වසරේ සිරුරේ බර අඩු කරගන්නවා’ යනුවෙන් සැලසුම් කිරීම තරමක් අපැහැදිලි සැලසුමකි. නමුත් ‘මෙම වසරේ නොවැම්බර් මාසය වන විට සිරුරේ බර කි.ග්‍රෑම් 50කට අඩු කරගන්නවා’ යන්න තරමක් විස්තරාත්මක සැලසුමකි. මෙලෙස නිශ්චිත කාල සීමවක් තුල නිශ්චිත කාර්යයක් කිරීමට සැලසුම් කිරීමෙන් එම කාර්යය හෝ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව පැවසේ.
පවතින වසංගත තත්ත්වය හමුවේ මුහුණ දිය හැකි අපහසුතා සහ බාධක හමුවේ සැලසුමේ දින වකවානු වෙනස්විය හැකි අතර බලාපොරොත්තුවන ආකාරයටම එය ඉටුකර ගැනීමටද නොහැකි විය හැක. ඒ නිසා තම බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටුකර ගැනීමට ඔබ විසින් ගන්නා සෑම උත්සාහයක්ම ස්වයං අගය කිරීමට භාජනය කිරීමෙන් ඒ හරහා අභිප්‍රේරණයක් ලබා ගත හැක.
ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු පවසන ආකාරයට මෙම අභියෝගාත්මක වසරේ ඔබේ සැලසුම් ඉටුකර ගැනීමේදී පෙර වසරවල මෙන් ඒවා ඉටු කර ගැනීමට ඔබට බල නොකිරීමට වග බලා ගත යුතු අතර, ඔබ ඔබට සැලකීමේදී පෙරට වඩා මෘදු විය යුතුය. එමඟින් ඔබේ සැලසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගත නොහැකි වීමෙන් ඇතිවන මානසික පීඩනය සහ වසංගත තත්ත්වය හමුවේ ඇති විය හැකි මානසික සංකූලතා ද අවම කරගත හැක.
නව වසර සඳහා වන සැලසුම් සැමවිටම ලියා තැබීමෙන් ඒවා අමතක වී යෑම වළක්වා ගත හැක. යම් දෙයක් කිරීමට සිතේ තබා ගැනීමෙන් ඒ දෙය අමතක වී යෑමට ඉහළ සම්භාවිතාවක් තිබෙන නිසා දින පොතක හෝ කුඩා සටහන් පොතක එම සැලසුම් ලියා තබා ඒවා ඉටු කරගත් පසු එය ඉදිරියෙන් කුඩා සටහනක් දැමීමෙන් සිතට සතුටක් ද දැනේ. තවද, මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට නව වසරේ ලියා තැබූ සැලසුමක් සාර්ථක ලෙස ඉටු කර ගැනීමෙන් අනතුරුව, ඔබට යම් කිසි ත්‍යාගයක් ඔබ විසින්ම ලබා දීමෙන් ඔබගේ ඊළඟ අරමුණ ඉටු කරගැනීමට ධෛර්යයක් ලබා දේ.
සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම
පුද්ගලයෙකුගේ නීරෝගීභාවයට ආහාර ඉතා වැදගත් සාධකයක් වේ. පුද්ගලයෙකුගේ නීරෝගීභාවයට ආහාර ඉතා වැදගත් සාධකයක් වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර නීරෝගී භාවයේ පදනම ලෙස සැලකිය හැකිය. පෝෂණ ගුණයෙන් පිරි, වස විස අඩංගු නැති ආහාර අපගේ ආහාර වේලට එක්කර ගැනීමට සැලසුම් කිරීමට මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් බලපෑමක් සිදු වන්නේ නැත.
පසුගිය වසරේ ලොක් ඩවුන් තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකු කාබනික ගෙවතු වගාවටත් නිවසේදීම තම ආහාරපාන සකසා ගැනීමටත් පෙළඹීම කොවිඩ් වසංගතයේ යහපත් ප්රවණතාවකි. එය මෙම වසරටත් අදාල බැවින් තම පවුලට අවශ්‍ය ආහාර ලබා ගැනීමට ගෙවතු වගාවේ යෙදීමට සැලසුම් සකස් කළ හැක. ඉවුම් පිහුම් කටයුතුවල නොයෙදුණු සහ ඒ සඳහා එතරම් දස්කම් නොපෑ පිරිස් පසුගිය ලොක් ඩවුන් සමයේ ඒ හැකියාව ලබා ගන්නට ඇතැයි සිතිය හැක. මෙම වසරේදීත් එම හැකියාව තව තවත් ඔප් නංවා ගනිමින් සිරුරට හිතකර ගුණදායී ආහාර පමණක් ගැනීමට සැලසුම් කිරීම දීර්ඝ කාලීනව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යෑමට උපකාරී වේ. මෙය ඉහත කී පරිදි නිශ්චිත කාල සීමාවක් නොමැති ප්‍රතිපලය පහසුවෙන් මිණිය නොහැකි සැලසුමක් වුවද, මෙම වසරේ පහසුවෙන් ඉටු කරගත හැකි දෙයකි. ක්ෂණික ආහාරයෙන් වැළකීම නීරෝගීබවට හේතු වන අතර ඖෂධීය ගුණ සහිත ශාකමය ආහාර දීර්ඝායු ලැබීමට හේතුවන බව ආයුර්වේදයේ සඳහන් වේ.
බෝ නොවන රෝග වන හෘදය රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට වැඩි සීනි මට්ටමක් සහිත ආහාර, තෙල් සහ පිෂ්ටය අධික ආහාර අඩු කිරීමට සැලසුම් කිරීම පහසුවෙන්ම කළ හැක.එමෙන්ම උදෑසන අවදි වූ විගස පිරිසිදු ජලය පානය කිරීමද, දිනකදී අවශ්‍ය පමණ ජලය පානය කිරීම ද නීරෝගීව සිටීමට උපකාරී වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
ව්‍යායාම කිරීම
මෙතෙක් ඔබ ගෙවූ කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් ව්‍යායාම කිරීමට කාලය නොලැබුණේ නම් මෙම වසංගත සමයේ ඔබට ඒ සඳහා අවශ්‍ය පමණටත් වඩා කාලය හිමි වී තිබේ.
මෙයද පෙර කී පරිදි නිශ්චිත කාල සීමාවකට අදාල සැලසුමක් නොවන අතර, බොහෝ දෙනෙකු සෑම වසරක් ආරම්භයේදීම සැලසුම් කරන නමුත් ඉටු කර ගැනීමට සමත් නොවන්නකි. ශරීර සුවතා මධ්‍යස්ථානයකට යෑම මෙම වසංගත සමයේ සුදුසු නොවන අතර, නීරෝගීව සිටීමට නිවසේදී සිදු කළ හැකි ව්‍යායාම බොහෝමයක් පවතී. යෝග අභ්‍යාස සඳහා යොමු වීමද කළ හැක.
නිවස පිළිවෙළකට තබා ගැනීම සහ ගෙවතු වගාව ද සිරුරට ව්‍යායාමයන් ලබා දෙන ක්‍රියාකාරකම් ලෙස සැලකේ. මානසික සුවය පිණිස සුරතලා සමඟ සෙල්ලම් කිරීමද කළ හැක.
මුදල් ඉතිරි කිරීම
මෙයද බොහෝ දෙනෙකු කිරීමට උත්සාහ දරන නමුත් කිරීමට අසමත් වන දෙයකි. මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක ඉතිරි කර තබා ගන්නා මුදල් ඉමහත් ප්‍රයෝජනයක් විය හැක. පසුගිය කාලයේ මෙන් මෙකල මුදල් අනවශ්‍ය ලෙස වියදම්වන සාද, සාප්පු සවාරි යෑම, ගමන් බිමන් යෑම් අවම නිසා ඒ සඳහා වියදම් වන මුදල් ඉතිරිකර ගත හැක.
අලුත් දෙයක් ඉගෙන ගැනීම
මෙය විදෙස් භාෂාවක් ඉගෙනීම වැනි දෙයක් හෝ මහන්නට ඉගෙන ගැනීම, වාහනයක් පැදවීමට ඉගෙන ගැනීම, පරිගනකය පිළිබඳව ඉගෙනීම, කෑමක් හැදීමට ඉගෙන ගැනීම වැනි දෙයක් විය හැක. ඒ කවර දෙයක් වුවද ඉන් ඔබගේ දස්කම්, නිර්මාණශීලීත්වය මෙන්ම ඔබගේ Marketability එකද ඉහළ නංවයි. වර්තමානයේ තිබෙන තරගකාරීත්වය සහ සුදුසුකම් සහිත පිරිස් වැඩිවීමත්, ඒ සඳහා තිබෙන රැකියා අවස්ථා අවම වීමත් හේතුවෙන් අමතර සුදුසුකම් සහිත පුද්ගලයින්ට වැඩි ඉල්ලුමක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය. තවද, එකම රැකියාවේ අංශ දෙකක් සඳහා පුද්ගලයින් දෙදෙනෙකු සේවයේ යොදවනවාට වඩා එම අංශ දෙකෙහිම දස්කම් සහිත එක් පුද්ගලයෙකු සේවයේ පිහිටුවීමට ආයතන ප්‍රධානීන් ප්‍රමුඛස්ථානය දෙනු ලබයි. එහෙයින් ඔබ සතු දක්ෂතාවන් ඔප් නංවා ගැනීමටත් අලුතින් කුමන හෝ දෙයක් ඉගෙන ගැනීමටත් මෙම වසංගත කාලයේ ඔබට ලැබෙන නිවාඩුව ප්‍රයෝජනයට ගත හැක.
පොත් කියවීම
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න කියමනක් අප අසා ඇත. මෙම වසංගත සමයේ ඔබ එතරම් කාර්යබහුල නොවන නිසා මෙම කාලය ජීවිතයට යමක් ලබා ගත හැකි වටිනා පොත් කියවීමට යොදා ගන්නේ නම් ඉන් ලබා ගන්නා දැනුම ජීවිතයේ විවිධ ක්ෂේත්‍ර සඳහා උපයෝගී කර ගත හැක. හැකිනම් මසක් තුල එක් පොතක් කියවීමට සැලසුමක් සකසා ගන්න. ඔබ පසුගිය වසරවල පොත් ප්‍රදර්ශනවලින් මිලදී ගත් මෙතෙක් කියවා නොමැති පොත් ඇත්නම් මෙම වසරේ ඔබ සතුව ඇති සියළුම පොත් කියවා හමාර කිරීමට සැලසුමක් ඇති කර ගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ඊ බුක්ස් බොහොමයක් අන්තර්ජාලයෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත. මෙම කාලයේ පුස්තකාලවලට යෑමත් පොත් ලබා ගැනීමත් කළයුතු නොවන්නේ ඒ හරහා වෛරස සම්ප්‍රේෂණයට වැඩි ඉඩකඩක් ලැබෙන බැවිනි.
නරක පුරුදු වලින් ඈත් වීම
දුම්පානය, මත්පැන් පානය වැනි ඔබේ සිරුරට අහිතකර පුරුදු මෙන්ම ඔබේ ආදරණීයයන් අපහසුතාවයට සහ වේදනාවට පත්කරන පුරුදු ඔබ සතුව ඇත්නම් මෙම වසරේදී ඒවායින් ඈත් වීමට අධිෂ්ඨාන කරගන්න.
ඡායාරූපය සනිත්යා මාවින්දි